Saturday, November 8, 2014

නොවැම්බර් 02 දා සෙනසුරු මාරුවක් සිදුවුණාද නැද්ද?

‍ජ්‍යොතිර්වේදීන් සහ තාරකා විද්‍යාඥයින් අදහස් දක්වති
තාරකා විද්‍යාවට අනුව මිථ්‍යාවක්

- කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න

මේ දිනවල නිතර කතාබහට ලක්වන ග්‍රහ මාරුව සැබෑවටම සිදුවූවක් නොවේ. එය ‍ජ්‍යොතිෂ විද්‍යාත්මක සිද්ධාන්තයක් පමණයි. මෙවැනි ග්‍රහ මාරු මගින් පෘථිවිවාසීන්ට බලපෑමක් වෙතැයි උපකල්පනය කිරීම විහිළුවක්. තාරකා විද්‍යාවේ නියමයන්ට අනුව මේ දුර්මත බැහැර කරනවා. විශ්වයේ සැතපුම් කෝටි ගණන් ඈත සිදුවන දේ ගැන අප බියවිය යුතු නැහැ. මෙවැනි ග්‍රහමාරු ගැන අසත්‍ය පවසමින් මිනිසුන් බිය ගැන්වීම නතර කළ යුතුයි. තාරකා විද්‍යාව කියන්නේ දියුණු ගණිත විද්‍යාත්මක ක්‍රම මත සැකසුන විද්‍යාවක්. එහි මෙවැනි මිථ්‍යා, මත පිළිගන්නේ නැහැ. අනෙක් කරුණ මෙම ග්‍රහ මාරු සිදුවනවා යැයි කියන ප්‍රදේශ පිහිටා තිබෙන්නේ විශ්වයේ බොහෝ දුර ඈත. එනිසා භෞතික වශයෙන් මින් පෘථිවිවාසීන්ට කිසිදු බලපෑමක් නෑ. අවම වශයෙන් මෙම ග්‍රහ මාරු සිදුවන කලාපයේ  සිට පෘථිවියට ගුරුත්ව බලපෑමක් පවා නෑ. එනිසා මෙවැනි ග්‍රහ මාරු ගැන කතා කිරීම පවා හරසුන් දෙයක්. අවාසනාවකට මෙන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් මේවාට ලබාදීම නිසා මිනිසුන් තුළ අනියත ආකාරයෙන් බිය පැතිරෙනවා. එබැවින් අප අවධාරණය කරන්නේ විද්‍යානුකූලව මෙකී ග්‍රහමාරු වල කිසිදු වැදගත් කමක් හෝ වලංගු බවක් නොමැති බවයි. විශ්වයේ සැබෑවට සිදුවන උල්කාපාත කඩාවැටීම්, සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ,  ආදියෙන් යම් යම් බලපෑම් පෘථිවියට සිදුවිය හැකියි. එහෙත් ග්‍රහ මාරු මගින් කිසිදු බලපෑමක් අපට සිදුවන්නේ නැහැ.

