Saturday, October 11, 2014

ආදරය ඉදිරියේ මම හැඟීම්බරයි

ආදරය ඉදිරියේ මම හැඟීම්බරයි

 - චංචලා වර්ණසූරිය




තරුවක් සමඟ වරුවක් මෙවර හැඩ කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනි චංචලා වර්ණසූරියයි. ජනප්‍රිය තරුවක් වුණහම බොහෝ දෙනෙක් ඔවුන්ගේ ආදරය සහ ආදර සබඳතා ගැන විමසනවා. ඉතින් අපි හිතුවා පොඩි වෙනසකටත් එක්ක චංචලාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් අහන්න.

තිරයේ මුල්ම පෙම්වතිය වුණේ?
'සර් ලාස්ට් චාන්ස් චිත්‍රපටයේ මිණි ගේ චරිතයට පණ පොවමින්.

තිරයේ ඔබේ මුල්ම පෙම්වතා?
පාලිත සිල්වා.

මේ වන විට තිරයේදි ඔබ කිවරක් පෙම්වතියක් වී තිබෙනවාද?
මෙතෙක් පණ පෙවු හැම චරිතයක්ම පෙම්වතියට තමයි හිටියේ. බිරියකගේ චරිතයකට පණ ‍පොවා තිබුණත් ඇයත් පෙම්වතියක් මම හිතන විදිහට.

පෙම්වතියක් වෙන්න නොලැබුණු දාට?
අපි හැමෝටම යම් වකවානුවකදි පමණයි පෙම්වතියක් ලෙස රංගනයේ නියැළෙන්න පුළුවන්. වයසින් එහාටත් අපි ඒ චරිත බාර ගත්තොත් ප්‍රේක්ෂකයන්ට අපි විහිළුවක් වේවි.
තිරයේ ඔබට හමු වූ හොඳම පෙම්වතා?
එහෙම කියන්න අමාරුයි. මා එක්ක වැඩ කරපු හැමෝම ඔවුන් ගේ චරිතයට සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා.

සැබෑ ජීවිතයේදි ලත් ආදර අත්දැකීම් රංගනයේදි උපයෝගී කර ගත් අවස්ථා තිබේද?
පිටපතකට හැම වෙලේම පාදක වෙලා තියෙන්නේ සමාජයේ කාගේ හෝ අත්දැකීමක්. එය මගේ ජීවිතයට සම්බන්ධ හෝ කාගේ ජීවිතයට සම්බන්ධ වුණත් මම චරිතයකට පණ පොවන්නේ මගේම කරගෙනයි. ඒ චරිතයට කොතරම් අනුගත වෙලා සංවේදී වෙනවාද කිව්වොත් මම කවදාවත් අඩන්න ග්ලිසරින් පාවිච්චි කරලා නැහැ. මම ඒ තරමටම හැඟිම්බරයි.

දුෂ්ට පෙම්වතියකගේ චරිතයක් කරන්න අවස්ථාව ලැබුණාද?
තවම මට එවැනි අවස්ථාවක් ලැබිලා නැහැ.

ඔබ රඟ පෑ පෙම්වතියන්ගේ චරිත අතරින් ඔබ වඩාත් ආදර්ශවත් චරිතයක් ලෙස සලකන්නේ?
'සීතා මං ආවා' හී සීතා ගේ චරිතය. මෙය සුප්‍රසිද්ධ චරිතයක් වටා ගෙතුණු චිත්‍රපටයක්. ඇය කිසිම වෙලාවක තම සැමියාට ද්‍රෝහි වෙන්නේ නැහැ.

පෙම්වතා හැර ගිය විටදි හඩා වැලපෙන පෙම්වතියෝ අප දැක තිබෙනවා. සැබෑ ජිවිතයේදි මෙවැනි අත්දැකිමකට ඔබ මුහුණ දුන්නොත් ඔබේ ප්‍රතිචාරය කෙබඳු වේවිද?
ප්‍රශ්නයක් ඇති වුණාහම එකිනෙකා ප්‍රතිචාර දක්වන විදිහ වෙනස්. මම නැති බැරි අයට උදව් කරන්න බොහොම කැමැතියි. නමුත් කවුරු හරි මම ආදරය කරන කෙනාව ඉල්ලලා මැරෙනවාය කියාගෙන ආවොත් ජීවිතේ කවමදාවත් මම ඒ කෙනාව තව කාටවත් දෙන්න හෝ බෙදා ගන්න සුදානම් නැහැ. හැබැයි ඔහු කාගේ හෝ ඇසුරක් පැතුවොත් මගෙන් ඔහුටත් කිසිම සමාවකුත් නැහැ. මගෙන් ඈත් වෙලා ඔහුට සදහටම යන්න පුළුවන්. ආදරය කළ කෙනාව එකවරම අමතක කරන්න බැරි බව ඇත්ත නමුත් එහෙම කියලා වෙන කෙනෙක් ළඟට ගිය කෙනෙක්ව මම මගේ මතකයේ තියා ගෙන ඉන්න වුවමනාවක් නැහැ කියලයි මගේ පෞද්ගලික හැඟීම.

තිරයේ පෙම්වතකුගෙන් සැබැවටම යෝජනාවක් ලැබි තිබෙනවාද?
ඔව්. නමුත් අපි එකට වැඩ කරන පවුලක්. ඒ නිසා මම කැමැති මෙය රාජකාරිමය කටයුත්තක් පමණක් වෙනවාට. අපි ක්ෂේත්‍රයේ කෙනෙකු සමඟ අනවශ්‍ය විදි‍හට තුරුල් වුණොත් ඒ සබඳතාව බිඳ වැටුණු දිනක අපිට එකට වැඩ කරන්නත් බැරි වෙනවා. නමුත් යහළුවන් විදිහට ඉන්න තාක් කල් අපිට එකට වැඩ කරන්න පුළුවනි.

පෙම් ජවනිකා රඟ දැක්විමේදි අපහසුතාවට පත් වු අවස්ථාවක් මතකද?
එවැනි අවස්ථා නම් නැහැ. නමුත් සමහර වෙලාවට ඒ චරිතය තුළ තිබෙන යම් යම් සිදුවීම් එක්ක මට ඇත්තටම කඳුළු ආපු අවස්ථා තිබෙනවා.

ඔබ රඟපෑ පෙම්වතියන් අතරින් ඔබ වඩාත් කැමැති චරිතය?
සීතා ට. ආයේ කතා දෙකක් නැහැ. හැම ගැහැනියකගේ ම එකම පැතුම සීතා කෙනෙකු විමයි.