Sunday, August 3, 2014

පසුගිය කාලයේ මට සිද්ධවුණු දෙයක් නිසා මම පුදුම කලකිරීමකින් ජීවත් වුණා - මීනා කුමාරි

http://www.rivira.lk/online/images/2014/07/27/meena.jpgමීනා.. සිනහසෙන විට දිලිසෙන මීන නුවන් බැල්මෙන් ඈ කතාබහ ආරම්භ කළා. විසි වසරක් පුරා නොවෙනස් සිනහවක්. ගතවුණු දිගු කාලයටම සිදුවුණු අනේක විධ සිදුවීම් සම සිතින් දරා හිඳිමින් සුපුරුදු ලෙස තවම ඈ හිනැහෙනවා.
“කොහොමද සැප සනීප..?” අපි පළමුව ඇගේ සුවදුක් විමසා සිටියා.
“බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ටෙලිනාට්‍ය කිහිපයක වැඩකටයුතු කරනවා. මා රඟපෑ ටෙලි කිහිපයක්ම මේ දිනවල විකාශය කෙරෙනවා. ඉතින් ඒ චරිතවලට ප්‍රතිචාර ලබමින් කාලය හරිම සුන්දර විදිහට ගෙවිලා යනවා.”

මීනා කුමාරි ගැන මගේ හැඳින්වීම වැරදි නැති බව අවබෝධ කරගන්න ඒ සරල පිළිතුරම ප්‍රමාණවත් වුණා. “2016 අවුරුද්දට මීනා ටෙලි ක්ෂේත්‍රයට ඇවිත් විසි වසරක් සපිරෙනවා. මොකද හිතෙන්නේ?” අපි විමසුවා.
“කාලය පුදුම වේගයෙන් ගෙවිලා ගිහින් කියලා හිතෙනවා. ඒ ගෙවුණු කාලය ගැන මට ලොකු තෘප්තියක් දැනෙනවා. රංගන ශිල්පිනියක් විදිහට ගතවුණු දශක දෙක තුළම ප්‍රතිපත්ති ගරුකව ජීවත්වීම ගැන අද මට ලොකු සතුටක් දැනෙනවා.”

“එදා කැමරාවක් ඉදිරියට මුලින්ම එනකොට දැනුණු හැඟීම දැන් මතක් කරගන්න පුළුවන්ද මීනාට?” අපි ඇහුවා.
“පුළුවනි. මගේ පළමු ටෙලි රඟපෑම වුණේ 1996 අවුරුද්දේ ‘තුන්බිය’ ටෙලි නාට්‍යයයි. ජෝ අබේවික්‍රමයන් මගේ තාත්තා විදිහට රඟපෑවා. ඒක මහ පුදුම විදිහේ ශක්තිමත් ආරම්භයක්ය කියලා මට හිතෙනවා. ඒ පළමු ටෙලි නාට්‍යයෙන්ම මාව වසරේ නැගී එන රංගන ශිල්පිනිය  හැටියට ඇගැයීමටත් පාත්‍ර වුණා.

මගේ පළමු චිත්‍රපටය ගැන තියෙන අත්දැකීමත් ඒකමයි. වසන්ත ඔබේසේකර මහතාගේ ‘අසනි වර්ෂා’ චිත්‍රපටයෙන් තමයි මම රිදී තිරයට ආවේ. මේ ප්‍රවීණ, මහා දැවැන්තයන් සමග මගේ මූලාරම්භය සටහන් කරන්නට පුළුවන් වීම නිසාමයි මට මේ ගමන යන්නට ශක්තිය ලැබුණේ. ඒක මහ ශක්තිමත් අත්තිවාරමක් කියලයි මං විශ්වාස කරන්නේ.”

“ටෙලි තිරයේ නිතර දෙවේ‍ලේ දකිනකොට රංගන ශිල්පිනියගේ අගය නැතිවෙනවයි කියලා මීනා හිතනවාද?” අපි මීළඟ ප්‍රශ්නය යොමු කළා.
“ඒ කතාව ඇත්තම තමයි. ඒත් එකිනෙකට හාත්පසින් වෙනස්, විවිධත්වයෙන් යුතු චරිත නිරූපණය කරන්න අපි සමත් වෙනවා නම් අන්න එතකොට මිනිසුන්ට එපා නොවී පවතින්න අපට පුළුවන් බවත් නොකියාම බෑ.”

