Monday, December 8, 2014
රිසානාගේ ඛෙල්ල කපපු අළුගෝසුවාගේ ගෙදර වැඩ කළ අනෝමා කියන කතාව
මහනුවර කුණ්ඩසාලේ මහවත්තේ පදිංචි අනෝමා සුදර්ශනී පල්ලේවත්ත මැදපෙරදිග රැකියාවට ගියේ බොහෝ කාලයකට පෙරය. මුලින්ම වයස අවුරුදු දහඅටේදී ඇය මැදපෙරදිග ගියේ වැඩි වයස දමා සැකසූ විදෙස් ගමන් බලපතකිනි. ඉන්පසුව ඇය වරින් වර සවුදි, කුවේට්, බහරේන් ආදී මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවක ලෙස සේවයට ගියාය. නැවත සියරට ආවාය. ඇය රට සිටි වසර ගණන දහඅටකි.
ජීවිතයම කඳුලක් වූ අනෝමාගේ කතාව ඈත් සමඟම සැඟවී යන්නට තිබූ ඉඩකඩ බොහෝය. එහෙත් මීට කලකට පෙර සැවොම කම්පා කළ රිසානාගේ ඛේදනීය සිදුවීමත් සමඟ ඈඳුණු කතාවක් අනෝමාගේ මුවින් පිටවීම නිසා අපි ඉකුත් දිනෙක ඇය සොයා ගියෙමු. අනෝමා ලංකාවට පැමිණියේ ඉකුත් විසිඅට වැනිදාය.
වසර දෙකක්
දෙදහස් දොළහ වසරේදි සවුදියේ රියාද් නුවර බලා පිටත්වූ අනෝමා එහි නිවෙසක ගෘහ සේවිකාවක ලෙස සේවය කළාය. ඇය වසර දෙකක සේවා කාලය නිමා කිරීමත් සමඟ නැවත ඇයට අලුත් නිවෙසක සේවයට යෑමට අවස්ථාව උදාවිය.
ර්‍ණමගේ ලියකියවිලි අලුත් කරලා ඒජන්සියෙන් මාව අලුත් ගෙදරකට විකුණුවා. ඒජන්සියෙන් මාව විකුණුවේ රියාල් තිස්පන් දහසකට. කාලයක් මැදපෙරදිග හිටපු නිසා මට ඒ භාෂාව හොඳට කතාකරන්න පුළුවන්. ඉංග්‍රිසිත් පුළුවන්. ඒ වගේම කෑම උයන්නත් පුළුවන්.
අවුරුදු දෙක ඉවර වුණාට පස්සේ තමයි මම ඒ රටේ ඒජන්සියක් මාර්ගයෙන් දොස්තර කෙනෙකුගේ ගෙදර වැඩට ගියේ. ඔහු දත් දොස්තර කෙනෙක්. නමුත් කළේ මත්පෙති විකුණන එක. ගෙදර වැඩට හිටියේ මම.අනිත් අය සාප්පුවේ වැඩකළේ. තව ගෙදර වැඩට පිලිපීන් කාන්තාවන් දෙන්නකුත් හිටියා. කොහොමහරි දොස්තර මහත්තයා ඇමෙරිකාවට ගියා. ඒ යනකොට ඔහු ඔහුගේ සේවකයන්ට කිව්වා මට පාස්පෝට් එක දීලා පඩි දීලා ලංකාවට යවන්න කියලා. මමත් ගෙදර එන්න සූදානම් වුණා. ගෙදර ගේන්න දේවල් සූදානම් කරගත්තා.
ගෙදර යන්න
ඔය අතරේ තමයි ඔවුන් මට කිව්වේ යන්න ලෑස්ති වෙන්න කියලා. මගෙ බෑග් එක්කම මාව වාහනයට නංවා ගත්තා. මං ඇහුවා කොහෙද යන්නේ කියලා. ඒ රෑ මට ඇහෙනවා ඔවුන් කාටදෝ කියනවා හෝටලය ළඟට එන්න කියලා. මට තේරුණා ඔවුන් මාව වෙනත් ගෙදරකට විකුණන්න හදනව බව. කොහොම හරි රෑ හෝටලය ළඟට ආවා. රැවුල දිග මිනිහෙක් තරුණ පිරිමි ළමයි දෙන්නෙක් එක්ක ඇවිත් හිටියා.
