Saturday, August 30, 2014

ඒ දෙන්නම මගේ ජීවිතයට සමීපයි


සුලේඛා ජයවර්ධන
හිම කඳු හැඩ කරමින් රෑනේ දඟකාරකම් පාන ඇයව අපි සොයා ගියෙමු.
* ඉතින් කියන්නකො ඔයාගේ විස්තර?
මම සුලේඛා ජයවර්ධන.
* හිමකඳු ටෙලි සිතුවමේ?
සංජු.
* එතකොට රෑනේ?
දුන්‍යා.
* කවුද මේ සංජු?
තමන්ගේ ටාගට්වලට යන්න කැපකිරීම් කරන කෙනෙක්.
* දුන්‍යා?
එයා ටිකක් දඟකාරයි. යටිකූට්ටු වැඩ තමයි වැඩිපුරම කරන්නේ.
* මේ දෙදෙනාගෙන් සුලේඛාගේ ජීවිතයට වඩාත් සමීප?
ම් ම් ම් . . . දෙන්නම සමීප නැහැ කිව්වොත් මම නිවැරැදියි. හැබැයි සංජු සහ දුන්‍යාගේ ගතිගුණ එහෙන් මෙහෙන් මට තියෙනවා.
* ඒ කියන්නේ සුලේඛා කපටියි, දඟකාරයි?
අපොයි එහෙම නැහැ. මං දඟකාරියක් නෙවෙයි. කපටිත් නැහැ.
* එහෙනම්?
මම මගේ ටාගට්වලට මොන බාධක තිබුණත් කවුරු මොනවා කිව්වත් කොහොම හරි යන කෙනෙක්. ඒ චරිතවලත් ඒ ගති ගුණය තියෙනවා. අන්න එතෙන්දි මමත් හරියට සංජු සහ දුන්‍යා වගේ.
* ඔබේ පිළිතුරෙන් මට තේරුණේ සුලේඛා හිතුවක්කාරියක් කියලා?
කොහොම හරි මගේ දේවල් කර ගන්නවා කියපු නිසාද?
* ඔව්?
මගේ ටාගට් තියෙන්නේ මගේ ජීවිතය තවත් යහපත් කරගන්න විතරයි. එකක් මගේ අධ්‍යාපනය. මං පුළුවන් තරම් ඉගෙන ගන්නවා. එහිදී මට බාධක ආවත් ඒවා මැඬගෙන ඉදිරියටම යනවා. මං එවැනි දේවල් සඳහා පමණයි හිතුවක්කාර වන්නේ.
* සුලේඛා රංගනයට පැමිණෙන්නේ කොහොමද?
මට රඟපාන්න වගේම සිංදු කියන්න පුවවන්. ඒ හින්දා ගායනය හදරන්න නන්දා මාලනී මිස් ගාවට ගියා. එහිදී ප්‍රියා රණසිංහ මහත්මිය මාව දැකලා කතාබහ කරලා එයාගේ සමනල වසන්තයක් නාට්‍යයට ආරාධනා කළා.
* එහි කලාරි වුණේ ඔබ?
ඔව්. කලාරි කියන්නේ ආබාධිත දරුවෙක්. රෝද පුටුවක ඉඳගෙන තමයි මට රඟපාන්න තිබුණේ.
* ඒ වන කොට ඔබ පාසල් යනවා?
මට මතක හැටියට අටේ පංතියේ ඉන්න කොටයි සමනල වසන්තයක් රඟපෑවේ.
* සමනල වසන්තයක් ටෙලි සිතුවමෙන් පසුව ඔබව ආයේ දක්නට ලැබුණේ හිමකඳු සහ රෑන සමඟින්?
මට ඒ අතරතුරදී කිඳුරංගනා නාට්‍ය සඳහා කතා කළා. ඒත් යන්න බැරි වුණා. මගේ රංගන ජීවිතයේ දෙවැනි ගමන ඇරැඹෙන්නේ මේ නාට්‍යවලින්.
* ඔබට ආරාධනා කරන ඕනෑම චරිතයක් රඟපාන්න ඔබ සූදානම්ද?
නැහැ.
* ඇයි ඒ?
මගේ පෞද්ගලික ජීවිතයට හානි වන චරිත මං රඟපාන්න බාර ගන්නේ නැහැ.
* එහෙම නම් ඔබව අපට කළු චරිතයකින් දකින්නට ලැබෙන එකක් නැති වේවි?
ඒකෙන් ඔබ අදහස් කළේ මොනවාද?
* මං කිව්වේ මත්පැන්, සිගරට් බොන, වැරැදි වෘත්තීන්වල නියැලෙන චරිතයන් ගැන?
මමත් කිව්වේ ඒවා ගැන තමයි. මං එවන් වූ චරිත ප්‍රතික්ෂේප කරනවා.
* කෙනෙකුට හිතෙන්න පුළුවන් සුලේඛාට එවන් සංකීර්ණ චරිත රඟපාන්න තරම් හැකියාවක් නැති නිසා ඒවා බාර නොගන්වා කියලා?
මං ගැන වැරැදියට හිතන්න එපා. මේක ලංකාවනේ. වෙනත් රටක ඉපදුනා නම් මං එවන් වූ චරිත දෙපාරක් හිතන්නේ නැතුව රඟපානවා.
