Wednesday, October 29, 2014

පූජාගේ රහස් මෙන්න

Pujaපූජා උමා ශංකර් සිංහල සිනමාවට එක්වන්නේ “අංජලිකා” චිත්‍රපටයෙනි. අනතුරුව “සුවඳ දැනුනා” ජීවිතේ ආසයි මං පියාඹන්න” සේම ඉන්දියානු ද්‍රවිඩ චිත්‍රපට කීපයකටම රංගනයෙන් දායක වූ ඇය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘කුස පබා’ චිත්‍රපටයේ පබාවතිය විය. මේ දිනවල ඇය ඔබේ ආලින්දයට ගොඩවන්නේ ජැක්සන් ඇන්තනීගේ “දස්කොන්” ටෙලි නාට්‍ය සමගිනි.
ඔබෙන් අසන්නට අලුත් ආරංචියක් කිහිපයක්ම තිබෙනවා
(සිනාසෙයි) ඇත්ත.... ඇත්ත.... අතිශයින්ම කාර්යබහුල කාලයක් තමයි මේ ගෙවන්නේ. දෙරණ නාලිකාවේ. සිටි ඔෆ් ඩාන්ස් තරගයේ විනිශ්චයකාරියක වූ නිසා වැඩ තවත් වැඩිවෙලා. ඒ ඇරුණු කොට  සදේශ් කුමාර් සහ ශ්‍රීමති සදේශ් කුමාර් යුවළගේ අලුත්ම සිංහල චිත්‍රපටයේ රූගත කිරීම්වලට තමයි වැඩිපුර කාලය යොදවන්නේ. ඒක හරිම ලස්සන ආදර කතාවක්. ඒ අතරතුර විවිධ උත්සව, විවෘත කිරීම් ආදියට ලැබෙන ආරාධනා වෙනුවෙන් ඉන්දියාවට යනවා. ඒ ගිහින් ඉක්මනින්ම ආයෙත් ලංකාවට එනවා. මට සමහර වෙලාවට දවස ගෙවිලා යනවා දැනෙන්නෙවත් නැහැ. ඒ තරමට වැඩ.
එතකොට ඔබගේ ඉදිරි කලා කටයුතු කොහොමද පෙළගැහිලා තියෙන්නේ?
මිලිනා සුමතිපාල මහත්මිය නිෂ්පාදනය කරන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කරන අලුත්ම සිනමා නිර්මාණය වන “පත්තිනි” චිත්‍රපටයේ මුහුරත් උළෙල හෙට(30) පැවැත්වෙනවා. දකුණු ඉන්දියාවේ මදුරෙයි නුවර “කණ්ණගී” කියන පතිවෘත්තාධර්මය ඉහළින් ආරක්ෂා කළ ශ්‍රේෂ්ඨ කාන්තාව පසුකාලීනව දේවත්වයෙන් පිදුම් ලබන ‘පත්තිනි දේවිය’ බවට පත්වූ ඓතිහාසික කතාව ගැන කියැවෙන චිත්‍රපටයක් තමයි මේක. පුංචිම කාලෙ අපි ආශාවෙන් අහගෙන හිටපු අපේ හිත්වල විශාල ගෞරවයකට පාත්‍ර වුණු “කණ්ණගී” චරිතයට පණ පෙවීමට ලැබිම මම මේ ජීවිතයේදී ලබපු විශාල භාග්‍යයක්. ඇත්තටම එය මගේ ජීවිතය පවා වෙනස් කරන චිත්‍රපටයක් වේවි. ඒ කියන්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයේ මුහුරත් උළෙලයි හෙට පැවැත්වෙන්නේ.
ඔබ ළඟදිම සැබෑ ජීවිතයේදී මනමාලියකගේ චරිතය රඟපාන්න සූදානම් වන බවත් ආරංචියි. ඒක ඇත්තද?
