Saturday, August 30, 2014

මව පියා කාමරයෙන් පිටව ගිය පසු වෛද්‍යවරයා ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාට අසභ්‍ය දර්ශන පෙන්වන බවත්, තම ලිංගික අවයව ස්‌පර්ශ කරන බවත්,


දොස්‌තර මහත්තයෝ.... ලැඡ්ජයි....


පියුම්....ඔහුගේ සැබෑ නම නොවේ. එහෙත් මේ කතාව කිවයුතු නිසාම ඔහුට පියුම් ලෙස නම තබමි.

පියුම්ට වයස අවුරුදු දාහතරකි. එහෙත් ඔහු සාමාන්‍ය දරුවන්ට වඩා තරමක්‌ වෙනස්‌ය. පියුම් නිතර කිපෙනසුලුය. ඒ නිසාම සම වයසේ දරුවන් සමග නිතර නිතර රණ්‌ඩු සරුවල් ඇතිකර ගනී. මෙය පියුම්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධාවක්‌ වන්නට පටන් ගත්තේය.

පියුම්ගේ මේ හැසිරීම් රටාව දෙස දැඩි ලෙස අවධානය යොමුකළ ඔහුගේ දෙමවුපියෝ.. තම දරුවා මානසික වෛද්‍යවරයකු වෙත යොමුකිරීමට තීරණය කළහ. ඒ පසුගිය වසරේ ජනවාරි මස අග භාගයේදීය.

කෙසේ වෙතත් පියුම් දැඩි මානසික රෝගයකින් පෙළෙන දරුවකු නම් නොවේ. එකම ගැටලුව තමන්ට තමාව පාලනය කර ගැනීමේ ශක්‌තියක්‌.. මේ දරුවා තුළ නොතිබීමය.

දරුවා යොමු කිරීම සඳහා දෙමවුපියන් විසින් මානසික වෛද්‍යවරයකු තෝරා ගත්තේය. ඔහු මානසික විශේෂඥ වෛද්‍යවරයෙකි. පියුම්ව දෙමාපියන් විසින් ගෙන යන්නේ මේ විශේෂඥ වෛද්‍යවරයා සේවය කරන පෞද්ගලික රෝහල වෙතය.

වෛද්‍යවරයා විසින් පියුම් පරීක්‍ෂා කර බැලුවේය. දරුවා සමග තනිවම කතා කළ යුතුයි" යෑයි පැවසූ වෛද්‍යවරයා සිය කාමරයෙන් පිටව යන ලෙස දෙමවුපියන්ට අණ කළේය.

වෛද්‍යවරයකු විසින් කාන්තා රෝගියෙක්‌ හෝ රෝගී දරුවකු පරීක්‍ෂා කරන්නේ නම් අනිවාර්යයෙන්ම කාන්තාවගේ සැමියා හෝ වෙනත් ඥතියකු ද, දරුවාගේ දෙමවුපියන් හෝ වැඩිහිටියකු ද එම ස්‌ථානයේ සිටිය යුතුමය. නැතිනම් හෙදියක්‌ හෝ සිටිය යුතුය. එය වෛද්‍යවරුන් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්මයකි.

එහෙත් මේ විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක්‌ම පියුම්ව පරීක්‍ෂාවට ලක්‌කර තිබෙන්නේ දෙමවුපියන් සිය කාමරයෙන් ඉවත් කිරීමෙන් පසුවය. හෙදියක්‌ද තම සහායට තබා නොගෙනය. මෙය දෙමාපියන්ට ගැටලුවක්‌ විය. මෙහි කුමක්‌ හෝ දෙයක්‌ සිදුවන බව වැටහුණු දෙමාපියන් දරුවාගෙන් මේ පිළිබඳ විමසා ඇත.

මව පියා කාමරයෙන් පිටව ගිය පසු වෛද්‍යවරයා ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාට අසභ්‍ය දර්ශන පෙන්වන බවත්, තම ලිංගික අවයව ස්‌පර්ශ කරන බවත්, දින කීපයක්‌ම එසේ සිදුවූ බවත් පියුම් දෙමාපියන්ට පවසා ඇත.

දෙමාපියන් දරුවා වෙනත් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. සිදුව ඇතිදේ අනාවරණය කරගත් එම වෛද්‍යවරයා මේ පිළිබඳ වහා පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන ලෙසත්, දරුවා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙතට ඉදිරිපත් කරන ලෙසටත් දැනුම් දී ඇත.
ඒ අනුව ළමා හා කාන්තා කාර්යාංශය විසින් පියුම්ව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකෙරේ. ඒ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දිනකය.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාද පියුම් පරීක්‍ෂාවට ලක්‌කරයි. ඉන් පසු ඔහුව තවත් මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරයි. ළමා මනස පිළිබඳ පුළුල්ව හදාරා ඇති තවත් මහාචාර්යවරියක්‌ වෙතද දරුවා යොමු කරයි. ඔවුන් දෙදෙනාගේම වාර්තා සැලකිල්ලට ලක්‌ කරමින් දරුවා පිළිබඳ වාර්තාවක්‌ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පිළියෙළ කරයි. එම වාර්තාව 2013 ඔක්‌තෝබර් 01 දා අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් මහෙස්‌ත්‍රාත් උසාවිය වෙත ඉදිරිපත් කෙරේ.

