Saturday, August 23, 2014

හිරුණිකා අයිස් නායි

ලොව පුරා සීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වූ අයිස් බකට් අභියෝගය මේ වන විට ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රචලිත වෙමින් තිබෙනවා. 
 
ශ‍්‍රී ලංකාවේදී මුලින්ම ඊට මුහුණ දුන්නේ ඉරාජ් වීරරත්නයි. ඔහුගේ යෝජනාවකට අනුව මල්ෂා කුමාරතුංග මෙනෙවියත්, ඇයගේ යෝජනාවකට අනුව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවියත් පසුව මෙම අභියෝගය භාරගත්තා.
 
එහිදී සිදුවන්නේ අභියෝගය භාරගත් තැනැත්තන් අයිස් වතුර බාල්දියක් සිරුරට හලා ගැනීමයි.

අයිස් බකට් අභියෝගයේ ප‍්‍රධාන අපේක්ෂාව වන්නේ මොලයේ කි‍්‍රයාකාරීත්වය අඩපණ කරන ඒ.එල්.එස්. නම් කෙටි යෙදුමෙන් හැඳින්වෙන ඇම්යොට්‍රොපික් ලැටරල් ස්ක්ලෙරෝසිස් නමැති රෝගයට ප‍්‍රතිකාර සොයා ගැනීමට ප‍්‍රතිකාර සොයා ගැනීම සඳහා වන පරීක්ෂණවලට මුදල් සපයා ගැනීමයි.
 
අදාළ අභියෝගය භාරගන්නා කෙනෙකු අයිස් ජලය බාල්දියක් සිය සිරුරට හලාගත යුතු වනවා. එමෙන්ම එම තැනැත්තා විසින් අදාළ අරමුදල සඳහා අමෙරිකානු ඩොලර් 10ක ආධාරයක් ද කළ යුතුයි.

කිසියම් තැනැත්තෙකු තමන් වෙත පැමිණි අභියෝගය භාර නොගන්නේ නම් එනම් අයිස් වතුර බාල්දියක් සිරුරට හලා ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඔහු හෝ ඇය අදාළ අරමුදලට අමෙරිකානු ඩොලර් 100ක් ආධාර කළ යුතු වනවා.
 
කෙසේවෙතත් සමහරුන් නම් අභියෝගය ද භාරගෙන අමෙරිකානු ඩොලර් 100ක්ම අදාළ අරමුදලට බැර කිරීමට කටයුතු කිරීම ද විශේෂත්වයක්.
 
මෙම අභියෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට මාරු වන්නේ ෆේස් බුක්, ට්විටර් සහ යූ ටියුබ් වැනි සමාජ  වෙබ් අඩවි හරහායි. කෙනෙකු අයිස් වතුර බාල්දියක් සිය සිරුරට හලා ගන්නා අවස්ථාව වීඩියෝගත කර, එය ඉහත සමාජ වෙබ් අඩවිවලින් ප‍්‍රසිද්ධ කරනවා.
 
අදාළ අභියෝගය භාරගැනීම සඳහා සිය යෝජනා ඔහු හෝ ඇය විසින් ඉදිරිපත් කෙරෙන්නේ ද එවැනි වීඩියෝ මගින්. යෝජිත පුද්ගලයා පැය 24ක් ඇතුළත ඊට ප‍්‍රතිචාර දැක්විය යුතු වනවා.
 
ඉරාජ් වීරරත්න පැවසුවේ අමෙරිකාවේ සිය මිතුරෙකුගෙන් මෙම අභියෝගය සඳහා තමන් යෝජනා වූ බවයි. ඒ අනුව නොපැකිළිව ඊට මුහුණදුන් බවද ඉරාජ් නෙත් නිවුස් වෙත කියා සිටියා.

"  මගේ යාළුවෙක් ජනපි‍්‍රය රැප් ගායකයෙක් , මට එයා චැලෙන්ජ් කළා... ඉතින් මට හිතුනා මේක භාර ගන්න  ඕනි මොකද අපි පුංචි රටක් හැටියට පොඩි විදිහකින් හරි අපිටත් මේකට සහභාගී වෙන්න පුළුවන්නම් ඒක නිසා මම මේක කරා... "

අයිස් බකට් අභියෝගය ඇතැමුන් හාස්‍යයක් කොට සැලකුවත්, එය ශ‍්‍රී ලංකාවටද උචිත පරිදි වෙනස් කළ හැකිදැයි තමන් කල්පනා කරමින් සිටින බවද ඉරාජ් වැඩිදුරටත් කියා සිිටියා.
 
මේ අතර ගායන ශිල්පී භාතිය ජයකොඩි ද කියා සිටින්නේ අයිස් බකට් අභියෝගය ශ‍්‍රී ලංකාවට උචිත පරිදි යොදාගත යුතු බවයි. උදාහරණයක් ලෙස එමගින් නියඟයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් සහන රැුස්කළ හැකි බව ඔහු කියා තිබෙනවා.


ශ‍්‍රී ලංකාවේදී මෙම අභියෝගය භාරගනිමින් සිරුරට අයිස් වතුර බාල්දියක් හලාගත් තවත් කෙනෙකු වූයේ ප‍්‍රකට ව්‍යාපාරිකාවක වන ඔටාරා ගුණවර්ධන මහත්මියයි.
 
ඇයගෙන් ලැබුණු අභියෝගය අනුව මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ද ඊයේ අයිස් වතුර බාල්දියක් සිය සිරුරට හලාගත්තා. ඒ, පාකිස්තානය සමග අද පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගය සඳහා සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ ඊයේ පැවති පුහුණු සැසියෙන් අනතුරුවයි.

අයිස් බකට් ලෙස ප‍්‍රකට මෙම අභියෝගයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ කෝරි ග‍්‍රිෆින් නමැත්තෙක්. කිමිදුම් ක‍්‍රීඩාවේ නිරත වී සිටියදී ඉකුත් දා ඔහු මියගිය බව විදෙස් වාර්තා කියා සිටියා.
 
තවද කෝරි ග‍්‍රිෆින් අදාළ අභියෝගය ආරම්භ කර ඇත්තේ සිය මිතුරෙකු ඒ.එල්.එස්. රෝගයට ගොදුරු වීම නිසා බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.