ඔව් ඒක ඇත්ත. මගේ බලා‍පොරොත්තුවලට ඉහළින්ම ගැළපෙන කෙනා මට මුණගැසුණා. මේක යෝජනාවක් විදියට ආවත් දැන් ප්‍රේම කතාවක් බවට පත්වුණු දෙයක්. මම කසාද බඳින්න බලා‍පොරොත්තු වෙන කෙනාට තිබිය යුතු සුදුසුකම් සහිත දිග ලැයිස්තුවක් මා ළඟ තිබුණා. මේක අහපු මගේ අම්මා නිතරම කිව්වේ මේ හැම සුදුසුකමක්ම තියෙන කෙනෙක් හොයන එකනම් ‍ලේසිවෙන්නේ නැහැ කියලයි. නමුත් මම දිගටම කිව්වේ එහෙම කෙනෙක් ලැබුණේ නැත්නම් මම විවාහ වෙන්නෙත් නැහැ කියලයි අන්තිමට හොඳම කෙනා මට හමුවුණා. මගේ අම්මා, තාත්තා මල්ලි පවු‍ලේ හැමෝමත් ඔහුගේ පවු‍ලේ අයත් මේ ගැන හරිම සතුටින් ඉන්නේ.
ඔහු දීපක් ෂන්මුගනාදන්. කලාවට සම්බන්ධ, කලාවට ආදරය කරන කෙනෙක්. හොඳ ඩිසයිනර් කෙනෙක්. ඒ වගේම නිරූපණ ශිල්පියෙක්. චිත්‍ර අඳින්නත් හොඳට පුළුවන්. ඒ විතරක් නමෛයි. සින්දු කියන්නත් පුළුවන්. මගේ අදහස් උදහස්වලට හොඳටම ගැළපෙන කෙනෙක්. එයා යාපනේ ද්‍රවිඩ Puja1සම්භවයක් තියෙන කෙනෙක්. නමුත් ලංකාවේ කෙනෙක්.
මේ ප්‍රවෘත්තිය ඇතැම් වබේ අඩවිවල උණුසුම් පුවතක් බවට පත්වෙලා. ඔවුන් ඔබේ විවාහය සිදුවන දින වකවානු පවා සඳහන් කර තිබුණා. ඔය කියන විදියට ඔබ ඔය තරම් ඉක්මනින් විවාහ වෙනවාද?
ඔය වබේ අඩවිවල දාලා තිබුණු දින වකවානු නම් තනිකරම බොරුවක්.
මම බාරගත්තු මේ වැඩ කටයුතු සියල්ල ඉවර කරලා තමයි විවාහ වෙන්නේ.
චෙන්නයිවලත් මම බාරගත්තු චිත්‍රපටයක් තියෙනවා. ඒ සියල්ල නිම කරලා ලබන අවුරුද්දේ තමයි විවාහ වෙන්න බලා‍පොරොත්තු වෙන්නේ. ඔහුගේ පවු‍ලේ අය ඉක්මනින්ම විවාහය සිදුකරන්න යෝජනා කළා. නමුත් මගේ වැඩ කටයුතු නිසා දෙපාර්ශ්වයම ලබන අවුරුද්දේ  විවාහ උත්සවය ගන්න තීරණය කළා. දිනයක් නම් තවම නැහැ. අපේ දෙමව්පියෝ ඒ ගැන සාකච්ඡා කරල දිනයක් නියම කර ගනීවි.
විවාහයෙන් පස්සේ ඔබ රඟපෑමෙන් ඉවත් වෙනවාද?
ඒක අනාගතයේදී මතුවන ප්‍රශ්නයක්. සමහර විට මේ දේවල්වලින් මම ඉවත්වේවි. සමහර විට තෝරාගත්තු කීපයකට විතරක් සම්බන්ධ වේවි. ඒක ගැන හරි තීරණයක් තවම නැහැ. මම මේ සියලුම කලා කටයුතුවලින් ඉවත් වුණත් කවදාහරි මට සතුටුවෙන්න පුළුවන් යමක් මම කලාවට ඉටු කරලා තියෙනවා නම් ඒකත් ජීවිතයට විශාල සතුටක් වේවි.
නිර්මලා කුමාරි සේනාරත්න
ඡායාරූප-සන්දේශ් බණ්ඩාර