Wednesday, December 10, 2014

ආශිකි 2 කෙල්ල දියුණුවෙලාලු



පසුගිය කාලය තුළ තිරගත වූ ආශිකි 2 ඒක් විලන්, සහ දැන් තිරගත වන හෙයිඩර් යන චිත්‍රපට සාර්ථක වෙද්දී මේ චිත්‍රපටවල රගපෑ සුරූපී නිළි ශ්‍රද්ධා කපූර්ගේ ජනප්‍රියත්වයත් දිනෙන් දින ඉහළ ගියා.
නිළියක හැටියට ඇයට එලෙස පෙරටම ගමන් කරන්න හැකිවුණේ ඇගේ දෙමවුපියන් සහ පවුලේ අයගේ සහයෝගය නොඅඩුව ලැබුණු නිසයි. මේ අය විතරක් නොවෙයි, ශ්‍රද්ධාගේ නි‍වෙසෙහි වැඩ කටයුතු කරන මෙහෙකාරිය ද ඇගේ සාර්ථකත්වයේ පංගුකාරියක්. ඇය ශ්‍රද්ධාගේ නිවෙසෙහි සේවය කරමින් සිටින්නේ දීර්ඝ කාලයක සිට. ශ්‍රද්ධා පුංචි කාලයේ පටන් මේ තරුණිය ශ්‍රද්ධා සමීපයෙහිම සිටියා.

හෙයිඩර් චිත්‍රපටය සාර්ථකව තිරගත වීම නිසා ශ්‍රද්ධාගේ ජනප්‍රියත්වය ඉහළ යද්දී, මේ මෙහෙකාර තරුණියත් දැඩි සතුටට පත්වුණා. මේ වෙනුවෙන් ශ්‍රද්ධා නෝනාට තෑග්ගක් දිය යුතු යැයි සිතූ ඇය වෙ‍ළෙඳ පොළට ගොස් තමන්ට පුළුවන් හැටියට තෑග්ගක් මිලදී ගත්තා.

ඒ වුණත් එය වටිනා තෑග්ගක්. එය, ගණ දෙවියන්ගේ කුඩා ප්‍රතිමාවක්. ඒ සමගම ලස්සන සුබ පැතුම් පතක් ද මිලදී ගත්තු ඇය, ඒවා තම ස්වාමිදුවට තිළිණ කළේ හැගුම්බර වූ සිතකින්. ශ්‍රද්ධා කවදත් ගණ දෙවියන් පුදන්නේ මහත් භක්තියකින්. ඒ මොහොතේ මෙහෙකාර තරුණිය ගැන ඇතිවුණේත් දැඩි සෙනෙහසක්. ශ්‍රද්ධා ඇයව වැලඳ ගත්තේ තමන්ගේම සොයුරියකට දක්වන ආදරයකින්.

හෙයිඩර් චිත්‍රපටය නිසා බොලිවුඩ් පුරයේ කීර්තිය දිනාගන්නට සමත් වූ ශ්‍රද්ධා පසුගිය සතියේ ගතකළේ දැඩි උද්දාමයකින්. ඒ නිසාමදෝ ඇය දැන් තමන් සමග රූගත කිරීම්වලට එක්වන ශිල්පීන්ටත් පුංචි පුංචි සංග්‍රහ කරන්න පෙලඹිලා. පසුගිය දා ඇය එක්තරා සගරාවක් වෙනුවෙන් ඡායාරූප රැසකට පෙනී සිටිද්දී කප් කේක් සංග්‍රහයක් කළෙත් ඒ සතුට ඛෙදාගන්නයි.රූගත කිරීම් අතරතුරදී ඇය එහි සිටි සහායකයෙකුට මුදල් දී කීවේ දර්ශන තලයේ සිටින සියලු දෙනාටම ‘කප් කේක්’ රැගෙන එන ලෙසයි. සහායක ශිල්පියාත් ශ්‍රද්ධාගේ ඉල්ලීම අනුව ළගපාතක තිබු වෙළෙඳ සැලකින් කප් කේක් රැසක් මිලදී ගෙන පැමිණියා. ඉන් පසුව සියලුම දෙනා විනාඩි කිහිපයක විවේකයක් ගෙන ශ්‍රද්ධාගේ ප්‍රණීත කප් කේක්වල රස බැලුවා.