Monday, January 19, 2015

මෙහෙම හිටියට ගොඩේ ගතිය තවමත් හොඳ හුරුයි - සුමුදු


කොහොමද ජීවිතේ? ගොඩාක් හොඳින් සතුටින් ගෙවෙනවා. අපි දැන් සුමුදුව හඳුන්වන්න ඕනෑ රූ රැජන කියලද, නිරූපිකාවක් කියලද, නැත්නම් නිළියක් කියලද?

ඔය හැම හැඳින්වීමකටම වඩා සුමුදු ප්‍රසාදිනී කියනවාට මම කැමැතියි. මොකද මම පොළොවෙ පය ගහලා ඉන්න කැමැති කෙනෙක් නිසා. කොහොම හරි ලස්සන නිසා සුමුදුට හරි ගියා නේද? 


ලස්සන නිසාම නෙමෙයි, මිත්‍රශීලීකම, නිහතමානීතම නිසා මට වැරැදුණේ නැහැ.

රූ රැජනක් කියන්නේ නිළියක්, නිවේදිකාවක්, නිරූපිකාවක් වෙන්න වරමක්ද? එහෙමම කියන්න බෑ. රූ රැජනකට කලින් මම නිරූපිකාවක්. රූ රැජනක් වුණාට පස්සේ රංගනයට සම්බන්ධ වුණා. ඒත් හැකියාව, කැපවීම, උනන්දුව නැත්නම් රූ රැජනක් වුණත් ඔය කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.


හැම අවුරුද්දකම විවිධ තේමා යටතේ ලාංකේය රූ රැජිනියෝ බිහිවෙනවා. ඒත් ලෝක මට්ටමෙන් දැනෙන කීර්තියක් අත් කර දෙන්න ඒ අයට වසර ගණනකින්ම බැරි වුණේ රූපයේ අඩුපාඩුවක් නිසාද, නැත්නම් වෙනත් අඩුපාඩුවක් නිසාද? ලස්සනනේ අඩුපාඩුවක් නෙමෙයි. ලබාදෙන සහයෝගයේ නම් ලොකු අඩුපාඩු තියෙනවා. අනිත් හැම රටකම රූ රැජනට රජයෙන් සම්පූර්ණ අනුග්‍රහය හම්බ වෙනවා. ඒත් අපේ රටේ හැමදේම අපි තනියම කරන්න ඕනෑ...

නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියනවලුනෙ? මම කියන්නේ ඇත්ත. ඒ ඇත්ත තිත්ත වෙන්න ඇති.
 

තිරයේ දකින නිළියව පෙම්වතිය කරගන්න සමහරු ආසයි. සමහරු විවාහ වෙන්න බයයි. ඔය කියන බය මිථිලට දැනිලා නැද්ද? අපෝ නෑ.. මං ගැන අවබෝධයෙන් තමයි ඔහු මට විවාහ යෝජනාව ඉදිරිපත් කළේ.

ඔය පළමුවැනි ප්‍රේමය නෙමෙයිනේ..? නෑ.

විවාහය තවත් ආදරයකට බාධාවක්ද? අපෝ ඔව්.

විවාහයෙන් පස්සේ ප්‍රේම ආරාධනා ඇවිත්ම නැද්ද? ඇයි නැත්තේ. විවාහක බව දැනදැනත් තාමත් ඒවගේ ආරාධනා ලැබෙනවා.


ඒ ප්‍රේමාරාධනාද? නැත්නම් අයුතු යෝජනාද? ඔය දෙකම. සමහරු ඇත්තටම ආදරය කරනවා. තවත් සමහරු කතා කරන්නේ වෙන දේකට.

විවාහයෙන් පස්සේ හිත හෙල්ලිලාම නැද්ද? අම්මෝ නෑ... හෙල්ලන්නෙත් නෑ... තුන් හිතකින්වත් හිතන්නෙවත් නෑ.
 

සුමුදුට විවාහය කියන්නේ ජීවිතයමද? නැත්නම් ගිමන්හලක් විතරද? මගේ ජීවිතය මිථිල... ඒ කියන්නේ විවාහය කියන්නේ මගේ ජීවිතය.

සමහරුන්ට ජීවිතය වෙන විවාහය, තවත් අයට ගිමන්හලක් වෙන්නෙ කොහොමද? අනේ මන්දා... මමත් විවාහ වෙද්දි සමහරු එක එක දේ කිව්වා. දැන්ම කරදරේ වැටෙන්න එපා කිව්වා. අනේ මට නම් විවාහ වුණා කියලා වැරදුණේ නෑ.

සුමුදු Night Club යනවද? අපෝ නෑ... වැස්සකටවත් ගොඩවෙලා නෑ.

එතකොට මත්පැන්, දුම්පානය කරනවාද? පිස්සුද, සිගරට්, මත්පැන් බොන කොල්ලන්ටත් අකැමැති මම ඒවා බොයිද?

ඉතිං ඕවා කිසි දෙයක් නොකර නිරූපිකාවක් වෙන්න පුළුවන්ද? අපෝ පුළුවන්... නිරූපිකාවක් නෙමෙයි රූ රැජනක් වෙන්නත් පුළුවන්... අපේම සමහර අය ඔය වගේ වැරැදි මතයක ඉන්නවා. මටත් ඒ කාලේ අපෝ නංගි ඔහොම ගොඩේ තාලෙට ඉඳලා බෑ කියපු මට වඩා ජේ‍යෂ්ඨයෝ හිටියා... එහෙම කිව්වාට ගොඩේ ගතිය මට හොඳ නිසා එහෙම කළේ නෑ. ඒත් අද ක්ෂේත්‍රයට එකතු වෙන පොඩි නංගිලා මේ ලණු කාලා විනාශ වෙනවා මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.

ගමේ කෙල්ලො නගරයට ආවහම කුරුඳුවත්තේ කෙල්ලන්ටත් වඩා නාගරික වෙනවලු. ගමේ කම හංගනවාලු. සුමුදුට මුල මතකද? අපෝ ඔව්... ගමෙන් ආවා කියලා මගේ වෙනස් වුණේ කොණ්ඩෙ විතරයි. ඒකත් ලේයර් කළා විතරමයි. මම ගමේ කෙල්ලෙක් කියන්නේ ආඩම්බරයෙන්.

ගමේ මල නගරේ මල් පෝච්චියකට නොවැටී ඒ පිපිච්ච ගහේම තිබුණා නම් කියලා හිතිලාම නැද්ද? නෑ... මල පරවුණේ, අකාලේ පෙති බිඳුණේ නැති නිසා එහෙම හිතිලාම නෑ.

විවාහ වෙලා අවුරුද්දකටත් කිට්ටුනේ. දරු පැටියෙක් ඔය ජීවිතේට බරක්ද? නෑ... නෑ... ඒත් හදිසියක් නෑ... තව මාස කීපයක් කල් දෙන්නකෝ...

කවදාද විවාහක ලෝක රූ රැජින කිරුළ ලංකාවට ගේන්නේ? ඒකට දරුවො දෙන්නෙක් හදන්න ඕනෑනේ.
තව අවුරුදු හතරක්වත් යයි.