Tuesday, October 7, 2014

මර්වින්ට හොරෙන් කැලණියේ සුරාසල් බලපත්‍රයක් දීලා



කැලණියේ හරක් මස් කඩයක්, මත්පැන් අලෙවි සලක් විවෘත කිරීමට තමත් අවසර නොදෙන පසුබිමක තමාට හොරෙන් හෝටලයකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍රයක්  දී ඇතැයි ද, එම බලපත දී ඇත්තේ  ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේලාගේ විරෝධය නොතකා යැයි ද, එවන් දේ සිදුවෙනවා නම් තමන්ට ආණ්ඩුවෙන් යෑමට සිදු වන්නේයැයි ද මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය.
‘මම තමයි කැලණියේ හරක් මස් නැවැත්තුවේ. එක්තරා හෝටලයක් හැදුවා කැලණියේ නාහේනේ. ඒක විවෘත කරන උත්සවයට ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා මට කතා කළා. මං ගියා. ඉන් පස්සේ මං ප්ලේන්ටියක්වත් බීලා මගේ සම්බන්ධයක් නෑ. මෙයාලා මත්පැන් බලපත්‍රයක් ඉල්ල ඉල්ල හිටියා. අවට සියලු හාමුදුරුවරුන් මේකට විරුද්ධ වුණා. පන්සල්වලට මීටර පන්සීයටත් අඩුයි. මං කිව්වා මේක කරන්න එපා කියලා.  ඒත් ලයිසන්   දීලා.
මගේ ආසනේ මෙහෙම අසෝබන විදියට සුරාසල් විවෘත වෙනවා නම් මං මේ කැලණිය ආසනයේ සිටීමේ ප්‍රයෝජනයක් නැහැනේ මේ ආණ්ඩුවත් එක්ක. මං කියනවා ස්වාමීන්වහන්සේලාට යන්න වටලන්න, මාත් එනවා. මේ ආසනයේ සංවිධායක මර්වින් සිල්වා. නැතුව වෙන කවුරුවත් නෙමෙයි.
ඩලස් ඇමැතිතුමා තමයි මාත් එක්ක ගියේ මේක විවෘත කරන්න. මං එතුමාගෙන් ගෞරවනීය ඉල්ලීමක් කරනවා මේ බලපත්‍රය කැන්සල් කරන්න. මේකම ඇති මට ආණ්ඩුවෙන් යන්න. මං මේක නායක තුමාට ලිඛිතව දන්නනවා. මේක උඩම මං යනවා. ඉන්න බැහැනේ. අපි වැඩ කරනවා. අපි වියදම් කරනවා. අපි දුක් විඳිනවා. වහාම මේවා නවත්වන්න ඕන. නවත්වන්නේ නැත්නම් මං තප්පරයක් ඉන්නේ නෑ මේකේ. මට කිසි තනතුරක් ඕන නෑ.
  මා දන්නා පරිදි සුරාබදු කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් අනුමත කර නෑ. කොමසාරිස් ජනරාල් කෙලින් වැඩ කරන කෙනෙක්.
මේවගේ වැඩ වෙනවා නම් නීත්‍යනුකූල නොවන අන්දමින්,  සදාචාර සම්පන්න නොවන අයුරින් මං කොහොමද රෙද්දක් ඇඳන් ඉන්නේ? රෙද්ද ගලෝලා ඉන්න බෑ මේක සිල්වත් උගත් සමාජයක් නිසා. එහෙම නැත්නම් තියෙන්නේ මට මෙතනින් නික්ම යන්න. අර සිද්ධාර්ත කුමාරයා ගිහි ගෙය හැර ගියා වගේ. සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙය හැර ගියේ සතර පෙරනිමිති දැකලානේ. දැන් මට ඒ වගේ සතර පෙරනිමිති පෙනීගෙන එන්නේ. මේක තව පෙරනිමිත්තක් වුණා. මුන් දෙනවා සුරා සැල්. ඉතින් මට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ එහෙමනම්. මං කොහොමද ඉන්නේ. මං හොඳ සිංහල බෞද්ධයෙක් නේ.