ළමයි මං ආ වාහනේ තිබුණ මගෙ බෑග් ඒ අයගේ වාහනයට පටවා ගත්තා. මං කිව්වා මට ඒ ගෙදරට යන්න බැහැ ලංකාවට යන්න දෙන්න කියලා. ඒත් මාව අරගෙන ආපු අය සල්ලිත් අරගෙන යන්න ගියා. වෙන කරන්න දෙයක් නැති වුණ මම අර දිග රැවුල වවපු මිනිහගේ කාර්එකට ගොඩවුණා. මට දැනුණේ ඒ වාහනේ ඇතුලේ මිනීගදක්. මං වාහනේ යමින් ගමන් කිව්වා මට ලංකාවට යන්න ඕන, වැඩකරන්න බැහැ කියලා. මං ඇඬුවා. කෑ ගැහුවා.
ඒ ගමන වාහනය එළවමින් හිටිය රැවුල දිග මිනිහා මගේ දිහා බලලා කිව්වා ඔහු තමයි පල්ලියේ අතපය කපන්නේ ඛෙල්ල කපන්නේ කියලා. මං ලංකාවේ කියලා දන්න නිසා මට කිව්වා රිසානාගේ ඛෙල්ල කැපුවෙත් එයා කියලා. මං හුඟක් බය වුණා. මට කතා කරගන්න බැරි වුණා. ඔහු කිව්වා මාවත් මරලා දානවා කියලා. මං හිතාගත්තා කොහොම හරි මේ ගෙදරින් පනිනවා කියලා.”
ඇයට තමන් විඳි දුක් ගැහැට යළි යළිත් සිහිපත් කිරීම අසීරුය. පහුවදා උදේ ඉඳල මම ඒ මුළුගේම සුද්ද පවිත්‍ර කළා. ඒක මහා අපිරිසුදු ගෙයක්. ළමයි ගොඩක් හිටියා. අවුරුදු අටක විතර ගෑනු ළමයෙක් හිටියා. මං ඒ ළමයා එක්ක යාළු වුණා.
මං ඇහුවා තාත්තා මොකද කරන්නේ කියලා. ළමයා කිව්වෙත් තාත්තා පල්ලියේ, මිනිස්සුන්ගේ අතපය කපන්නේ තාත්තා කියලා. ඒ මුතව්වගේ අම්මත් ඉන්නේ ඒ ගෙදර. අම්මගේ දෑස් පේන්නේ නැහැ. බිරිඳ ළමයි බලා ගත්තා.
මට තිබුණේ ගෙවල් පිරිසුදු කරන්නයි උයන්නයි. අලුගෝසුවාගේ බිරිඳ ගුරුවරියක්. අලුගෝසුවයි බිරිඳයි කතා කරන්නේ නැහැ. අලුගෝසුවා ගෙදර එන වෙලාවට ගෑනු අපි එයාට පේන්න ඉන්නේ නැහැ. මට ඒ ගෙදර ඉන්න එපා වෙලා තිබුණේ. හරිම අපිරිසුදුයි. ඒ වගේම මං අලුගෝසුවට බයේ හිටියේ. ඔහු මට තර්ජනය කරපු නිසා.”
පාන්දර තුනට
ර්‍ණමම දවස් පහළොවක් එක දිගට වැඩ කළා. මට පඩි ලැබුණේ නැහැ. දවසක් උදේම මම කිරි තේ බෝතලයකුත් හදාගෙන කාමරයට වෙලා දොර වහගෙන හිටියා මාව ලංකාවට යවන්න කියලා.
ඒත් ඔහු කිව්වේ මැරුණොත් කුණු බක්කියට දානවා යවන්නේ නැහැ කියලා. ඔය විදිහට දවස් දෙක තුනක් ගෙවුණා. මම අතේ තිබුණ ෆෝන් එකෙන් එම්බසියට කතා කළා. ඔවුන් මට කිව්වේ කොහොමහරි ගෙදරින් පැනලා එන්න කියලා. දවසක් මං පාන්දර තුනට විතර කාමරෙන් එළියට ආවා.
