Wednesday, December 17, 2014

ජනප්‍රිය නිළියට ඇත්තටම ලිංගික සේවා ආයතනයක් තියෙනවාද?

priyankaලොව ඕනෑම රටක පාහේ නීති විරෝධී ව්‍යාපාර ඕනෑ තරම් සිදුවේ. ඒ තරමටම ‍පොලීසිය මගින් ඒවා වැටලීම ද සිදු වේ. නමුත් එවැනි බොහෝ  වැටලීම් පිළිබඳව ‍පොදු ජනතාව දැනුවත් වන්නේ හෝ මාධ්‍ය මගින් අසීමිත ප්‍රචාර ලබා දෙන්නේ හෝ නැත. නමුත් එසේ වටලනු ලබන ස්ථානයට ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ සබඳතාවක් ඇත්නම් වැටලීමේ පුවතට වඩා වැඩියෙන් තටු ලැබෙන්නේ ප්‍රසිද්ධ පුද්ගලයාගේ චරිතයේ ස්වභාවයටය. ප්‍රසිද්ධ පුද්ගලයා කාන්තාවක නම් එහි බලපෑම ඉතා වැඩිය. ඇය නිළියක හෝ අතිශය රූමත් කාන්තාවක නම් එතැනින් එහාට ඇය ගැන යළි හොඳක් නම් අසන්නට නොලැබේ.
මෑත කාලයේ සිදු වූ එවැනි සිදුවීම් ගැන සලකා බලන විට ඉදිරියෙන්ම තිබෙන්නේ බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය සහ සම්මානනීය නිළියක වූ ප්‍රියංකා චොප්රා පිළිබඳ සිදුවීමකි. ඉන්දියානු මාධ්‍ය සහ අන්තර් ජාලයේ වබේ අඩවිවල එම ප්‍රවෘත්තිය පළ වි තිබුණේ නීති විරෝධී ව්‍යාපාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රියංකා චොප්රා අත්අඩංගුවට පත් වී ඇති බවය. නමුත් එම සිදුවීමේ ඇත්ත නැත්ත ඉන් දින කීපයකට පසු මාධ්‍ය ඔස්සේ නිවැරදි ලෙස පළ වී තිබිණි.
මෙම සිද්ධිය සිදු වී තිබුණේ පසුගිය නොවැම්බර් හත් වෙනිදාය. ඒ මුම්බායි නගරයේ අන්දරි ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් වූ “වාස්තු ප්‍රිසින්ක්ට්” නම් ගොඩනැගිල්ල තුළය. “චරිස්මා ස්පා” යනු මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණයේ පවත්වා ගෙන ගිය එක් ව්‍යාපාරික ස්ථානයකි. එය ස්පා සහ රූපලාවන්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචි වී තිබුණ ද එය තුළ ලිංගික ජාවාරමක් සිදුවන බවට මුම්බායි ‍පොලිස් ස්ථානය වෙත ඔත්තු රැසක් ලැබි තිබිණි. ඒ අනුව ඔවුන් පසුගිය නොවැම්බර් හත් වැනි දින ඉහත ආයතනය වටලන ලදී. මෙම වැටලීම සිදු කරන මොහොතේ එහි හිමිකරුවා වූ මැණික් සෝනි නම් පුද්ගලයා ද සේවිකාවන් තිදෙනෙකු ද ඊට අමතරව පිරිමි ගනුදෙනුකරුවන් තිදෙනෙකු ද එහි සිට තිබේ.  ස්පා සහ රූපලාවන්‍යාගාරයක මුවාවෙන් එම ස්ථානයේ ලිංගික සේවා සැපයීමක් සිදුවන බවට ‍පොලීසිය වෙත ලැබි තිබූ තෙරතුර සත්‍ය බව ඒ මොහොතේම ‍පොලිස් නිලධාරීන්ට දැක ගන්නට ලැබි තිබිණි. වහාම ක්‍රියාත්මක වූ ‍පොලීසිය එහි හිමිකරුවා ඇතුළු සියලු දෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. මේ කලබලය කුමක්ද යන්න සොයා බැලීම සඳහා පළමුවෙන්ම එම ස්ථානයට පැමිණ තිබුණේ මධූ චොප්රා නොහොත් ප්‍රියංකා චොප්රාගේ මවය. ඇය වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරියකි. ආයුර්වේදමය රූපලාවන්‍ය පිළිබඳ උපදෙස් දෙන ඇගේ උපදේශන මධ්‍යස්ථානය සහ වෛද්‍ය සායන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ඉහත කී “චරිස්මා ස්පා සහ රූපලාවන්‍ය ආයතනය”ට නුදුරිනි. ඒ නිසාම චරිස්මා හි හිමිකරු මැණික් සෝනි සහ මධූ චොප්රා මිතුරන් බවට පත්ව සිටියහ.
