Thursday, January 29, 2015

නැන්දම්මාගේ මෝල්ගස්‌ ප්‍රහාරයෙන් බෑණා එතැනම

නැන්දම්මා මෝල්ගසින් තම බෑණාට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක්‌ කොලොන්න පොලිස්‌ වසමෙන් වාර්තා වේ. මෙසේ මිය ගොස්‌ ඇත්තේ කොලොන්න, වලස්‌යාය, 13 කණුව ලිපිනයෙහි පදිංචිව සිටි ආබාධිත විශ්‍රාමික යුද සෙබළෙක්‌ වූ රාජපක්‌ෂ මුදියන්සේලාගේ විඡේරත්න (අවු. 41) නමැති දෙදරු පියෙකි.

මොහු සැකකාරිය වන කිරිමන්නලාගේ පේමාවතී යන අයගේ දියණියක්‌ විවාහ කරගත් අයෙකි. ඔහුගේ බිරිඳ වසර ගණනාවක සිට රැකියාවක්‌ සඳහා විදේශගතව සිටී. දරු දෙදෙනා මාතර හා ගාල්ල ප්‍රදේශවල උසස්‌ විදුහල් දෙකක ඉගෙනුම ලබයි. ආබාධිත සෙබළා නිවසේ තනිව ජීවත්ව ඇත.


මොහු නිතර නිතර බීමත්ව සිය නැන්දම්මාගේ නිවසට ගොස්‌ බිරිඳ ගෙන්වා දෙන ලෙස පවසා නැන්දම්මා සමග ඇති කරගත් ආරවුලකදී නැන්දම්මාගේ මෝල්ගස්‌ පහරකින් තුවාල ලබා බෑණා මියගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකාර කාන්තාව පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය වැඩ බලන මහෙස්‌ත්‍රාත් මහේෂ් රාජපක්‌ෂ මහතා විසින් 29 දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇත. සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‌ෂණ කොලොන්න පොලිසියේ වැඩ බලන පොලිස්‌ ස්‌ථානාධිපති එච්. බී. මුදියන්සේ, පො.සැ. (32037) සිරිල්, පො.කො. (8532), අබේරත්න යන නිලධාරීන් විසින් සිදුකරනු ලබති.