ගෙදර එක දොරක් ඇරලා තියෙනවා දැක්කා. මම දත් බුරුසුවයි සබන් කෑල්ලයි එක ඇඳුමක් විතරක් අරගෙන ගෙදරින් පැනලා පාර දිගේ දිව්වා. ටිකක් දුර දුවනකොට දැක්කා රොටි හදන කඩයක් ඇරලා තියෙනවා. එතනට බාබා කෙනෙක් ඇවිත් හිටියා. මම ඔහුට කිව්වා මට පොලිසියට යන්න ඕන කියලා. ඔහු මට කාර් එකට මුවා වෙලා බිම වාඩිවෙන්න කියලා පොලිසියට කතා කළා. කොහොම හරි පාන්දරම ඇවිත් මාව පොලිසියට අරගෙන ගියා. කන්න බොන්න දුන්නා.
උදේ නවයට තමයි ලොකු මහත්තයා ආවේ. ඔහු බොහෝම සැරෙන් කතා කළේ. මගේ නම, තාත්තගෙ නම ඔක්කෝම ඇහුවා. ඒ අහලා කොම්පියුටරයට දාලා බැලුවාම මගේ විස්තර බලලා ඔක්කෝම හරි කියලා පැමිණිල්ල ලියා ගත්තා.”
ර්‍ණඒ වෙනකොට මම හිටියේ රියාද්වල ඉඳලා හුඟාක් දුර ප්‍රදේශයක. අල්කසින් වල. ඒ පැත්ත හරිම දරුණුයි. නීති තදයි. ඊට පස්සේ තමයි මට තානාපති කාර්යාලයට එන්න ලැබුණේ. එතනත් හුඟක් දවස් හිටියා. මාස හයක් විතර හිටියා. ලංකාවට එන්න විදිහක් නැහැ. ගෙදරට කතා කරන්න විදිහක් නැහැ.
ඒ වෙනකොට ලංකාවේ එකසිය අසූවක් විතර එතැන හිටියා. කොහොම හරි මගේ දරුවගේ වෙලාවට මට ලංකාවට එන්න ලැබුණා. ටිකටි එක විතරයි ලැබුණේ. දරුවට ගේන්නවත් දෙයක් නැහැ. තානාපති කාර්යාලයේ විලා එකේ හිටපු ගෑනු කෙනකුගෙන් ඉල්ල ගත් ගවුමක් ඇඳගෙන තමයි මං ආවේ.
එයාර්පෝට් එකේදි රුපියල් දෙදහාක් ලැබුණා. කටුනායක ඉඳලා කොළඹට බස් එකේ ඇවිත් එතැනින් මහියංනය යන බස් එකක ඇවිත් දිගනින් බැස්සා. ඊට ප්සසේ ත්‍රීවීල් එකකින් ගෙදර ආවා. මං ගෙදර එනතුරු කවුරුවත් දන්නෑ අරමාස හත මට මොකද වුණේ කියලා. ගෙදර අය තවමත් දන්නේ නැහැ මං විඳපු දුක් කන්දරාව.”
අත්දැකීම්
අනෝමා පවසන්නේ ඉතාම ආසන්නයේ ඇය මුහුණ දුන් අත්දැකීම්ය. ඇය විසි එක් හැවිරිදි දියණියකගේ අම්මා කෙනෙකි. අනෝමාගේ දැන් වයස අවුරුදු හතළිස් නවයකි. වසර දහඅටක් මැදපෙරදිග දුක්වින්ඳාය.
ර්‍ණඅවුරුදු ගාණක් රට හිටියට දරුවට උගන්න ගත්තා ඇරෙන්න මුකුත් කරගත්තේ නැහැ. අපි ඉන්නේ මහගෙදර. මට මේ ගෙදර අයිතිත් නැහැ. දරුවට මාස නවයක් කාලේ මම අම්මට දරුවව දීලා රට ගියා. මගෙ මහත්තයා මැරුණා. දරුවා හදාගන්න ක්‍රමයක් නැති නිසයි එහෙම වුණේ. මගේ නංගියි අක්කයිත් රට ඉන්නේ. දුවට මෙහෙන් රස්සාවක් හොයා ගන්න බැරි වුණොත් එයාවත් රට යවන්න තමයි වෙන්නේ.”