නමුත් මෙය ඉන්දියානු ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ “මැණික් සෝනි නම් කළමනාකරු යටතේ පවත්වාගෙන යන ලද, ප්‍රියංකා  චොප්රාගේ මව යටතේ පාලනය වූ, ප්‍රියංකා චොප්රාට අයත් සම්බාහන ආයතනය” ලෙසය. ඊට අමතරව ‍පොලිස් අත්අඩංගුවට පත් වූ මැණික් සෝනි සමග ප්‍රියංකාගේ මව කතාබහ කරමින් සිටින ඡායාරූප කීපයක් ද මාධ්‍යවල පළ වී තිබුණේ සියලු සාක්ෂි සත්‍ය බවට තහවුරු කරමිනි. මාධ්‍යවල පළ වූ වාර්තා සත්‍ය ලෙස සැක කළ ‍පොලීසිය ද ප්‍රියංකාට සහ චරිස්මා ආයතනයට ඇති සබඳතාව පිළිබඳ සොයමින් පර්යේෂණ රැසක් සිදු කරන්නට විය.
Vastu-Precinctඉන් දින තුනකට පසු ප්‍රියංකා චොප්රා මුම්බායි ‍පොලීසිය වෙත කැඳවනු ලැබිණි. එහිදී ඇය විසින් මෙම මැණික් සෝනි සහ තමා අතර ඇති ව්‍යාපාරික සබඳතාව පිළිබඳ සාක්ෂි ‍පොලීසිය වෙත ඉදිරිපත් කළ යුතු විය. ප්‍රියංකා තමාට අයත් වාස්තු ප්‍රිසින්ක්ට් ගොඩනැගිල්ල පිළිබඳ සහ මැණික් සෝනි සමග ඇති ව්‍යාපාරික සබඳතාව පිළිබඳ සම්පූර්ණ ලිපි ගොනු ‍පොලීසියට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව මෙම චරිස්මා ස්පා සහ රූපලාවන්‍යාගාරය පිහිටි ගොඩනැගිල්‍ලේ සම්පූර්ණ අයිතිය ඇය සතු වූ අතර, ඇය සහ මැණික් සෝනි අතර තිබුණේ ගොඩනැගිලි හිමිකරුවෙකු සහ කුලී පදනම යටතේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයකු අතර ඇති සබඳතාව පමණක් බව එහිදී ඔප්පු විය.
ප්‍රියංකා චොප්රා ‍පොලීසිය විසින් කැඳවනු ලැබිම “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබුණේ “ප්‍රියංකා චොප්රා ‍පොලිස් අත්අඩංගුවට පත් වූ බව“ ප්‍රසිද්ධියට පත් කරමිනි. එමෙන්ම එහි තවදුරටත් සඳහන් වූයේ “අධිකව මුදල් ඉපැයීමේ තණ්හාවෙන් පෙළෙන අය තමාගේ වයසේ තරුණියන් ගණිකා වෘත්තියේ යොදවන” බවයි. නමුත් ‍පොලීසිය තුළ සිදු වූ අඩ පැයක පමණ ප්‍රශ්න කිරීමකින් පසු මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රියංකා සම්පූර්ණ නිදහස් පුද්ගලයකු බව ‍පොලීසිය ප්‍රකාශ කර තිබුණද ඉන්දීය මාධ්‍යයට නම් ප්‍රියංකා තවමත් “ලිංගික ජාවාරම්කාරිය”ක්ම පමණක් විය.
තත්ත්වය මෙසේ තිබියදී ප්‍රියංකා චොප්රා පවසන්නේ මෙම සිදුවීම මුම්බායි නගරයේ සාමාන්‍ය කාන්තාවකට සිදු වුණි නම් එය ඉන්දියානුවන් තබා අන්දරි වැසියන් පවා දැන ගන්නේ නැති බවයි. කෙසේ වුවද තමා සියයට සියයක් නිවැරදි වීම පැත්තකින් තිබියදී මෙම සිදුවීම නිසා තමාට ලැබුණු අමතර ප්‍රසිද්ධිය ගැන නම් අයට ඇත්තේ සතුටක් බව ඇගේ සමීප මිතුරිය පවසයි.
දුලංජලී මුතුවාඩිගේ