Saturday, December 27, 2014

ඒ චරිතේ රඟපෑවට මම දැන් ගොඩක් බැනුම් අහනවා | චමිලා


වේදිකාව, ටෙලිනාට්‍ය හා සිනමාව යන ත්‍රිත්ව කලා මාධ්‍යයන්හි ඇය දක්ෂ චරිතාංග නිළියකි. දශක තුනකට ආසන්න වූ රංගන දිවියේ ඇය තමාටම ආවේණික වූ රංගන ප්‍රතිභාවක් ගොඩනඟා ගැනුමට සමත් වී ඇත. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කීපයකම ඇයගේ රඟපෑම් ප්‍රේක්ෂක කතාබහට ලක්වී ඇත. ඇය ජනප්‍රිය නිළි චමිලා පීරිස්. 


මේ දවස්වල ඔබේ කලා කටයුතු මොන වගේ ද?
ටෙලි නාට්‍ය තුනක සහ වේදිකා නාට්‍යයක මම මේ දවස්වල රඟපානවා. ඒ අතරින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ ‘සුජාතා’ ටෙලි නාට්‍යයට. ඒත් ඒ ටෙලි නාට්‍ය නරඹන වැඩි පිරිසක් මට බණිනවා.
. ඇයි ඒ?
‘උපේඛා’ කියන චරිතය කළු චරිතයක් නිසා. ඒ චරිතය කළු චරිතයක් වුණාට ඒ විදිහට ඇය හැසිරෙන්නේ ඇය මුහුණ දෙන විවිධ හේතු නිසයි. පොඩි ළමයගේ සිට වැඩිහිටියා දක්වා වන ප්‍රේක්ෂකයන් ආදරය කරන චරිතයකට මම නපුරුකම් කරනවා.

. සැබෑ ජීවිතයේත් ඒ වගේ ද?
අපෝ නැහැ. බොහොම සරල, චාම්, හැම දෙයක් දෙසම උපේක්ෂා සහගතව බලන කෙනෙක් මම. ඒ වගේ නපුරු නැහැ.

. ඔබ ටෙලි නාට්‍යවලටම සීමා වූ නිළියක් ද?
මම හුඟාක්ම කැමැති වේදිකාවට. කොච්චර අමාරු වුණත් වේදිකා නාට්‍යයක වැඩ කරන්න ලැබුණොත් වැඩ කරනවා. මේ වෙනකොට චිත්‍රපට 7 කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒත් මගේ අවාසනාව ද සිනමාවේ අවාසනාව ද මන්දා තවම ඒ එක චිත්‍රපටයක්වත් තිරගත වෙලා නැහැ. ඒත් සිනමා උලෙළවල මේ චිත්‍රපට පෙන්වා තිබෙනවා. පසුගිය දවස්වල ධර්මසේන පතිරාජ මහත්මයාගේ චිත්‍රපට දෙකක වැඩ කළා. තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබී තිබෙනවා. මේ මාධ්‍ය තුනේම මම සැරිසරනවා.

. ඔබ දක්ෂ චරිතාංග නිළියක් වුණත් වැඩියෙන්ම ඔබට ලැබෙන්නේ සැර පරුෂ චරිත නේද?
ලංකාවේ ගොඩක් අධ්‍යක්ෂවරු බලන්නේ පිටපතට අනුව ලේසියෙන්ම අදාළ චරිතය කරන්නට පුළුවන් කියලා හිතන අයට ඒ චරිතය රඟපාන්න දීමයි. අද මමත් ඒ දෙයට මුහුණපාලා තිබෙනවා. අද දක්ෂ නළු නිළියන්ට වෙන්නේ යම් චරිතයක් හොඳින් නිරූපණය කළා ද ඒ චරිතය වගේම චරිතයක් තමයි ඊළඟ නිර්මාණයේදීත් ලැබෙන්නේ. අධ්‍යක්ෂවරු ටක් ගාලා නම යෝජනා කරලා අඬගහල ඒ චරිතය දෙනවා. එහිදී නළුවෙකුට හෝ නිළියකට චරිතාංග නළුවෙක් නිළියෙක් වීමේ අවස්ථාව මඟහැරී යනවා. ඒ අය උත්සාහ කරන්නේ නැහැ නළු නිළියන් ගෙන් විවිධත්වයක් ලබා ගන්න. මං වගේ කෙනෙකුගෙන් අදාළ චරිතයට හාත්පසින්ම වෙනස් රංගනයක් ලබාගන්නට ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. දක්ෂ නළුවෙකුට නිළියකට ඕනෑම චරිතයක් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ටෙලි නාට්‍ය ක්‍රමය අපේ රටේ නළු නිළියන්ට අවාසියි. මොකද අපේ රංගන පරාසය පෙන්වන්නට එහිදී ලැබෙන ඉඩකඩ මදි.