අනෝමා පවසන්නේ ඉකි බිඳිමිනි. මුළු ජීවිත කාලය පුරාම විවිධ වූ සිත් තැවුල්වලට ඇය මුහුණ දුන්නාය. තම පවුලට මේ ඛේදවාචකයන් වන විට අනෝමා සිටියේ විදේශගතවය. එහෙත් තම කුසින් වැදූ දරුවන් මහ මඟ මරා දමද්දි අනෝමාගේ මව සහ පවුලේ අය රැය ගෙවූයේ මහවත්ත අවට කැලෑ බිම්වලය.
ර්‍ණකොහොම ඉවසන්නද මගෙ දරුවෝ නැති දුක. මගෙ බාල දුව බැඳලා හිටියේ. එතකොට අවුරුදු විසි එකයි. දරුවා ලැඛෙන්න ඇවිල්ලා මාස තුනයි. ඒ අසූ නවය කාලේ ඒ දුවට අතවර කරලා මරා දමලා තිබුණා. දැකපු අය කිව්වා දුව නිරුවතින් බලගොල්ලේ ලයිට් කණුවක එල්ලලා හිටියා කියලා. දුවලා දෙන්නයි බෑනලා දෙන්නයි පුතයි මරා දාලා හිටියා. මේ ගෙවල් බිමට සමතලා වුණා. මේ මහවත්තේ හැම ගෙදරකම වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඒ කාලේ මරලා දාන්න ඇති. අපි දේශපාලනය කළේ නැහැ.
මගෙ මහත්තයා වැඩ කළේ ලංගමයේ. අපි දරුවෝ ගැන තැවි තැවී ජීවත් වුණා. දැන් මගෙ වයස අවුරුදු අසූතුනයි. මේ දුව ගැනත් ආරංචියක් නැතිව හිටියේ. පවුලේ අගහිඟකම් නිසා අනෝමා දුව මුලින්ම රට ගියේ අපිට හොරන්.”
සැනසුමක්
කරුණාවතී අම්මා මිය ගිය තම දියණියන්ගේ, බෑණාවරුන්ගේ ඡායාරූප ආදිය පරණ ලිපි ගොනු අතරින් ඇද පෙන්වමින් හඬන්නීය. මැදපෙරදිගදී විඳි දුක්ගැහැට, තම යොවුන් දියණියගේ හෙට දවස කෙබඳුවේදැයි කියා සිතා ගන්නට නොහැකිව අනෝමා ද ඉකි බිඳින්නීය. අම්මාත් ආච්චි අම්මාත් දෙස බලා හිඳින නව යෞවනිය ද සුසුම් හෙළන්නීය. මේ ජීවිතවලට ඉතින් වදා සැනසිල්ලක් උදවේවිද?
ර්‍ණකාන්තාවන් රට යන එක මෝඩකමක්. ඒත් ජීවත් වෙන්න ඕනනේ. මං එහෙදි මුස්ලිම් ආගමට ගියා. අමීනා කියලා නම වෙනස් කරගත්තා. එහෙම කළේ ඒ රටේ කරදරයක් නැතිව ඉන්න. ඒත් මං මගේ ආගම බුද්ධාගම ඇදහුවේ. හිතේ කරදර අඩුවුණාම ආයෙත් හොඳ තැනකට යන්න ඕන.
ඒත් අර හිටපු ගෙවල් වගේ තැන් නම් හොඳ නැහැ. රිසානා මරපු විදිහ අපි ඒ රටේ ටී.වී. වල දැක්කා. රිසානා මරපු අලුගෝසුවගේ ගෙදර වැඩකරන්න යන්නේ කියලා දැන ගත්තම මං දන්නෑ මට මොනවා වුණාද කියලා.” අනෝමා තම ජීවිතයේ ගෙවී ගිය දුක්බර කාල පරිච්ඡේදය ගැන කියමින් තව තවත් ඉකිබින්ඳාය.