ග්‍රහ මාරුව සැබෑවටම සිදුවුණා

 - ප්‍රවීණ ‍ජ්‍යොතිර්වේදිනී චින්තා වික්‍රමසිංහ


නොවැම්බර් දෙවැනි දින සිදුවූ ග්‍රහ මාරුව සැබෑවටම සිදුවූවක්. එය මිථ්‍යාවක් වන්නේ ඒ විෂය පිළිබඳව ප්‍රමාණවත් හැදෑරීමක් නොකළ පුද්ගලයන්ටයි. තාරකා විද්‍යාව ගණිත ක්‍රම මත පදනම් වූ විද්‍යාත්මක න්‍යායයක්. එහෙත් ‍ජ්‍යොතිෂය කියන්නේ අතීතයේ විසූ තුන්කල් දකින සෘෂිවරුන් විසින් ඉතා දීර්ඝ හැදෑරීමකට පසු ලොවට තිළිණ කළ ශාස්ත්‍රයක්. සැබැවින්ම එය ඉපරැණි වේද ශාස්ත්‍රයක්. එසේ නොමැතිව ‍ජ්‍යොතීර්වේදය යනු හුදකලා විශ්වාසයක් හෝ ඇදහීමක් නොවේ. එය වාස්තුවේදය, ‍ජ්‍යොතීර්වේදය, සෘග්වේදය සහ ආයුර්වේදය යනු වසර දහස් ගණනක් පුරා පෙරදිග ජන සමාජය ඉතා ඉවසීමෙන් පාරම්පරික නැණ නුවණින් සාක්ෂාත් කරගත් චතුර්වේදයන්ගෙන් එකක්. ‍ජ්‍යොතිෂය පෙරඅපරදිග රටවල් බොහෝමයක ජනයා විශ්වාස කරනවා. ග්‍රීකයන් පවා තරු රටා සහ ග්‍රහ පිහිටීම් අධ්‍යයනය කරා. ඔවුන් ඒවා විශ්වාස කරා. අපට දකින්නට බැරි දේ ලෝකයේ කොතරම් සිදුවෙනවාද? දුරේක්ෂයකට හැමදේම පේන්නේ නෑ.
‍ජ්‍යොතිෂවේදීන් පවසන වෙලාවටම ඉර නගිනවා, බසිනවා. ‍පෝය ලබනවා. ගවෛනවා. මේවා විද්‍යානුකූලව බැලුවත් සිදුවෙනවා. ඊට අදාළ දියුණු ගණිත ක්‍රම තිබෙනවා. ඇතැම් අය මේවා නොදැන කතා කිරීමයි මෙයට හේතුව. ආගමික වශයෙන් බැලුවත් ‍ජ්‍යොතිෂය මිථ්‍යාවක් නොවේ. ක්‍රිස්තු උපත ලෝකය දැන ගත්තේ තරු රටාවලින්. බෝධිසත්වයන් කාන්තාරේ ගැල් පන්සියයක් රැගෙන ගිය ගමනකදී තරු රටාවලින් මග සොයාගත් බව පන්සිය පනස් ජාතකයේ කියැවෙනවා.
 සෙනසුරු ග්‍රහ මාරුව අනුව අනාවැකි කිව හැකියි. එපමණක් නොව ‍ජ්‍යොතිෂය අනුවද අනාවැකි පළකළ හැකියි. සිදුහත් කුමරා ඉපදුන අවස්ථාවේදී සක්විති රජ හෝ බුද්ධත්වය ලබන බවට බමුණන් අනාවැකි පළ කළේ ‍ජ්‍යොතිෂයට     අනුවයි. ‍ජ්‍යොතිෂ අනාවැකි නිවැරදි වුවත් දින වකවානු සුළු වශයෙන් වෙනස් විය හැකියි. සෙනසුරු මාරු නොවැම්බර් 2 දා සිදු වුණා. ඒත් ඔක්තෝබර් 29 දා කොස්ලන්ද ප්‍රදේශයේ ගමක් වැළලුණා. මේවා තමා ග්‍රහ මාරුවේ අහිතකර ප්‍රතිඵල. මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ යම් ගැටුමක් ඇති වුණා. ඉන් ස්වාමීන් වහන්සේලාට පවා රෝහල් ගතවීමට සිදුවුණා. එදින සූර්යාගේ මධ්‍ය ලක්ෂ්‍යයට සිකුරු පැමිණුනා. එය දිස් වුණේ හිරු මැද කළු ලපයක් වගේ. හිරු (රවි) කියන්නේ රජයට. රවි මත කළු පැල්ලමක් කියන්නේ රජයට අපකීර්තියක් කියන එක. ඒ බව ‍ජ්‍යොතිවේදීන් කල් තබා අනතුරු ඇඟෙව්වා. සෙනසුරු ග්‍රහ මාරුවත් ඒ වගේ. ‍ජ්‍යොතිෂ අනාවැකි නොසලකා හැරීම හොඳ නෑ.

