Wednesday, November 19, 2014

ඔබත් පියයුරු විශාලවීමේ අසුන්දර අත්දැකීමට මුහුණ දෙන්නියක්ද?

big-bකාන්තාවකගේ ශරීර ප්‍රමාණයට වඩා පියයුරු විශාල වීම, එනම් පියයුරු අධි වර්ධනය කායිකව මෙන්ම මානසිකවත් ගැටලු ඇති කරවන තත්ත්වයකි. මේ නිසා ප්ලාස්ටික් සැත්කම් මගින් විශාල පියයුරු කුඩා කර ගැනීම කෙරෙහි යොමුවන කාන්තාවන් දුලබ නැත. නමුත් මේ සැත්කම සම්බන්ධයෙන් සමහරුන් තුළ ඇත්තේ බියකි. මෙවැනි සැත්කමක් මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නේ කොහොමද ?
අපි අද අධි වර්ධනය වූ පියයුරුවල ප්‍රමාණය කුඩා කර ගැනීම පිළිබඳව අවධානය යොමු කරමු.

පියයයුරු යනු ග්‍රන්ථියකි. මෙමගින් කෙරෙන කාර්යය දරුවන්ට මව්කිරි දීමය. මෙය කාන්තාවගේ අනන්‍යතාවයකි.
සිරුරේ ප්‍රමාණයට ගැළපෙන අන්දමින් පියයුරු පිහිටා තිබිම කාන්තා රූසපුවට මනා සුන්දර පෙනුමක් ගෙන දෙයි. නමුත් පියයුරු පමණට වඩා බොහෝ කුඩා නම් එය එම කාන්තාවට මානසික වධයක් වනු ඇත. පියයුරුවල ලොකු කුඩා බව දරුවන්ට කිරි දීමේදී බලපෑමක් නොකළත් කාන්තාවකට බොහෝ කුඩාවට පියයුරු පිහිටා තිබිම සමාජීය වශයෙන්ද ගැටලුවක් වෙයි.
අපි දැන් අපගේ මාතෘකාව දෙසට හැරෙමු.
පියයුරු විශාල වීම කාන්තාවකට අවලස්සනක් සේම කායිකවද මහත් කරදරකාරී තත්ත්වයක්වේ. එසේම මානසිකවත්, සමාජීය වශයෙනුත් මේ තත්ත්වය කරදරකාරී බව කිව යුතුය.
මෙමගින් කායිකව ඇති කරන බලපෑම් වනුයේ නිතර ඇතිවන බෙල්‍ලේ කැක්කුම, කොන්දේ කැක්කුම, උරහිස්වල වේදනාව, පියයුරුවල බරට පපුවේ බිත්තිවල රිදීම ආදියයි. නිතර මෙලෙස කොන්දේ. උරහිස්වල, පපුවේ ආදී වශයෙන් කැක්කුම් ඇතිවන විට එයට හේතුව බොහෝ කාන්තාවන්ට වටහා ගැනීම අසීරුවෙයි. ඒ අනුව ඔවුන් නිතර එම වේදනාවන් ගැන කියමින් වෛද්‍යවරුන් හමුවනු ඇත.
පියයුරුවල වේදනාවක් පවතින්නේ නම් එය පියයුරු අධිවර්ධනය නිසා ඇති වූ තත්ත්වයක් නොවේ. එය වෙනත් හේතුවකි. නමුත් විශාල පියයුරු නිසා කොන්දේ හැඩය වෙනස් වීම ආදී ඉහත කී අනිකුත් වේදනාකාරී තත්ත්වයන් ඇතිවේ.  දීර්ඝකාලීනව කොන්දේ ආබාධ හට ගැනීමටද පුළුවන. මේ හැරුණු විට පියයුරුවල බර නිසාම එය මඳක් හෝ අඩුවෙන් දිස්වීම සඳහා බ්‍රෙසියරය තදට ඇඳීමට මෙවැනි කාන්තාවෝ උනන්දුවක් දක්වති. මෙහිදී බ්‍රෙසියරයේ උරහිස් පටි තදට තිබිම නිසා කලක් ගත වන විට උරහිස්වල කාණුවක් මෙන් සෑදෙනු ඇත. සමහරුන්ගේ මෙම ස්ථාන තුවාල වී පවතින ආකාරයද අපි දැක ඇත්තෙමු.
