Saturday, August 30, 2014

මේකප්වලින් මුහුණ හානි කරගන්න මං කැමැති නැහැ

තිසුරි යුවනිකා
තිසුරි යුවනිකා මේ දිනවල විවිධ චරිත කිහිපයකින්ම අපට දැක ගත හැකි දක්ෂ රංගන ශිල්පිනියකි. සිය මව සතු රංගන කුසලතාවෙන් ඇයද පූර්ණ බව ඇගේ රංගනයෙන් මනාව පිළිඹිබු වෙයි.

තිසුරි එන්න එන්නම ටිකක් මහත් වෙන හැඩයි?
ටී.වී එකේ මාව ගොඩක් ලොකුවට පේන්නේ. අනේ මම දන්නෑ ඒ ඇයි කියලා. කෙහොමත් මේ වයස හොඳට කාලා බීලා ඉන්න ඕනේ. ඒ නිසා කෑම පාලනය ගැන ඒ තරම් හිතන්නෑ හැබැයි ටිකක් මහත් වේගෙනයි එන්නේ කියලා දැනුනහම ඒකට පිළියම් කරනවා. නැතුව මම ඔය කියන තරම් මහත නැහැ. මාව හැබැහින් දකින අයත් කියලා තියෙනවා “තිසුරි ටී.වී. එකේ දකිනවට වඩා ඔයා හරිම පුංචීනේ” කියලා.
දැන් එක දිගට වැඩ නිසා ගෙදර ඉන්න කාලෙත් අඩු ඇති?
ඔව්. වැඩත් එක්ක අපිට අඩුවෙන්ම ලැබෙන්නේ විවේකයයි, හොඳ නින්දකුයි. ඒ නිසා විවේකයක් ලැබුණහම හොඳට නිදා ගන්නවා. ඇහැරුණු වෙලේ ඉඳන් අම්මටයි තාත්තටයි කරදර කරන එක තමයි ඉතින් වැඩිපුර වෙන්නේ.
ඒ කියන්නේ ගෙදර වැඩවලට තිසුරි ගෙන් කිසිම උදව්වක් නැතුව ඇතියි?
මම පොඩි කාලේ ඉඳලා කුස්සියේ වැඩ වලට උදව් කරනවා. කෑම හැදුවේ නැතත් අඩුම ගානේ අම්මා කෑම හදලා ඉවර වෙනකන් අම්මාට පොඩි පොඩි වැඩ ටිකක් හරි කරනවා. ගේ දොර අස්පස් කරන්නේ තාත්තා වුණත් මගේ කාමරේ අස්පස් කරන කටයුත්ත තාත්තා මටම බාර දීලා තියෙන්නේ මොකද මගේ කාමරේ අස් කරන්නේත් මමයි. හැඩි කරන්නේත් මමයි.
ඒ කියන්නේ උයන්න පිහන්න තාමත් තිසුරිට බෑ නේද?
අපොයි පුළුවන්. මට පරිප්පු, කරවල තෙම්පරාදුව, සම්බෝල හොඳට හදන්න පුළුවන්.
තිසුරි විලාසිතා කරන්නේ සීමා පනවගෙනද?
මට ගැළපෙන විලාසිතා කරනවා. මට පහසුම ඩෙනිමයි, ටීෂර්ට් එකයි, ෆ්ලැට් සෙරෙප්පු දෙකයි. කොහොමටත් ඕනෑවට වඩා කොටට අඳින්නේ නැහැ. මම හිතන්නේ ගැහැනු ළමයෙක් විදිහට කාගෙන්වත් වචනයක් අහන්නත් විහිළුවක් බවට පත්වෙන්නත් ඕනේ නැහැ.
රංගන ශිල්පිනියක් වෙලත් රූපලාවණ්‍ය ගැන උනන්දුවකුත් නැහැනේ?
මේකප් කියන්නේ අපි අපේ මූණටම කර ගන්න හානියක්. මම නම් කෙහොමත් කැමැති නැහැ මේකප් තවර ගෙන ඉන්න. අද වෙනතුරු මම ෆේෂල් එකක්වත් කරලා නැහැ. පොඩි කාලේ ඉඳන් අම්මා මට ස්වභාවික දේවල් හැර කෘත්‍රිම දේවල් මුකුත් පාවිච්චි කරන්න දුන්නෙත් නැහැ. අදටත් මම කරන්නේ ඒ වගේ ස්වාභාවික දේවල් විතරයි.
ඉතින් ඔයාට පුළුවන්නේ ඔයාගේ සමකාලින යහළුවන්ටත් ඔය උපදෙස් දෙන්න?
මම එහෙම කාටවත් කියන්න යන්නේ නැහැ. අනෙත් කෙනාගේ කැමැත්ත හා නිදහස අපි අගය කළ යුතුයි. මම කියන්නේ තමන්ට සුදුසුයි, ලස්සනයි කියලා හිතෙනවා නම් ඒ දේ කළාට ප්‍රශ්නයක් නැහැයි කියලයි.
තිසුරි සුදු චරිතවලටම කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
මම විවිධ චරිත කළත් තවම කළු චරිතයක් ලැබිලා නැහැ. සමහර අය කියනවා ඒ වගේ චරිත මට ගැළපෙන්නේ නැහැලු. තවත් අය අහයි ඇයි ඒ වගේ චරිතයක් කළේ කියලා. ඉතින් ඔය විදිහට හැමෝවම පිනවන්න බැහැනේ. චරිතේ සුදු වුණත් කළු වුණත් මගේ අරමුණ ඒ චරිතෙට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නයි.
තිසුරි දැන් මෙගා නාට්‍ය භාර නොගන්නෙ ඇයි?
කොටස් දෙසියේ තුන්සීයේ දිර්ඝ නාට්‍ය නම් බාර ගැනෙන්නේ නැහැ. කතාව දිර්ඝ වූණාහම මුල මැද අග මතක නැහැ. සමහර වෙලාවට බලන අයත් බනිනවා. ඉතින් මහන්සියෙන් රඟපාලා බැණුම් අහන්නේ මොකටද? කොටස් 100 සහ ඊට අඩු නාට්‍ය භාර ගන්නවා. ඒ චරිත තේරුම් අරගෙන හොඳට කරන්න පුළුවන් නැත්නම් දීර්ඝ වුණාම අපිටත් මුල මැද අග මතක නැහැනේ.
ඔබේ සමකාලීන රංගන ශිල්පිනියන් රංගනයට අමතරව නිවේදනය නිරුපණය වැනි දේවල් වලටත් යොමු වෙනවා. ඔබට ‍එවැනි හැකියාවක් නැද්ද?
එවැනි ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒත් දොඩම් ගොඩ බදා ගත්තා වගේ වැඩ කරන්න කැමැති නැහැ.
හැමැදාම අම්මා තාත්තාට කරදර කර ගෙන ඉන්නද තිසුරිගේ කල්පනාව?
ජිවිත කාලෙම මම එයාලගේ දෝණි. නමුත් දැන්ම සබඳතාවක් ගොඩනගා ගන්න අදහසක් නැහැ. ඊට පස්සේ යාළු වුණාහම කෑවද, බිව්වද, කොහේද ඉන්නේ ඔව්ට උත්තර දෙන්න ගියහම හරිම කරදරයි නේ. පාසල් කාලය හා මේ ගත කරන නිදහස් කාලේ ආයිත් එන්නේ නැහැ. ඉතින් මේ නිදහස මං උපරිමයෙන් භුක්ති විඳිනවා.

ටානියා මෝසස්