Friday, October 31, 2014

පෙම්වතා සමග එක්වීමට මව සහ බාල සොහොයුරා මරා දැමූ දහසය වියැති ඉතාලි යුවතිය

Italyලෝකයේ අධිවේගී දියුණුවත් සමග සියලුම මිනිස් ප්‍රජාවගේ ජීවිතද ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින බැව් නොරහසකි. මීට දශක කිහිපයකට කලින් මිනිසුන් අත්විඳි ජන ජීවිතයට වඩා වෙනස් හා විකෘති වූ ජීවන වටපිටාවක් ආසියාවේ මෙන්ම යුරෝපයේද මිනිස්සු අත්විඳිමින් සිටිති. තාක්ෂණයේ  හා විද්‍යාවේ දියුණුව මිනිස් ජීවිතවලට සිදුකළ යහපත මෙන්ම අයහපත ගැනද බොහෝ දෙනා මේ වන විට සාකච්ඡා කරමින් සිටින්නේ ඒ නිසාය. මේ වෙනස්කම්වලින් බොහෝ විට දඬුවම් ලබන්නේ වැඩිහිටි පරම්පරාවට වඩා තරුණ හා ළමා පරම්පරාව වීම කනගාටුවට කරුණකි. පසුගියදා ලෝකයේ සෑම තැනක මෙන්ම ඉතාලියේද ලෝක ළමා දිනය උත්සවාකාරයෙන් ඉතා ඉහළින් සැමරුවද වර්තමාන සමාජයේ ළමා මනස මෙන්ම ළමයින්ගේ ජීවිතද ඉතා ශීඝ්‍ර ලෙස වෙනස් වී ඇති බැව් මේ රටේ සිටින සියල්ලෝ එක සේ පිළිගනිති.
මේ දිනවල ඉතාලියේ සිදුවන බොහෝ සිදුවීම් දුටුවිට දරුවන්ගේ ජීවිත කෙතරම් වෙනස් වී ඇත්දැයි ඕනෑම කෙනෙකුට වටහා ගත හැක. දැන් දැන් යුරෝපයේ මෙන්ම ඉතාලියේ ද ළදරු මව්වරුන්ගේ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති අතර ඔවුන් හා දරුවන් රැක බලාගැනීමට රජයට සේම සමාජ සේවා ආයතනවලට ද අමතර මුදල් වැය කිරීමට සිදුව ඇති බැව් ජනමාධ්‍යවලින් පැවසේ. එසේම බොහෝ දරුවන් මත්පැනට සේම මත්ද්‍රව්‍යවලට ගොදුරුව ජීවිතය අවුල් කරගන්නා අතර වැඩිහිටියන්ගේ පාලනයෙන් මිදී තමන් හිතුමතේ ක්‍රියා කිරීමද අපේ රටට වඩා බොහෝ වැඩි බව දැකිය හැක. වයස අවුරුදු දහතුන වන විට මෙම පිරිමි දරුවන් සේම ගැහැනු දරුවන්ද දුම්වැටිවලට සේම අනෙකුත් විෂමාචාරවලට බොහෝ විට පෙළඹෙන අතර වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනාවලට කන්දීම නම් ඔවුන් අතරින් කිසිවෙකුගේවත් දැකිය නොහැක.
බොහෝ වයස්ගත වැඩිහිටියන් පවසන පරිදි ඔවුන් කුඩා කාලයේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට ඉතා ගරුත්වයෙන් සලකා ඇත. එසේ නොකළහොත් දඬුවම් විඳීමට පවා ඔවුනට සිදුවී තිබේ. එහෙත් අද දවසේ ඉතාලියේ ළමා හා තරුණ පරපුර ගුරුවරුන්ට වැඩිහිටියන්ට පමණක් නොව ඇතැම්විට දෙමාපියන්ට පවා ඔවුන්ගේ නමෙන් ආමන්ත්‍රණය කරන අවස්ථා තිබේ. ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට නම් අනිවාර්යයෙන් අමතන්නේ ඔවුන්ගේ නමින් වන අතර වැඩිහිටියන් එය අනුමත කරන්නේ අන්තර් සම්බන්ධතා සඳහා එය ඉතා යෝග්‍ය බව කියමිනි.
මේ පිළිබඳව අසන්නට ලැබුණු ආන්දෝලනාත්මක හා අනුවේදනීය සිද්ධිය වන්නේ දහසය වියැති ඉතාලි ජාතික යුවතියක් ඇයගේ පෙම්වතා හා එක්ව සිය මව හා දස හැවිරිදි සොහොයුරා ඝාතනය කිරීමයි. ජනමාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබුණ මේ සිද්ධියට අදාළ යෞවනිය වන්නේ ඉලාරියා නමැත්තියකි. ඇයගේ පියා ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වන අතර මව සහ සොහොයුරා සමගින් ඇය තම නිවසේ ජීවත් වූවාය.පාස‍ලේදී හඳුනා ගත් දහහත් හැවිරිදි තරුණයෙකු සමගින් පෙමින් බැඳුන ඉලාරියා ඔහුව තම නිවස වෙතද කැඳවාගෙන ගියේ මවගේ අනුදැනුම ඇතිවය. මව රැකියාවක නියුතු තැනැත්තියක වන අතර පාසල නිමාවීමෙන් පසුව ඉලාරියා සිය පෙම්වතා සමගින් ඇගේ නිවසට පැමිණ නැවත මව නිවසට පැමිණෙන තුරා ඔහුත් සමගින් කාලය ගත කර ඇත.ඇතැම් දිනවල මේ තරුණයා රාත්‍රිය ගත කර ඇත්තේත් ඉලාරියාගේ නිවසේය.
