Saturday, August 23, 2014

මගියෙක් ගුවන් යානයක යකා නටයි

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන්් නුවර සිට ඉන්දියාවේ නවදිල්ලි දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක මගියෙකු කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

ඒ හේතුවෙන් එම මගියා ආසනයේ බැඳ දැමීමට සිදුව ඇති බවයි the time of india වෙබ් අඩවිය පවසන්නේ. අදාළ ගුවන් යානය එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් එකක්.
 
කළහකාරීව හැසිරුණු මගියා 27 වන වියේ පසුවන ඉන්දීය ජාතිකයෙකු බව හඳුනාගෙන තිබෙනවා. ඔහු අධික ලෙස බීමත්ව සිට ඇතැයි ද ගුවන් යානයේ කාර්යමණ්ඩලයේ සාමාජිකයින්ට බැණ වදිමින් තර්ජනය කර ඇතැයි ද සඳහන්.
 
කාර්යමණ්ඩලයේ දෙදෙනෙකුගේ ඇඳුම් ඉරා දැමීමට ද ඔහු කි‍්‍රයාකර තිබෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් යානය සිංගප්පූරුවට ගොඩබැස්වීමටයි නියමුවා තීරණය කර ඇත්තේ.
 
කෙසේවෙතත් ගුවන් සමාගමෙන් ලැබුණු උපදේශයකට අනුව ඔහු අදාළ තීරණය වෙනස් කර නවදිල්ලිය දක්වා අඛණ්ඩව යානය රැගෙනවිත් තිබෙනවා. එහිදී යානය ගොඩබැස්වීමෙන් පසු ආසනයේ බැඳ දමා සිටි මගියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු බවයි  the time of india වෙබ් අඩවිය වැඩිදුරටත් පැවසුවේ.