Monday, October 27, 2014

මම රටින් ගියේ කටකතා පැතිරුණු නිසා ‍නෙවෙයි - මේධා ජයරත්න

http://www.rivira.lk/online/images/2014/10/19/img_7400.jpgමේධා ජයරත්න කියන්නේ කවුරුත් දන්න රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් හැටියටත් කාලයක් කටයුතු කළ ඇය මාධ්‍ය ආයතනයක ප්‍රධාන නිලයකුත් දැරුවා. ඒත් මේධා වසර කිහිපයක සිට මේ වෘත්තීන් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ඒ ඇයි කියලා දැනගන්න අපි ඇයව ඇමතුවා. මේ මේධාගේ කලා කටයුතු හා පවු‍ලේ තොරතුරු ගැනයි.
මේධා ලංකාවට ඇවිත් ටික කාලයක් වෙනවා නේද?
ඔව්. දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා ලංකාවට ඇවිත්.

ඒ අවුරුදු එකහමාර නිහඬව හිටියේ ඇයි?
අපේ දුව සියාරා ගංගුලි. වයස අවුරුදු එකහමාරයි. එයා ඉපදුනේ එංගලන්තයේ. එයාව අරගෙන ලංකාවට ආවේ සති පහෙන්. පුතා නම් දැන් ටිකක් දැනුම් තේරුම් තියෙන වයසක ඉන්නේ. එයාට වයස අවුරුදු එකොළහයි. නම උලිදු සංක්‍රමණ. දුව හුඟක් පුංචි නිසා රංගන කටයුතුවලින් වගේම නිවේදන කටයුතුවලින් ඈත් වුණා.

ඒ කියන්නේ මේධාව ආයෙමත් ප්‍රසිද්ධ වේදිකාවෙන් දකින්න ලැබෙන්නේ නැහැ කියන එකද?
ලංකාවට ආව මුල් දවස්වල ආරාධනා ලැබුණා. නමුත් දුව ළඟින්ම ඉන්න ඕන නිසා ඒවට සම්බන්ධ වුණේ නැහැ. දැන් නම් එයා ටිකක් ලොකුයි. ඒ නිසා හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යෙන්ම රඟපානවා. ආයෙමත් රඟපාන්න වගේම නිවේදිකාවක් හැටියටත් කටයුතු කරන්න ආසයි. ඒ දේවල්වලින් දැන් මම ඉවත් වෙන්න අදහසක් නැහැ. ඒ වගේම කියන්න ඕන අලුතින් සෞඛ්‍ය විෂය සම්බන්ධයෙන් රූපවාහිනී ආයතනයක් පවත්වාගෙන යන්නත් අදහසක් තියෙනවා. බොහෝදුරට  ජනවාරි මාසේ ඒ වැඩකටයුතුත් ආරම්භ කරන්න පුළුවන් වෙයි.

නිතර පෙනෙන්න නොසිටි නිසා මේධාට දැන් පුංචි තිරයෙන් ඉල්ලුමක් නැතිව ඇති...?
හුඟ කාලයකින් ආරාධනා ලැබුණේ නැහැ. සමහර අය හිතනවා මම ලංකාවේ නැහැ කියලත්. ඒ වගෙම කාලයකින් නොදැකීමත් ආරාධනා නොලැබෙන්න හේතුවක් වෙන්න ඇති. ඒත් ආරාධනා යළි ලැබෙයි කියන බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.
 මේධා සම්බන්ධව ලොකු කටකතාවක් පැතිරුණු නිසා  ටික කාලයකට රට හැර ගියා කියල රාවයක් පැතිරුණා නේද?
කටකතා ගැන මම නම් දන්නේ නැහැ. ඒත් මමයි මගේ සැමියා සුරංග සෙනෙවිරත්න පුතා එක්ක එංගලන්තයට ගියේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නයි. මගේ සැමියා පශ්චාත් උපාධි දෙකක් එහිදී ගත්තා. මම ප්‍රසංග කලාව සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් ගත්තා. අධ්‍යාපන කටයුතු අවසන් කළ නිසා ලංකාවට ආවා.

මේධාට වැඩිපුර ආදරය ලැබෙන්නේ කාගෙන්ද?
අද පරම්පරාව මේධා ජයරත්න කියන්නේ නිළියක් නිවේදිකාවක් කියලා දන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒත් වයස අවුරුදු විස්සෙන් එහා අය මාව නොදන්නවා කියන්න බැහැ. මාව අඳුරගෙන අදටත් කතාබහ කරනවා. නමුත් ඉස්සර තිබුණ ජනප්‍රියත්වය නම් දැන් හුඟක් අඩුවෙලා.

