වත්සලා
දියලගොඩ කියන්නේ ගොඩක් දෙනා ආදරය කරන කෙනෙක්. ඇය මේ දවස්වල නම් පුංචි
තිරයෙන් ටිකක් ඈත් වෙලා. ඒ ඇය ලබපු අලුත්ම පදවිය වෙනුවෙන්. ඒ තමයි මව්
පදවිය. වත්සලාගේ පුංචි පවුලේ අලුත් විස්තර දැනගන්න අපි ඇයට කතා කළා.* දැන් ජීවිතේ අලුත් වෙලා නේද?
පුංචි දුවට දැන් මාස හතයි එයා ලැබුණට පස්සේ ඇත්තටම ජීවිතේ අලුත් වෙලා. ජීවිතේ ලස්සන වෙලා.
* අම්මා කෙනෙක් වෙද්දී දැනුණු මුල්ම හැඟීම?
කියා ගන්න බැරි තරමේ සතුටක් දැනුණා. මෙන්න ඔයාගේ බබා” කියලා දුවව මගේ අතට දෙද්දී මට පුදුම හිතුණා.
* අලුත් අත්දැකීමක් නිසා බය හිතුණේ නැද්ද?
මම මුලින්ම නම් බයෙන් හිටියේ. එත් බාබා ලැබෙද්දී මගේ මහත්තයා ප්‍රසංගත් මගේ ළඟම හිටියා. අනික බබාව දැක්කම ඇති වුණු සතුට නිසා ඒ බය අමතක වුණා.
* දුවෙක්ද පුතෙක්ද වත්සලා බලාපොරොත්තු වුණේ?
බබා ලැබෙන්න ඇවිත් ටික කාලෙකින් අපි දැනගත්තා අපට ලැබෙන්නේ දුවෙක් කියලා. ඒ නිසා ලොකු කුතුහලයක් තිබුණේ නැහැ.
* දුවගේ නම?
හිතයිෂී වෙනායා. මහේෂ් රත්සර අයියා තමයි හිතයිෂී කියන නම දැම්මේ. රෙක්ස් කියලා අපි දන්න කෙනෙක් වෙනායා කියන නම දැම්මා.
* කොහොමද දුවගේ වැඩ කරගන්න පුරුදු වුණේ?
මුලින්ම මම මුකුත්ම දැනගෙන හිටියේ නැහැ. අපේ අම්මයි, ප්‍රසංගගේ අම්මයි දෙන්නම මට උදව් කළා. මාස තුන හතරක් යද්දී මම පුරුදු වුණා.
* දුවගේ වැඩවලටමද දැන් කාලය ගතවෙන්නේ?
ඇත්තටම දැන් මට මගේ වැඩක්වත් කර ගන්නවත් වෙලාවක් නැති තරම්. මුළු දවසම ගත වෙන්නේ එයාගේ වැඩවලට. එයා වෙනුවෙන්ම තමයි කාලය ගත වෙන්නේ.
* මහත්තයාගෙන් උදව් ලැබෙනවාද?
ප්‍රසංග වැඩට ගිහින් ආපු වෙලාවෙ ඉඳලා මට දුවගේ වැඩවලට උදව් කරනවා. හැමදේම හොයලා බලනවා. එයා දුවගේ වැඩවලට මටත් වැඩිය උනන්දුයි.
* දැන් දුව ඔය දෙන්නා හඳුනනවාද?
එයා දැන් අපි දෙන්නව හොඳටම දන්නවා. කටහඬ විතරක් ඇහුනත් හඳුනනවා. එයා අපේ සම්පූර්ණ අවධානය ගන්න උත්සාහ කරනවා. අපි අවධානය නොදුන්නොත් කෑගහලා අඬනවා.
* තවම දුව තනියම තියලා ගිහින්ම නැද්ද?
මේ මාස හතටම මම ගිහින් තියෙන්නේ ටී, වී. වැඩසටහන් දෙකකට විතරයි. ඒ ගියෙත් දුවව අම්මා ළඟ තියලා. වෙන කිසිම දේකට, අඩු තරමේ නෑ ගෙදරකවත් මම ගිහින් නැහැ.
* වත්සලාව රූපවාහිනියේ දැක්කම දුව ප්‍රතිචාර දක්වනවද?
එයා මාව හඳුනගෙන, ඇස් ලොකුකරගෙන බලාගෙන ඉන්නවා.
* වත්සලාගේ නංගිත් දුවව බලාගන්න උදව් වෙනවා?
එයා පුළුවන් විදියට උදව් කරනවා. නිදි කරලා දුන්නම ළඟින් ඉන්නවා. බලා ගන්නවා. නංගිටත් දුව ගොඩක් එකතුයි.
* ආයේ රඟපාන්නේ කොයි කාලෙද?
දුවට අවුරුද්ද පහුවුණාම ආයෙත් වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි ගොඩක් දුර තැන්වල වැඩ භාර ගන්නේ නැතිව ඉන්න උත්සාහ කරනවා.