. රංගනය ඔබ දුටු හීනයක් හැබෑ වීමක් ද?
මගේ එවැනි හීනයක් තිබුණෙ නැහැ. මගේ පවුලේ හෝ පරම්පරාවේ කිසිම කෙනෙක් කලාවට කිසිම සම්බන්ධයක් තිබුණෙ නැහැ. මට පුංචි කාලේ ඉඳලම නටන්න සින්දු කියන්න පොඩි පිස්සුවක් තිබුණා. මම උසස් පෙළ කරන අවදියේ අහම්බෙන් මට හඳුනාගන්න ලැබෙනවා කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය. ඇය මට පාසලේ රංග කලාව උගැන්වූ ගුරුතුමිය. ඇය දවසක් මට අහම්බෙන් පැවසුවා වේදිකා නාට්‍යයක් තියෙනවා රඟපාමු ද කියලා.
මම ඒ වෙනකොට වේදිකා නාට්‍ය එකක් හෝ දෙකක් බලලා ඇති. මටත් හරි පුදුමයි. මම කැමැති වුණා රඟපාන්න. ඒ අනුව මම ‘බර්ගාඩා ගේ සිපිරි ගෙය’ නාට්‍යයේ රඟපාන්න එකතු වුණා. එය අධ්‍යක්ෂණය කළේ රංජනී ඔබේසේකර මහත්මිය. එහි මාත් සමඟ සෝමලතා සුබසිංහ, කෞෂල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න වගේ ලංකාවේ දක්ෂතම නිළියන් රඟපෑවා. එය මගේ වාසනාවක් ලෙස මම දකිනවා. අවුරුදු 20 දී වයස අවුරුදු 42 ක චරිතයක් මම රඟපෑවා. මොකද මම තමයි එතැන හිටපු ළාබාලම නිළිය. ඔවුන් ගෙන් ලැබුණු ගුරුහරුකම් මට හුඟාක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව උදාකළා. ඒ නාට්‍යයෙන් මගේ රඟපෑමට ඇති ආසාව වැඩිදියුණු කළා. මට හුඟාක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.

. ඔබ රංගනය ගැන හැදෑරීමක් කළේ නැත්ද?
මොකද නැත්තේ. ඒ කාලේ රටේ තිබුණු හැම රංගන වැඩමුළුවකටම වගේ සහභාගි වුණා. අපි ගෙවල්වල නැහැ. පාන්දර ගෙදරින් පිටත් වුණාම මහ රෑ යාමේ තමයි ගෙදරට එන්නේ. උගන්වන හැම තැනටම ගිහින් රංගනය හැදෑරුවා. එයින් තමයි පන්නරය ලැබුවේ. ඒ වගේම නාට්‍යයක් පෙන්වන්නේ කොතැන ද එතැනට ගිහින් නාට්‍ය බලනවා. ඒ විදිහට රස්තියාදු ගැසීමෙන්, මිනිසුන් හඳුනාගැනීමෙන් තමයි මෙතරම් දුරක් ක්ෂේත්‍රයේ එන්නට හැකි වුණේ.

. ජීවිතේ ගැන ඔබට සිතෙන්නේ කුමක් ද?
මට සතුටුයි. විශේෂයෙන්ම නිළියක වීමට ලැබීම ගැන මම හදවතින්ම සතුටු වෙනවා. ස්වභාව ධර්මයෙන් හා දෙවියන් මට දුන්නු තෑග්ගක් එය. මමත් හැම විටම මේ ක්ෂේත්‍රයට හොඳ දෙයක් දෙන්න කැප වෙනවා. කොතැන ගියත් ප්‍රෙක්ෂකයන් ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කලාකරුවන් ලෙස අපිට ආදරය කරන ප්‍රේක්ෂකයන් අපි කියන දේවල් රඟපාන දේවල් පිළිගන්නවා, විශ්වාස කරනවා. එතැන තමයි හරිම භයානක. මොකද එතකොට අපි බොරු කරලා, යටි මගඩි වැඩ කළොත් අපි ගැන තිබෙන විශ්වාසය වගේම කලාව ගැන තිබෙන විශ්වාසය බිඳ වැටෙනවා. ප්‍රේක්ෂකයා මුලා වෙනවා. අද මේ තත්ත්වය තමයි වැඩි හරියක් ‍ක්ෂේත්‍රයේ තිබෙන්නේ.


Chamila Peirise AM Gossip 03 Chamila Peirise AM Gossip 01 Chamila Peirise AM Gossip 02

- චාපා -