ඒ කා‍ලේ මේධා හුඟක් ජනප්‍රිය වුණේ වසූදා කියන මෙගා ටෙලිනාට්‍යයෙන්නේ. මේධාට දැන් මෙගා අරහන්ද?
ඇත්තටම දැන් විකාශය වෙන මෙගා ටෙලිනාට්‍ය නම් ප්‍රමිතියෙන් තොරයි. හැම මෙගා එකක්ම නොවුණත් බහුතරය එහෙමයි. ඒ ගැන මම පැහැදීමක් නැහැ. කෙටි වුණත් මෙගා වුණත් නිර්මාණයේ ප්‍රමිතිය තියෙන්න ඕන. කොලිටියක් නැති මෙගාවලට මම සම්බන්ධ වෙන්නේ නැහැ. රඟපාන්නේ නැතිව ඉන්නකොට දුකයි. එක පැත්තකින් ජනප්‍රියත්වය අඩුවෙනවා. ජනප්‍රියත්වය අඩුවෙනකොට සිවිල් බලයත් අඩුවෙනවා. කොහොම වුණත් ජනප්‍රිය වෙන්න කියලා. මොනවා හරි කරනවා කියන මතයේ මම ඉන්නේ නැහැ.

මෙගා ටෙලිනාට්‍ය තරම්ම අද පරම්පරාවේ නළු නිළියන් දක්ෂතාවයෙන් බාලයි  කියලා හිතනවද?
අද පරම්පරාව ගත්තොත් දක්ෂයි කියන්නේ කාටද කියලා හිතෙනවා. ඇත්තටම ඒ අය ජනප්‍රියවීමේ වුවමනාවට මොනවාම හරි කැමරාව ඉස්සරහා කරලා දෙබස් කියලා එනවා. ඒක නමෛයි රඟපෑම කියන්නේ. රංගනය ගැන අවබෝධයක් නැහැ. අධ්‍යයනයක්, හැදෑරීමක් නැහැ. පෙනුම විතරයි. විදෙස් චිත්‍රපට බලද්දී අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගන හැකියාව කොහෙද තියෙන්නේ කියලා හිතෙනවා. ඒ තරමටම අපේ අය ඕවර් රඟපාන්නේ. ඒ අධිරංගනය සාර්ථකකමට ගැළපෙන්නේ නැහැ. දක්ෂ අය ඉන්නෙ නම් අතලොස්සයි. මේ මම කතා කළේ නිළියක් හැටිය නමෛයි. රූපවාහිනිය බලන ප්‍රේක්ෂිකාවක් හැටියටයි.

මේධා සැමියා එක්ක එකතුවෙලා මාධ්‍ය විෂය සම්බන්ධයෙන් ඉගැන්වීම් කටයුතු කරනවා කියලත් ආරංචියි?
ඔව්. ගල්කිස්ස, මාලබේ, ගම්පහ වගේ ප්‍රදේශවල අපි දෙන්නා උසස් පෙළ ඉගෙන ගන්න ළමුන්ට මාධ්‍ය විෂය සම්බන්ධයෙන් පන්ති පවත්වනවා. ඒකත් සුන්දර අත්දැකීමක්.

ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න අදහසක් නැද්ද?
කෙටි ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න මගෙත් සැමියාගෙත් අදහසක් තියෙවා. ඒත් ඒ දේ කරන්නේ කොයි කා‍ලේද කියලා තවම හිතලා නැහැ.

ගෘහණියක් හැටියට හා මවක් බිරිඳක් හැටියට ඔබ සාර්ථකද?
මම හිතනවා මම සාර්ථකයි කියලා. දරුවන්ගේ වැඩකටයුතු මගහරින්න බැරි නිසයි. මම දුව ටිකක් ලොකු වෙනකල් රඟපාන්න ගියේ නැත්තේ. ගෙදර වැඩවලට කිසිම කෙනෙක් නැහැ. ගෘහණියක් හැටියට හැමදේම කරන්න පුළුවන් වෙන්න ඕන. හුඟදෙනෙක් කරන්නේ වැඩ රාජකාරි බහුල වෙනකොට වැඩට කවුරුහරි ගන්නවා. නැත්නම් දරුවෝ දෙමව්පියෝ ළඟ තියලා ඒ අයට තවත් බරක් පටවනවා. මම ඒ දේ කරන්නේ නැහැ. මමයි සැමියයි දෙන්නම ඒ දේවල් හරිම පිළිවෙළට සහයෝගයෙන් කරගන්නවා. ඒ නිසා මම සාර්ථක ගෘහණියක්. ඒ වගේම දරුවන්ට හොඳ අම්මා කෙනෙක්. මගේ සැමියාට හොඳ බිරිඳක් කියලත් මම හිතනවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - මධුසංඛ සිරිවර්ධන

http://www.rivira.lk/online/images/2014/10/19/img_7344.jpg
http://www.rivira.lk/online/images/2014/10/19/ws.jpg
http://www.rivira.lk/online/images/2014/10/19/img_7371.jpg
http://www.rivira.lk/online/images/2014/10/19/img_7357.jpg