Thursday, November 20, 2014

කොටු පැන්න ඉන්දීය ක්‍රීඩකයාව ශ්‍රී ලංකා ක්‍රිකට් හංගලා ?

වසර 2010 දී ශ්‍රී ලංකාවේ පැවැති ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ඔට්ටු තැබීමේ හා තරග පාවාදීමේ චෝදනාවට ලක්වීම පිළිබඳව සකස් කළ වාර්තාව එළි නොදැක්වීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවෙන් එල්ලවී ඇතැයි වාර්තා වේ.
ඉන්දීය කණ්ඩායම දඹුල්ලේ පැවැති තරගවලට ක්‍රීඩා කරද්දී ඔවුන් නැවතී සිටි හෝටලයේ එක් ක්‍රීඩකයෙකුගේ කාමරයකට කාන්තාවක් පැමිණි බවත් ඇය එදින රාත්‍රිය ඔහුගේ කාමරයේ ගත කර පසුවදා අලුයම හතරට පමණ එයින් පිටව ගොස් තිබෙන බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.
මෙම සිදුවීම  පිළිබඳව එම තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ ආරක්ෂාව භාරව කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු වන ලෝරන්ස් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදාළ අංශවලට දැනුම් දුන් බවත් සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ ඒ බව තහවුරු වී තිබෙන බවත් එකල වාර්තා විය.
මේ සිදුවීම් පිළිබඳව සොයා බැලීමට වාර්තාවක් සකස් කළද මේ දක්වාම එයට කුමක් වූයේදැයි යන්න පිළිබඳව සඳහනක් නොමැත.
ඉන්දීය ක්‍රිකට් ආයතනයේ බලපෑම මත එම වාර්තාව යට ගැසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ බවට විධායක කමිටු සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රබල චෝදනාවක් මේවන විට එල්ල වී තිබේ.
වසර 2013 දී ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී තරග පාවාදීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විනිසුරු මුකුල් මුද්ගල් කමිටුව මේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා තිබෙන අතර, ඒ පිළිබඳව තොරතුරු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උත්සාහ කළත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රමාණවත් සහායක් නොලැබුණ බව ඉන්දීය මාධ්‍ය ඊයේ (19) වාර්තා කළේය.
මෙම චෝදනාවට ලක්ව තිබෙන ඉන්දීය ක්‍රීඩකයා වන්නේ සුපිරි පිතිකරු සුරේෂ් රයිනාය. එසේම ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී තරග පාවාදීම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් තිදෙනෙකුගේ නම් මුද්ගල් වාර්තාවට ඇතුළත් කර තිබුණත් ඔවුගේ කීර්තිනාමයට සිදුවන හානිය පිළිබඳව සලකමින් එම නම් ප්‍රසිද්ධ නොකරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මුද්ගල් කමිටුව ඉල්ලා සිටියේය.
කෙසේවුවද  ඔවායිස් ෂා හා සුරේෂ් රයිනා ඒ අතර සිටින බව මාධ්‍ය පසුගිය කාලයේදි ව්‍යංගයෙන් වාර්තා කර තිබිනි.
ඒ අනුව සුරේෂ් රයිනා පිළිබඳව දිගින් දිගටම මුද්ගල් කමිටුව කරුණු විමර්ශනය කර තිබෙන අතර, එහිදී ශ්‍රී ලංකාවේ සිදුවීම නැවත කරළියට පැමිණ තිබේ.
වරක් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සේවය ලබාගැනීමටත් කටයුතු කළ බවට පසුගිය අගෝස්තු මාසයේදී අනාවරණය විය.
මෙම වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රභලයෙකු විසින් විනාශ කර ඇති බවට සැකයක්ද මතුව තිබේ.