මෙම මතවල ඇලී ගැලී ඉන්න එපා

- ප්‍රවීණ ‍ජ්‍යොතිර්වේදී අමරසේන වේගිරිය


තාරකා විද්‍යාව සහ ‍ජ්‍යොතිෂය කියන්නේ පැහැදිලිවම විෂයන් දෙකක්. එනිසා තාරකා විද්‍යාවේ නියමයන් සහ ‍ජ්‍යොතිෂ අනාවැකි අතර යම් ප්‍රතිවිරුද්ධ බවක් ඇතිවිය හැකියි. ‍ජ්‍යොතීර්වේදීන් තාරකා විද්‍යාඥයින් මෙන්ම සාමාන්‍ය ජනයාද මේ බව හොඳින් දැන සිහි නුවණින් තීරණ ගත යුතුයි. තාරකා විද්‍යාව ගණිත ක්‍රම මත හා ‍ජ්‍යොතිෂය ගණිත ක්‍රම සහ ඇඳහිලි මත සැකසුන විෂයයන් දෙකක්. ‍ජ්‍යොතිෂයට ඉතා දිගු ඉතිහාසයක් තිබෙනවා. දුරේක්ෂ ගණිත ක්‍රම වැනි දේට අද හසුනොවන සෑම දෙයක්ම බොරු නොවෙයි.
 සෘෂිවරුන් අනු දැන වදාළ නියමයන්ට අනුව විශ්වයේ ග්‍රහමාරු සිදුවෙනවා. නමුත් ඒවායෙන් ඇතැම් අය කියනා තරම් බලපෑම් සිදුවන්නේ නෑ. එබැවින් අන්ධ විශ්වාසයෙන් කටයුතු කළ යුතු නෑ. හැකිතාක් ධාර්මිකව දිවි ගෙවීමයි අප කළ යුත්තේ. පුද්ගලයන් ධාර්මික වෙනවානම් මුළු රටටම යහපතක් සිදුවෙනවා. බුදු දහමේ ඉගැන්වීම්වලට අනුව පන්සිල් රැකගෙන ජීවත් වෙනවා නම් ඔය ග්‍රහමාරුවලට බිය විය යුතු නෑ. ග්‍රහ මාරුව ගැන ජනයා බියගන්මින් දුර්මත පතුරන්නන් කරන්නේ සෙනසුරාට වඩා විනාශයක්. එබැවින් අප සම්මා දිට්ඨියෙන් යුතුව, කටයුතු කළ යුතුයි. ග්‍රහ මාරුවට බියෙන් හෝ මිනිසුන් ආගමානුකූල දිවි පවෛතකට නැඹුරු වෙනවා නම් රටට හොඳක් වන බව නම් ඉඳුරා පැවැසිය හැකියි.

ග්‍රහ මාරුවට අභියෝග කරන්නේ නොදන්නාකමටයි

- ප්‍රවීණ ‍ජ්‍යොතිර්වේදී ‍ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආනන්ද සෙනෙවිරත්න


‍ජ්‍යොතිෂයට අනුව ග්‍රහයන් වක්‍රවෙන එක (ආපසු හැරී යන එක) තාරකා විද්‍යාවට දෘෂ්ටි මායාවක් පමණයි. එහෙත් මේ දෘෂ්ටි මායාවේ බලපෑම ‍ජ්‍යොතිෂය ඔප්පු කර පෙන්වා අවසන්. කරුණු හරිහැටි නොදැන ඇතමුන් ‍ජ්‍යොතිෂයට        අභියෝග කරනවා. ඒක වැරදියි. තාරකා විද්‍යාව සහ ‍ජ්‍යොතිෂය යනු පැහැදිලිවම දෙකක්. ‍ජ්‍යොතිෂවේදියා තාරකා විද්‍යාවට අභියෝග කිරීමත් තාරකා විද්‍යාඥයා ‍ජ්‍යොතිෂයට අභියෝග කිරීමත් නොකළ යුතු දෙයක්. අභියෝග කිරීමට පෙර අදාළ විෂය හදාරන්න කියා අප පවසනවා. තාරකා විද්‍යාවට අනුව ලෝක ගෝලය යම් අංශක ගණනක් ඇලවයි පිහිටා ඇත්තේ. ඒත් ලංකාව සහ ඉන්දියාවේ පැවැත එන වසර දහස් ගණනක් පැරණි ‍ජ්‍යොතිෂ විද්‍යාවට අනුව මෙකී ඇලවීම ගණන් ගන්නේ නැහැ. ‍ජ්‍යොතීර්වේදීන් අනාවැකි පළ කරන්නේ නිරයන (ඇලවිල්ලක් නැති) ලෝක ගෝලයක සංකල්ප මුල්කරගෙනයි.
 ග්‍රහයන්ගේ මාරුවීම පාරේ බස්, කාර්, ලොරි මාරුවෙනවා වගේ ඇහැට දකින්න බෑ. ඒක නොදැන ‍ජ්‍යොතිෂයට අභියෝග කරන්න එපා. තවත් අය කියනවා රාහු, කේතු වගේ ග්‍රහයෝ නැහැ කියලා. රාහු, කේතු කියන්නේ ගණිත ස්ථුට (ස්ථාන) පවා තියෙන්නේ ගණිත කටයුතුවලට. මීට අමතරව තවත් උප ග්‍රහයන් ගණනාවක් තිබෙනවා. මේවාත් ගණිත ස්ථුට. ප්‍රශ්නයකට තියෙන්නේ අද වන තුරු මේ ‍ජ්‍යොතිෂ සංකල්ප විද්‍යාත්මකව තහවුරු නොවීමයි.

