Saturday, November 1, 2014

සෙනසුරු මාරුව හෙට ?

ජෝතිෂ්‍යවේදය අනුව හෙට (02දා) රාත්‍රි 9.05ට සෙනසුරු මාරුවක් සිදුවන බව ජනාධිපතිවරයාගේ ප්‍රධාන දෛවඥයා වන  සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

මෙම ග්‍රහ මාරුව පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කෙළේ ජෝතිෂ්‍යවේදයට අනුව මෙම සෙනසුරු මාරුව අනිවාර්යයෙන්ම හෙට (2දා)  සිදුවන බවයි.

එහිදී සෙනසුරු ග්‍රහයා තුලා රාශියේ සිට වෘශ්චික රාශියට ගමන් කරන බව කී අබේගුණවර්ධන මහතා, 1955 නොවැම්බර් 12 දා සිට 1958 ජුනි 2 දා දක්වාත්, 1984. 12. 20 දා සිට 1987.12.17දා දක්වාත් සෙනසුරු ග්‍රහයා එසේ වෘශ්චික රාශියේ රැඳී සිටි බවද කීය.

සෙනසුරු ග්‍රහයා එක් රාශියකින් තවත් රාශියකට ගමන් කිරීමට දළ වශයෙන් අවුරුදු 2 1/2ක් ගතවන බවත්, රාශි වළල්ලේම ගමන් කිරීම සඳහා සෙනසුරු ග්‍රහයාට අවුරුදු 30ක් ගතවන බවත්, 2014.11.02 වෘශ්චික රාශියට පැමිණෙන සෙනසුරු ග්‍රහයා 2017.10.26 දක්වා එම රාශියේ රැඳී සිටින බවත් අබේගුණවර්ධන මහතා කීය.

මෙම සෙනසුරු මාරුව රටට, දේශපාලනික වශයෙන් හෝ කාලගුණික වශයෙන් හෝ විශාල බලපෑමක් නොකරන බව පෙන්වා දෙන ඒ මහතා ලග්න අනුව ජනතාවගේ සුබ අසුබ තීරණය වන බවද කීය.

පට්ටපල් බොරුවක් :

හෙට සෙනසුරු මාරුවක් සිදුවන බව ජෝතිෂ්‍යවේදීන් පැවැසුවද,  විද්‍යානුකූලව එවැනි ග්‍රහමාරුවක් සිදුනොවන බව තාරකා ශාස්ත්‍රඥයෝ පවසති.

තාරකා ශාස්ත්‍රඥයන් පෙන්වා දෙන අන්දමට එවැනි ග්‍රහ මාරුවක් සිදු වනුයේ ලබන ජනවාරි මස මැද භාගයේදීය.

සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි ලොකුම ග්‍රහයා වන සෙනසුරු ග්‍රහ මණ්ඩලයේ 6 වැනි ස්ථානයේ සිටින බවද, පෘථිවි ගෝලය මෙන් 771 වාරයක් විශාල වන සෙනසුරු ග්‍රහයාගේ විෂ්කම්භය 1,20,540 වන බවද තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා කියයි.

තාරකා විද්‍යානුකූලව සෙනසුරු ග්‍රහයා වෙනත් රාශියකට ගමන් කිරීම 2013 වර්ෂයේ නොවැම්බර් මාසයේදී සිදුව ඇති බවත්, නැවත එවැනි මාරුවීමක් සිදුවිය හැක්කේ ලබන වසරේ ජනවාරි මාසයේදී බවත්, 'සෙනසුරු මාරුව' පිළිබඳව කළ විමසුමකදී අනුර සී. පෙරේරා මහතා කීය.

සාමාන්‍යයෙන් සෙනසුරු ග්‍රහයා තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වීමට අවුරුදු 30කට ආසන්න කාලයක් ගන්නා බවද පෙරේරා මහතා පැවැසීය.

ඒ අනුව බලනවිට මෙවැනි ග්‍රහ මාරුවක් හෙට (2දා) සිදු නොවන බවත්, ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා වැඩිදුරටත්  පෙන්වා දෙයි.