පියයුරු විශාලව පිහිටි විට පියයුරු යට හා පියයුරු දෙක මැද නිතර දහඩිය රැඳී පවතියි. ඒ හේතුව මත පහසුවෙන් දිලීර ආසාදන ඇතිවේ. ඒ නිසා පියයුරු දෙක මැදින් හා යට නිතර කැසීම සිදුවන අතර කැසීම නිසා කාලයක් ගත වන විට එහි සම ඉතා ගොරෝසු වී කළු පැහැ ගැන්වෙනු ඇත.
මෙයට අමතරව විශාල පියයුරු තිබෙන විට ක්‍රීඩාවල සහ ව්‍යායාම්වල යෙදීමද අපහසු වේ. හේතුව පියයුරුවල බර නිසා එවැනි කටයුතු අසීරු වීමය.
මේ අයට වෙළඳ‍පොළේ ඇති බොහෝ සුන්දර ඇඳුම් විලාසිතා ඇඳීමටද නොහැකි වේ. ඇඳුම්වල උරහිස සහ පිට ප්‍රමාණය තමන්ගේ ශරීර මිම්මට ගැළපුනත් පපුව කොටස අධික ලෙස තදවීම මත එය ඇඳීම අපහසු වීම ඊට හේතුවයි. මේ අනුව ශරීර ප්‍රමාණයට වඩා විශාල ඇඳුම් ඔවුනට අඳින්නට සිදුවේ. නමුත් එයින් සිදු වන්නේ ඇඳුම මගින් ශරීරයේ හැඩයක් මතු නොවීමය.
පියයුරු අධි වර්ධනයට බලපාන හේතු
1. ජානමය හේතු
මෙය පරම්පරාවෙන් එන තත්ත්වයකි.
2. ගර්භනී භාවය
ගර්භනී වීමෙන් පසු කාන්තාවන්ගේ පියයුරු පෙරට වඩා විශාලවේ. සමහරුන්ගේ පසුව මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩුවන අතර සමහරුන්ගේ හැම ගර්භනි භාවයකදීම පියයුරු විශාල වී ඒවා යළි කුඩා නොවි අධි වර්ධන තත්ත්වයටම පත් වනු ඇත. ගර්භනී සමයේදීත්. මව්කිරි දෙන කාලයේදීත් ඊට ගැළපෙන බ්‍රෙසියරයක් දිවා කාලයේ නොවැරදීම හැඳ සිටීම මගින් මේ තත්ත්වය පාලනය කර ගත හැකිය.
3. ශරීරයේ බර වැඩි වීම
සිරුර මහත් වූ විටද පියයුරු වර්ධනය වී එය අධි වර්ධනය දක්වාම පැමිණිය හැකිය.
4. හෝමෝනවල ගැටලු
මේ හේතුව මත අධිවර්ධනය වන පියයුරු දෙආකාරයකට දැකිය හැකිය.
* සැබෑවටම සිදුවූ අධි වර්ධනය
එහිදී ඇඳුමක් ඇන්ද විටත් විශාල වී පෙනේ.
* පියයුරු විශාල වුණත් නැතත් පියයුරු කඩා වැටුණු ස්වභාවයෙන් පැවතීම.
එනම් පියයුරු පිහිටා තිබෙන්නේ එය පැවතිය යුතු ස්ථානයේ නොව බොහෝ පහළට කඩා වැටී එල්ලුනු ස්වභාවයකිනි. මෙවැනි තත්ත්වයක් තිබෙන විට බ්‍රෙසියරයක් නොඇඳ වැඩක් කිරීමද අපහසුය.
සාමාන්‍යයෙන් කාන්තාවකගේ පියයුරු පුඩුව පිහිටා තිබිය යුත්තේ බෙල්‍ලේ සිට සෙන්ටිමීටර් 20-22 අතර දුර ප්‍රමාණයකිනි. සමහරුන්ගේ ඊට වඩා බොහෝ පහළින් පිහිටයි. මෙසේ වීමට හේතුවක් වන්නේත්  ගර්භණී සමයේදී මෙන්ම දරුවාට මව් කිරි දෙනු ලබන කාලයේදීත් බ්‍රෙසියරයක් නොඇඳ සිටීමය.
පියයුරු කඩා වැටීම නිසා පියයුරුවල උඩ කොටසේ ඉරිතැලීම් (Stretch Mark) හට ගැනීම සිදුවේ. මේ ගැටලු දෙකම වළක්වා ගැනීමට ඉහත කී පරිදි මෙම කාල සීමාවල්වලදී බ්‍රෙසියර ඇඳීම අනිවාර්යයෙන් කළ යුතුය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිශ් විජේමාන්න අවධාරණය කරයි
සාකච්ඡා කළා - ඉන්දු පෙරේරා