Thursday, January 29, 2015

අම්මාට පාඩමක් උගන්වන්න දැරිය උස්සලා


අම්මාට පාඩමක් ඉගැන්වීමට සිතා මහරගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගිය බව කියන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් ඩී.එම්.ඒ. සෙනෙවිරත්න මහතා නියෝග කළේය.

වේරහැර පදිංචි වසන්ත කුමාර ජයමාන්න, කටුබැද්ද පදිංචි රුපුන් චතුරංග සමරවික්‍රම හා බොරුපන පදිංචි සමීර මධුශංක යන සැකකරුවන් එසේ ඇප මත මුදාහැරුණු අතර ඔවුන් තිදෙනාට රුපියල් පනස්දහස බැගින් වූ ශරීර ඇප නියම කෙරිණි.

මෙම සිද්ධියේ එක් සැකකරුවකු එම දැරියගේ නිවෙස ආසන්නයේ නිවෙසක කුලී පදනම මත නැවැතී සිට ඇති අතර එම දැරිය සමඟ ප්‍රේම සබඳතාවක්ද පවත්වාගෙන ගොස් තිබේ.

එම සම්බන්ධතාවට දැරියගේ මව දැක්වූ විරෝධතාව නිසා දැරිය එය නවතා දමා ඇති බව අධිකරණයෙන්
අනාවරණය විය.

එම ප්‍රේම සබඳතාවට දැරියගේ මව දැක්වූ විරෝධය හේතුවෙන් මෙම පැහැරගෙන යෑම සිදුව ඇති බවත් දැරිය ගෙනගොස් රඳවා තැබූ නිවෙසේ කාන්තාවක පොලිසියට දුරකතනයෙන් කළ දැනුම්දීමකට අනුව බොරලැස්ගමුව පොලිසිය මඟින් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එහිදී අනාවරණය කෙරිණි. 


සිය හිතවතියක සමඟ මහරගම ප්‍රදේශයේ අමතර පන්තියකට සහභාගි වීමට යමින් සිටින අතරතුරදී එම දැරිය ත්‍රිරෝද රථයකට බලෙන් නංවාගෙන ගොස් ඇත.