* කාලයක් රඟපෑවේ නැති වුණාම ජනප්‍රියකම අඩු වෙන්නේ නැද්ද?
එක දිගටම ඉන්නවාට වඩා කාලයක් පේන්නේ නැතිව ඉඳලා ආයෙත් ආවම ජනප්‍රියකම වැඩි වෙනවා කියලයි මට හිතෙන්නේ.
* ආයේ රඟපාන්න පටන් ගනිද්දී පෙනුම ගැන හිතන්න වේවිද?
දුව ලැබුණට පස්සේ මම ටිකක් මහත් වුණා. දැන් ටිකක් කෙට්ටු වෙලා කලින් හිටපු ගාණට එන්න තව ටිකක් කෙට්ටු වෙන්න ඕනෑ.
* වත්සලාගේ නංගි දැන් ජනප්‍රිය කෙනෙක්?
එයා ක්‍ෂේත්‍රයේ වැඩ කරගෙන යන නිසා ගොඩක් අය එයාව දන්නවා. එයා මගේ නංගි කියලත් ගොඩ දෙනෙක් දන්නවා.
* නංගිව ක්‍ෂේත්‍රයට ගේන්න වත්සලාට බය හිතුණේ නැද්ද?
මට කවදාවත් ක්‍ෂේත්‍රයේ දී ප්‍රශ්න ඇති වෙලා නැහැ. මම කා එක්කත් සුහදව හොඳට වැඩ කරනවා. ඒ නිසා නංගි ක්‍ෂේත්‍රයට එනවාට මට බය වෙන්න හේතුවක් තිබුණේ නැහැ.
* නංගි වත්සලාට අභියෝගයක්ද?
මම මගේ වැඩ කරගෙන යනවා. නංගි නංගිගේ වැඩ කරගෙන යනවා. අපිට අපිව අභියෝගයක් නමෛයි.
* වත්සලා දිගටම රඟපානවාට සැමියා කැමැතිද?
මම මොන දේ කරන්න, කොතනට ගියත් මගේ වැඩේ කරලා පාඩුවේ එනවා කියන විශ්වාසය ප්‍රසංගට තියෙනවා. ඒ නිසා එයා මට කිසිම දෙයක් තහනම් කරලා නැහැ.
* ගෙදර වැඩවලට වත්සලාගේ තියෙන දක්ෂකම?
මට ඉස්සර ඉඳලම උයන්න පුළුවන්. විවාහ වුණාට පස්සේ ගොඩක් කෑමවලට කැමැත්ත ඇති කරවන්නත් මට පුළුවන් වුණා. මොකද බඳින්න කලින් ප්‍රසංග ගොඩක් කෑම තෝරපු කෙනෙක්.
* වත්සලාගේ ලස්සන වීමේ රහස මොකක්ද?
මම වැඩිපුර කෑමට ගන්නේ ගමේ එළවළුයි, පලා වර්ගයි. මම ලස්සන නම් මගේ ලස්සන වීමේ රහස ඒක වෙන්න ඇති.
* එතකොට විලාසිතා?
තැනට ගැළපෙන විදියට මම මගේ විලාසිතා තෝර ගන්නවා. කොටට නම් අඳින්නෙම නැහැ.
* වත්සලාගේ තිබුණු කටකාර දඟකාරකම දැන් අඩුවෙලාද?
දැන් ඒ ගති අඩුයි. දැන් අම්මා කෙනෙක්නේ. වගකීමක් දැනෙනවා.
* වත්සලාට රසිකයන්ගෙන් තවමත් ආදර යෝජනා ලැබෙනවද?
ගොඩක් දෙනෙක් එක එක විදියට කතා කරනවා. මම ඒ හැම දේ ගැනම ප්‍රසංගට කියනවා. කෝල් කරලා අනවශ්‍ය දේවල් කියාගෙන ආවොත් කෝල් එක කට් කරලා පාඩුවේ ඉන්නවා.
* ජීවිතේ හැමදේම හරි කාලෙදි ලැබුණා කියලා වත්සලාට දැනෙනවද?
ඇත්තටම මට දැනෙනවා. දැන් මගේ ජීවිතේ සම්පූර්ණයි කියලා. මට හැමදේම තියෙනවා. හරි වයසෙදි හැමදේම මට ලැබුණා. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි.
* අනාගතේ ගැන මොකද හිතන්නේ?
අපි කාටවත් කරදරයක් නැතිව ඉන්නවා. දුවගේ දේවලුත් කරගෙන ඉස්සරහටත් කාටවත් කරදරයක් නැතිව ඉන්නයි මට ඕන.
නෙලූෂා සිල්වා
ඡායාරූප චමිල කරුණාරත්න



















