එහෙම නම් හැම රටටම දැනෙන්න ඕනෑ

- ප්‍රවීණ විද්‍යා ‍ලේඛක නාලක ගුණවර්ධන


ග්‍රහ මාරු වැනි දේ තාරකා විද්‍යානුකූලව පිළිගන්න බෑ. ග්‍රහවස්තූන්ගේ සිදුවන ක්‍රියා පෘථිවි වාසීන් බිය ගැන්වීම නොකළ යුත්තක් බවයි මගේ හැඟීම. ග්‍රහ මාරු වල බලපෑමක් තිබේනම් එය අනෙක් රටවලටත් දැනෙන්න ඕන. සෞරග්‍රහ මණ්ඩලයේ නැති රාහු කේතු වගේ ග්‍රහයෝ ගැන බිය වන්නේ කුමකටද? මේ සියල්ල ඇතැම් පුද්ගලයන් විසින් මවා ගත් දේවල් පමණයි. අප ජීවත් වන වර්තමානයේදී සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝ රහස් නිරාකරණය වෙමින් පවතිනවා. විශ්වයේ ඈත කෙළවරක සිදුවෙතැයි කියන ග්‍රහ මාරුවකට අපි බිය වෙන්නේ කුමටද? ග්‍රහ වස්තූන්ගෙන් අනාවැකි කියන්න පුළුවන්නම් 2004 සුනාමි අනතුර ගැන නොකීවේ මන්දැයි ‍ජ්‍යොතීර්වේදීන්ගෙන් විමසිය යුතුයි.

එවැන්නක් සිදුවන්නේ ජනවාරි මැද

- ප්‍රවීණ විද්‍යා ‍ලේඛක අනුර සී. පෙරේරා


මේ කියන ආකාරයේ ග්‍රහ මාරුවක් නොවැම්බර් 2 දා වුණේ නැහැ. එවැන්නක් සිදුවන්නේ ජනවාරි මැද භාගයේ. ඒත් ඔය ග්‍රහ මාරුවෙන් අපට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. විශ්වයේ මෙවැනි ග්‍රහ මාරු ෙදෙනිකව විශාල ප්‍රමාණයක් සිදුවෙනවා. මේවා ගැන සොයා බලන්න ගියොත් සිහිය විකල් වෙන්න පුළුවන්. ස්වභාවිකව සිදුවන දේවල්වලට අපි බිය විය යුතු නෑ.  සෙනසුරු සිටින්නේ අපිට වඩා බොහෝ ඈත. අපි ඉන්නේ සූර්යාට සැතපුම් කෝටි   පහළොවක් දුරින්. සෙනසුරු ඉන්නේ ඒ වගේ දහගුණයක් දුරින්. ඒනිසා අපි බියවිය යුතු නැහැ. මෙවැනි දේ ගැන ඕනවට වඩා වෙහෙසෙන්නේ ඉන්දියාව ලංකාව වගේ රටවල්වල අයයි. විශේෂයෙන් ලංකාවේ මේ වගේ මත පැතිරෙනවා වැඩියි.
 අපට වැදගත් වන්නේ සෙනසුරු, බ්‍රහස්පති නොවෙයි. ඉර හා හඳයි. මේවාගේ වෙනස්වීම්වලින් පෘථිවියට යම් බලපෑමක් විය හැකියි. ඒ හැර සැතපුම් කෝටි ගණන් දුර පිහිටි ග්‍රහයන් නිසා අපි බිය විය යුතු නැහැ. කොටින්ම උල්කාපාතයකින් ඇතිවන බලපෑමවත් ඔය කියන ග්‍රහ මාරුවෙන් අපට සිදුවන්නේ නැහැ. සිදු නොවුණ සෙනසුරු මාරුවක් ගැන කියමින් ජනතාව බිය ගැන්වීම අපරාධයක්. මිනිසුන් බුද්ධිමත්ව මෙවැනි මත බැහැර කළ යුතුයි.