රජයේ මුදල් අයථා පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම හා ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කිරීම යටතේ 'පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව නඩු පැවරීම සඳහා රජයේ සූදානමක් පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
රුපියල් මිලියන 4.73 ක මුදලක් (රුපියල් හතලිස් හත් ලක්ෂ තුන්දාහක්) බෞද්ධ කටයුතු හා පුනර්ජීවන මධ්‍යස්ථානයක් ගොඩනගන බවට හඟවා රජයෙන් ලබාගෙන එම මුදල තම සුඛවිහරණය සඳහා පුද්ගලික ආවාස ගොඩනැගිල්ලක් තැනීමට යෙදවීම තුලින් රජයේ මුදල් අයථා පරිහරණය කිරීමට ලක්කළ බවට රතන හිමියන්ට එරෙහිව සාක්ෂි තිබෙන බැවින්, ඒ පිළිබඳව විමර්ශන කටයුතු අරඹන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට දැනුම් දී ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම උපදෙස් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී එල්.ආර්. රණවීර මහතාට පසුගිය සතියේ ලබාදී ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ දිනවල රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ප්‍රබල හඬක් නගමින් විපක්ෂය හා අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරති.
















