මානසික වෛද්‍යවරුන් සිටින්නේ මානසික රෝගීන් සුවපත් කිරීමට මිස මානසික රෝගයෙන් පෙළෙන අයගේ මනස තව තවත් අවුල් කිරීමට නොවේ.

පියුම්... දරුවෙකි. ඔහු ඉතා බැරෑරුම් මානසික රෝගයකින් පෙළුණු දරුවකු නොවේ. දරුවාට ඇති ආදරය නිසාම දෙමාපියන් කළේ පියුම්ගේ මානසික ආතතිය හඳුනාගෙන ඉන් ඔහු ගලවා ගැනීමටය. දරුවාගේ අධ්‍යාපන කටයුතු නිරවුල් මනසකින් යුක්‌තව කරගෙන යැම සඳහා මඟ හෙළිකර දීමය. එහෙත් පියුම්ට, ඔහුගේ දෙමාපියන්ට සිදුවූයේ වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටුණා හා සමාන සිදුවීමකි. මානසික විශේෂඥ වෛද්‍යවරයා පියුම්ගේ මනස අවුලෙන් අවුලට පත් කළේය.

කාලය ගෙවී ගියේය. මීට සති කීපයකට පෙර ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස්‌ නිලධාරියෙක්‌ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණේ. පියුම් පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ ඉල්ලා සිටින බව එම පොලිස්‌ නිලධාරියා පවසා ඇත. එහෙත් ඒ වන විටත් එම වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අධිකරණය වෙත යොමුකර තිබිණි. එහෙත් ඉල්ලීම මත එම වාර්තාවේ ඡායා පිටපතක්‌ පොලිස්‌ නිලධාරියාට ලැබේ. මුල් පිටපත මහෙස්‌ත්‍රාත් අධිකරණයට භාරදී ඇත." යනුවෙන්ද එම ඡායා පිටපතේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සටහනක්‌ තබා ඇත. පොලිස්‌ නිලධාරියා එය රැගෙන ගියේය.

ඉන් දින දෙකකට පසුව අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දෙදෙනෙක්‌ පැමිණේ. තමන් විශේෂඥ වෛද්‍යවරුන් යෑයි හඳුන්වා දෙන මොවුන් දෙදෙනා එහි සිටි අයගෙන් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පිළිබඳ විමසා තිබේ. ඒ අවස්‌ථාවේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කාර්යාලයේ නොසිටියේය.

විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු පැමිණ ඇතැයි සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක්‌ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට දුරකථන ඇමතුමකින් පැවසුවේය.

නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා මගේ වාර්තාව වෙනස්‌ කරලා දෙනවා නම් නඩුව අයින් කර ගන්න පුළුවන් කියලා.. විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්‌ අයකු ද එම දුරකථනයෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට කීවේය.

අපට ලැබී තිබෙන තොරතුරු අනුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාට දුරකථනය ඔස්‌සේ ඉතා තදින් බැණ වැදී... පියුම්ට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස්‌ කිරීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා දරුවා පරීක්‍ෂා කළ මහාචාර්යවරයාගෙන්ද ඉල්ලීමක්‌ කර ඇති බව දැනගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ දරුවා ලිංගික අපයෝජනයට ලක්‌කළ තැනැත්තා බවද පැවසේ. මොවුන් මේ සූදානම් වන්නේ මෙම ළමා අපචාර සිද්ධිය යටගසන්නටය. මේ මානසික විශේෂඥ වෛද්‍යවරයා විසින් අපයෝජනයට ලක්‌ කළ පළමු දරුවා පියුම් විය නොහැකිද. අවසාන දරුවාද පියුම් වියහැකිද.

දැන් මේ අප කතා කරන මොහොතේද ඔහු විසින් මෙම ක්‍රියාව සිදු නොකරන බව කිව හැක්‌කේ කාටද.

විලි ලැඡ්ජාවෙ බෑ... මේ සිද්ධිය දැනගත් වෛද්‍යවරයකු අපට පවසද්දී... මේ වගේ අයට සමාවක්‌ දෙන්න නරකයි..." තවත් වෛද්‍යවරයෙක්‌ කීවේය.

සත්‍යයකි. උක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයාගේ ක්‍රියාකලාපය හෙළාදැකීමට තරම් කොන්දක්‌ වෛද්‍යවරුන්ට තිබිය යුතුය. එහෙත් ඔහු නිදොස්‌ කිරීමට ඔහුට එරෙහි සාක්‍ෂි වෙනස්‌ කොට... නඩු යට ගැසීමට වෙර දරන වෛද්‍යවරුද සිටිති.

සුවය පතා පැමිණෙන අසරණ රෝගීන් වෙතින් තමන්ගේ පහත් ආශාවන් සන්තර්පනය කර ගැනීමට කෙනකු ක්‍රියා කරන්නේ නම් ඔහු වෛද්‍ය වෘත්තියට කිසිසේත් ගැළපෙන්නෙකු නොවේ. එවැන්නන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වන කිසිවකු ඇත්නම්... ඔහුටද වෛද්‍යවරයා යන නම වෙනුවට පහත් ලිංගික අපචාරකයා, ලිංගික අපයෝජකයා යන ලේබලය ඇලවීම සුදුසු වන්නේය.

අජිත් අලහකෝන්