“රංගනයේ විසි වසරක අත්දැකීම් ඇතිවත් ඇයි තවම අධ්‍යක්ෂණයට අත ගැහුවේ නැත්තේ?” යැයි අපි ඇසූ විට ඇය මෙහෙම පිළිතුරක් දුන්නා.
“අ‍පොයි, ඒ දෙක දෙකක්. අධ්‍යක්ෂණය කියන මහා භාරදූර කටයුත්ත මතුපිටින් අතපත ගාන්න මම කැමැති නෑ. මේ වෙලාවේ අධ්‍යක්ෂණයට ගියොත් ඒක අසාර්ථක වෙයි කියලා මට හිතෙනවා.“හැබැයි අධ්‍යක්ෂණයට යොමුවෙන්න ආසාවක් මට නැතුවා ‍නෙවෙයි. ආසාව තියෙනවා. ඒත් ඊට පෙර තව බොහෝ දේවල් හැදෑරිය යුතුයි කියලා මට හිතෙනවා.”


“මීනාගේ දේශපාලන දැක්ම මොකක්ද?” කලාවෙන් බැහැර වුණු වෙනත් මාතෘකාවකට හිත යොමු කරවන්න හිතාගෙන අපි විමසා සිටියා.“කලාත්මක කලාව තමයි මගේ දේශපාලනය.” සරල පිළිතුරක් සපයමින් මීනා ප්‍රශ්නය මග හරිනවා.


“ඒක බොහොම කපටි උත්තරයක්නේ?” කියලා අපි කී විට මීනාට සිනහව නතර කරගන්න නොහැකි වුණා.
“නෑ, නෑ. කපටිකමින් ප්‍රශ්නය මග හැරලා යනවා නොවෙයි. හරි.. ඇත්තම කිව්වොත් දේශපාලන වේදිකාවට එන්න කියලා මට යෝජනා ආවා. ඒ යෝජනා ගෙනාවේ කවුද, මොන පක්ෂයටද, කොහොමද කියන එක මේ වෙලාවේ කියන්න සුදුසු නෑ.”
“දේශපාලනයේ මේ යන රටාවත් එක්ක හදවතට එකඟව, අවංකව වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් රටේ තියෙනවාද කියන ගැටලුව මට තියෙනවා. ඒ නිසා දේශපාලන ගොහොරුවට මං සුදුසු නැහැයි කියලා මමම තීරණය කළා. දේශපාලනයට ආවොත් රංගන ශිල්පිනියක් හැටියට මම අද ලබන ආදරය මට නොලැබි යාවි. මිනිසුන්ට මාව එපාවේවි කියලයි මට හිතෙන්නේ...”

“රංගන ශිල්පිනියන්ගේ ගරුත්වය නැතිවෙන විදිහේ බොහෝ දේවල් අද පුවත්පත්වල පළවෙනවා. මීනාටත් මේ වගේ අත්දැකීම් ඇති?” අපි විමසුවා.
ඔව්. මා සමග කළ පත්තර සාකච්ඡාවක එකම එක වචනයක වෙනසක් නිසා පසුගිය කාලයේ මට සිද්ධවුණු එවැනි දෙයක් නිසා මම පුදුම කලකිරීමක ජීවත් වුණා. නමුත් මම ඒ වරද කළ මාධ්‍යවේදිනියට ඒ වරද අවබෝධ කරලා දීලා නිහඬව මගේ හිත හදාගත්තා.

ජනප්‍රිය පුද්ගලයන් විදිහට අපි ඉතිහාසය පුරා ආරක්ෂා කරගෙන හිටි හොඳ නම සහ ප්‍රතිරූපය එකම එක වචනයකින් විකෘති කරලා දාන්න මාධ්‍යවේදීන්ට පුළුවන්. ඒක නොවිය යුතු දෙයක්. ඔය පෑනෙන් ලියන එක වචනයක් ඇති කෙනකුගේ චරිතයම ඝාතනය වෙන්න. ඒ නිසා වචන පරෙස්සමින් පාවිච්චි කරන්න..” මීනා මටත් ආදරණීය උපදෙසක් දුන්නා.

“මීනා ලස්සන දුවකගේ මවක්.. මේ වගකීම කොහොමද සිතට දැනෙන්නේ?” අපි විමසූ විට ඇය දුන් පිළිතුර මෙයයි.
“දුව තවම කොළඹ විශාඛාවේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන දරුවෙක්. දැනට මට හිතෙන්නේ දුවගේ ඉගෙනීම් කටයුතු සාර්ථකව කරගන්න මම උපරිම ශක්තිය ලබාදිය යුතුයි කියන එක විතරයි.

ඔබ කිව්වා හරි. මේ ලස්සන දුවගේ අනාගතය බොහෝ සුන්දර විදිහට සරසන්න මං බොහොම ආදරණීය විදිහට බලා ඉන්නවා. ඈ වෙනුවෙන් මගේ අතින් ඉටුවිය යුතු වගකීම් බොහොමයක් ඉදිරියට එළැඹෙන බව මං නිතර හිතනවා..”කතාබහ ආරම්භ කළ මීන නුවන් සිනහවම මුවෙහි රඳවාගෙන මීනා අපට සමුදුන්නා.
සාවිත්‍රි විතානගේ

http://www.rivira.lk/online/images/2014/07/27/meena-kumari.jpg