* ඇයි ලංකාවේ නිර්මාණවල ඒ වගේ චරිත රඟපාන්න බැරි?
අපේ ප්‍රේක්ෂකයෝ බහුතරයක් අපිව මනින්නේ රඟපාන චරිතවලින්නේ. මම ඒවාගේ චරිතයක් රඟපෑවොත් මාවත් වපර ඇසින් බලාවි.
* රෑන රඟපාන්න ගිහින් නිල්මිණි තෙන්නකෝන්ගෙන් බොහොම රසට සහ සැරට කෑව කම්මුල් පාර ගැන මතක් කරමු?
මගේ අම්මෝ. ඒ කම්මුල් පාර කාල දැනුණු රිදිල්ල ආයෙත් ආයෙත් දැනෙනවා ඒක ගැන කතා කරද්දිත්. නිල්මිණි මහත්මිය මට ඇත්තටම කම්මුලට ගැහැව්වා. ඇය හිතුවේ නැහැ එච්චරට සැරට වදීවි කියලා. ඇගේ ඇඟිලි පහම මුහුණේ සලකුණු වුණා. කඳුළු පැනලා මං එදා හොඳටම ඇඬුවා. ෂූට් එකේ ඒ තිබුණේ මගේ ඇත්තම ඇඬිල්ල.
* සුලේඛා වැඩිදුර අධ්‍යාපනය හදාරනවා කියලා මේ කතාවේ ආරම්භක තැනකදී සඳහන් කළා.
මම ඛ්ධ්ර්ඒ කරලයි ඉන්නේ. දැන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා.
* නව පරපුරේ රංගන ශිල්පිණියන් මෙවන් වූ සම්මුඛ සාකච්ඡාවලදී කියපු දෙයක් තමයි රංගනයට අමතරව වෙනත් අංශයකින් ඉදිරියට යාමට ඉගෙන ගන්නවා කියපු එක. ඔබත් ඒ ගොඩේ ඉන්නේ?
අපේ රටේ මතයක් තියෙනවා කරන්නම දෙයක් නැති තැන තමයි තරුණියෝ රඟපාන්න එන්නේ කියලා. ඒත් ඒ තත්ත්වයට වැටෙන්න ඕන නැහැනේ. මට කවදා හරි කියන්න පුළුවන් මං නිළියක් වුණාට නිකම්ම නිකම් නිළියක් නෙවෙයි. මං යමක් ඉනෙ ගත්ත නිළියක් කියලා. එතකොට කවුරුවත් අනම් මනම් කියන එකකුත් නැහැනේ.
* ඔබේ අරමුණ කවදා හරි මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම නෙවෙයි වගේ?
ඔව්. මට ඕනෑ බැංකුවක වැඩ කරන්න.
* රංගනයෙන් ඉවත් වෙලා?
නැහැ. රැකියාවක් කරන ගමන් රඟපානවා.
* බැංකුවක වැඩ කරන ගමං කොහොමද රඟපාන්නේ?
ඒක ඒ වෙලාවට බලමුකෝ.
* මෙතෙක් ඔබ කළ ලොකුම මෝඩකම මොකක්ද?
මිනිස්සු ඕනෑවට වඩා විශ්වාස කිරිම. කවුරු හරි බොරුවට දුකක් කියාගෙන ආවොත් මං ඒක ඇත්ත කියලා පිළිගන්නවා.
* හරිම භායනක වැඩක්?
ඒක නම් එහෙම තමයි. මං ගොඩක් සංවේදියි. ඒකයි එහෙම වෙන්නේ.
* සුලේඛා කවදා විතරද පේ‍්‍රමවන්තයෙක් ජීවිතයට ළංකර ගන්න බලාපොරොත්තු වෙන්නේ?
ඒකට තව ටිකක් කල් යාවි. මට ආදරය කරන කෙනෙකුට වඩා නීති නොදා ඉන්න කෙනෙකු හමුවෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ. එවැනි අයකු හමු වුණොත් එතැන් පටන් විවාහය ගැන තීරණය කරනවා.
* ඔබගේ පවුලේ තොරතුරු මොනවාද?
මගේ අම්මා සුනේත්‍රා. ඇය බැංකු නිළධාරිනියක්. තාත්තා විදෙස් ගතවෙලා ඉන්නේ. අක්කයි ආච්චියි තමයි පවුලේ සෙසු සාමාජිකයෝ.
* සුලේඛාගේ ගෙවල් කොහෙද?
කොට්ටාවේ.
* ඔබ ඉගෙන ගත් පාසලත් මතක් කරමු?
මං ඉස්කෝලේ දෙකකට ගියා. නුගේගොඩ අනුලා සහ කොළඹ රෝයල් ඉන්ටටියුට් ජාත්‍යන්තර පාසල.
* සුලේඛාගේ උපන් දිනය?
අගෝස්තු 19.
* අවුරුද්ද කියන්න අකැමැතිද?
නෑ නිකම් අවුරුද්ද නොකියා හිටියේ. 1994 තමයි මං උපන් අවුරුද්ද.
* ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්නකො බලන්න?
මං මගේ පාඩුවේ ඉන්න කෙනෙක්.