සම්පත්
ශ්‍රී රෝෂන් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තේ රංගන ශිල්පියෙක් හැටියටයි. ඒත් ඔහු
රංගන ශිල්පියෙක් පමණක් නොවෙයි. මේ සම්පත් සමග අපි කළ කතාබහක්.* සම්පත් මොකක්ද මේ තිරය පිටුපස රඟන චරිතය?
මම සහය අධ්‍යක්ෂවරයෙක් විදියට කාර්යබහුලයි. ඇත්තටම මම නළුවෙක් වෙන්න කලින් ආලෝකකරණ ශිල්පියෙක්. ඊට පස්සේ තමයි ටෙලි නාට්‍යය හා ජූලියා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. මේ වෙනකොට ටෙලි නාට්‍ය දොළහක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. කවදාවත් හීන දැක්කේ නැහැ, නළුවෙක් වෙන්න. ඒත් සංජය අධ්‍යක්ෂණය කළ “නිල් අහස වගේ” ටෙලි නාට්‍ය මාව නළුවෙක් කළා. ඊට පස්සේ ටෙලි නාට්‍ය ඇරයුම් ලැබුණේ රඟපාන්න. ඒ නිසා හුඟ දෙනෙක් දන්නේ නැහැ මම අධ්‍යක්ෂවරයෙක් කියලා.
* අලුතින් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය මොනවාද?
ප්‍රවීණ, ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙක් යොදාගෙන ටෙලි නාට්‍යය දෙකක් කළා. එකක් “හඳුනාගත්තොත් ඔබ මා” ඉන්දික ෆර්ඩිනැන්ඩෝගේ පිටපතක්. නිෂ්පාදනය වසන්ත ප්‍රනාන්දුගේ. අනෙක් ටෙලි නාට්‍ය “ධවල කඳුළු” පිටපත සුනන්ද සිල්වාගේ. මේ නිර්මාණ දෙකම රූපගත කරන ගමන් විකාශය වෙනවා.
* ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍යය හා චිත්‍රපට කර්මාන්තය නිර්මාණකරණයෙන් දුගී බවට පත්වෙලා කියලා ප්‍රවීණ කලාකරවුන්ගෙන් චෝදනා නැගෙනවා. ඔබත් නිර්මාණ බිහි කරන්නෙ වාණිජ රැල්ලට නේද...?
ඇතැම් රූපවාහිනී ආයතන තමයි නිර්මාණවල ගාස්තුව තීරණය කරන්නේ. ඔවුන් දන්නවා මොන අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ ද ගාස්තුව අඩුවෙන් ගන්න පුළුවන් කියලා. ගුණාත්මක නිර්මාණවලට ඉහළ මුදලක් ගෙවනවා. මම මගේ වැඩේ ප්‍රමිතියට කරන්න අවශ්‍ය විදිහට කරනවා. මුලින්ම රූපවාහිනී ආයතනයෙන් අහනවා මට දෙන බෙල්ට් එක මොකක්ද කියලා. ඊට අදාළ විදිහට තමයි මම ටෙලි නාට්‍ය කරන්නේ. වාණිජ රැල්ලට කියලා මුදල් මත මම නිර්මාණ බිහි කරන්නේ නැහැ. ඒ විදිහට කළ සමහර නිර්මාණ සාර්ථක වුණා. අසාර්ථක වුණ නිර්මාණත් තියෙනවා.
* ජූලියා චිත්‍රපටයෙන් පසුව සම්පත් චිත්‍රපට නිර්මාණය කළේ නැහැ නේද?
තවම දෙවැනි චිත්‍රපටය නිර්මාණය කරන්න අඩිතාලම දාගත්තේ නැහැ. ඊළඟ චිත්‍රපටය කරන්නේ කවදාද කියලා කාලය තීරණය කරලා නැතත් හැකි ඉක්මනින් ඒ දේ කරන්න ඕනෑ. මගේ ඊළඟ ඉලක්කය දෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමයි. ජූලියා වගේම ලොකු වෙනස් අත්දැකීමක් චිත්‍රපට කර්මාන්තයට එකතු කරන්න උත්සාහ කරනවා.
* නළුවෙක් හැටියට සම්පත් වැඩිපුර ජනප්‍රිය නිසා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය ගැනත් කතා කරමු?
ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. තිශූලදීප තඹවිට, ලක්ෂ්මන් පුෂ්පකුමාර, රවීන්ද්‍ර විජේරත්න, අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍ය කීපයක. ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ ඉන්න අධ්‍යක්ෂවරයෙක්ගේ ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා. ඒ ටෙලි නාට්‍යයේ කොටස් කිහිපයක් ඔස්ට්‍රේලියාවේ රූගත කළේ. ඉතිරි කොටස් ටික රූගත කළාට පස්සේ විකාශය වෙයි.
* අධ්‍යක්ෂවරයෙක් හැටියටත්, රංගන ශිල්පියෙක් හැටියටත් කාර්යබහුල වෙනකොට කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද?
විවේකයත්, නින්දත් නැති තරමටම කාර්යබහුලයි. කොයිතරම් කාර්යබහුල වුණත් මම භාර ගන්න වැඩ මගහරින්නේ නැහැ. දින පහළොවක් අධ්‍යක්ෂණ වැඩවලටත්, අනෙක් දින පහළව රංගන කටයුතුවලටත් බෙදාගෙන වැඩ කරනවා.
* ජීවිතේ ලස්සනයි” ටෙලි නාට්‍යයේ පන්සිළු තවමත් ජනප්‍රියයිද සම්පත්?
මට ආදරය කරන බහුතරයක් අදටත් මට ආමන්ත්‍රණය කරන්නේ පන්සිළු නමින්. මේ වෙනකොට ටෙලි නාට්‍යය හතළිහක විතර රඟපාලා තියෙනවා. ඒත් ඒ එක චරිතයකින්වත් නමෛයි මට කතා කරන්නේ පන්සිළු නමින්. ඒකත් හරිම සුන්දර අත්දැකීමක්.
* කල වයස හරි විවාහ වෙන්නේ නැද්ද?
විවාහ වෙන්න තවම කල වයස තියෙනවා. වයස අවුරුදු තිහ සීමාව කියලා හරි මම විවාහ වෙනවා. විවාහයකට කල වයස පන්නා ගන්නේ නැහැ.
* ඇය කව්ද?
තවම එහෙම කෙනෙක් නැහැ. විවාහයට සුදුසු හොඳ සහකාරියක් ඉක්මනටම හොයා ගන්න ඕන. එහෙම නැති වුණොත් ගැළපෙන්නේ නැහැ කියලා බැන්ඳ ගමන්ම දික්කසාදය දෙයි. ඊට වඩා හොඳයි දික්කසාදය නොවන සහකාරියක් හොයාගන්න එක. ඒකට කාලය ගියත් කමක් නැහැ. නැත්නම් පහුවෙනකොට කම්මුලට අත තියාගෙන අනේ අපොයි කියන්න තමයි වෙන්නේ.
* ඇය නිළියක් වුණොත්...?
නිළියක්ව කසාද බඳින්න නම් කිසිම අදහසක් නැහැ.
හර්ෂණී වීරරත්න
ඡායාරූප : අසංක එස්. ප්‍රනාන්දු

















