කාලය මෙසේ ගවෛද්දී මවට මෙම තරුණයා පිළිබඳව අපැහැදීමක් ඇතිවූ බව තරුණයාගෙන් හා ඉලාරියාගෙන් ‍පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත.
shooting
“ඉලරියාගේ අම්ම මුලින් මට කැමැත්තෙන් හිටියා. පස්සේ මට ගෙදර එන්න එපා කිව්වා. එයා එපා කිව්වත් මම හැමදාම ආවා. එයාව මරන්න කලින් දවසේ හවස එයා මට නොසෑහෙන්න දොස් කීවා.ඉලාරියාගේ ඉස්කෝ‍ලේ වැඩ ඔක්කොම මම නිසා අවුල් වෙලාලු. ඒක නිසා ඉලාරියාගෙන් ඈත්වෙන්නලු. අනික මේ ගෙදර ඉඩ නෑ තවත් කෙනෙක්ට කියලත් කීවා. මට එයා ගැන ඇති වුණේ පුදුම තරහක්”.
මවගේ අවවාදත් පෙම්වතා සමගින් ගත කිරීමට ලැබෙන කාලය අඩුවීමත් සමගින් ඉලාරියාද මව සමගින් නොයෙකුත් විදියේ ආරවුල් ඇති කරගෙන ඇත. ඇයගේ අසල්වැසියන් ජනමාධ්‍යයන් හා පවසා සිටියේ බොහෝ රාත්‍රීන්වල මව සහ දියණියගේ වාද විවාද හා බැණ අඬ ගැසීම් නිමක් නැති බවයි. තත්ත්වය දරුණු අතට හැරෙන්නේ මව තම සම්පූර්ණ විරුද්ධත්වයම පෙම්වතාට එල්ල කිරීමත් සමගය. ඉන්පසු මේ යොවුන් පෙම්වතුන් යුවළ කල්පනා කරන්නේ මව හා සොහොයුරා නොමැති නම් ඔවුනට රිසිසේ කරදරයක් නැතිව සැනසීිමෙන් සිටිය හැකිය යන්නයි. මව සේවය නිමවා නිවසට පැමිණි පසු ඉලාරියා හා පෙම්වතා එකතුව පළමුව මවටද දෙවනුව සොහොයුරාට ද පිහියෙන් ඇන ඔවුන් දෙදෙනාවම ඝාතනය කර ඇත. ඉන්පසු ඔවුන්ගේ මළ සිරුරුද ගබඩා කාමරයේ සඟවා තිබේ. අසල්වැසියන් හට මව හා සොහොයුරා නිවාඩුවක් සඳහා වෙනත් නගරයකට ගිය බව පවසන්නට ද මොවුන් දෙදෙනා සූක්ෂ්ම වී ඇත. එහෙත් මවගේ රැකියා ස්ථානයෙන් ඇය නිවාඩු ලබාගෙන නොමැති නිසා ඇය පිළිබඳ සොයන්නට වූ බැවින් හා අසල්වැසියන් දුටු සැකසහිත රුධිර පැල්ලමක් හේතුවෙන් ඉලාරියාගේ නිවස ‍පොලීසියෙන් පරීක්ෂා කරනු ලැබිණි. ඉන්පසු ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී දවස් කිහිපයක් නිශ්ශබ්දව හිඳ පසුව සියල්ල පා‍පොච්චාරණය කළාය. සියලු මාධ්‍ය මගින් ඇයගේ පා‍පොච්චාරණය විකාශය කළ අතර වැඩිහිටියන්ගේ සිත්වල ඇති වූ පුදුමය වූයේ එම වයසේ ළමයින්ගේ බලා‍පොරොත්තු හා සිතිවිලි පිළිබඳවය.
ඉලාරියා පැවසූ පරිදි ඇය තමන්ගේ මව හා සොහොයුරා ඝාතනය කරන්නට පෙළඹී ඇත්තේ පෙම්වතා සමගින් අනාගතයේ ජීවත් වීමට නිවසක් සපයා ගැනීමටය. “අම්මයි මල්ලියි මේ ගෙදර හිටියොත් අපිට වෙන ගෙයක් හොයාගන්න වෙනවා. අපිට ගෙයක් ගන්න සල්ලිත් නෑ. මල්ලි හිටියොත් මේ ගෙදරට එයත් අයිතිවාසිකම් කියයි. මල්ලි විතරක් මැරුවොත් අම්මා ‍පොලීසියට කියයි කියලා අපිට හිතුණා. ඒක නිසයි දෙන්නම මැරුවේ. මම තමයි අම්මගේ කට තද කරන් හිටියේ. එයා පිහියෙන් ඇන්නා. අම්මා වැටුණ සද්දෙට මල්ලි දුවන් ආවා මම පැනලා මල්ලිව අල්ලගත්තම මගේ පෙම්වතා මල්ලිටත් පිහියෙන් ගොඩක් ඇන්නා. පස්සේ අපි දෙන්නා රෑ වෙනකන් ඉඳලා එයාලව පල්ලෙහා ගබඩා කාමරේට ඇදලා දැම්මා”.
නතෛහි කිසිදු කඳුළක් නොමැතිව තමන්ගේ අනාගතය වෙනුවෙන් තම මව හා සොහොයුරා මරා දැමූ අයුරු පවසන මේ යෞවනිය පිළිබඳව
බොහෝ වැඩිහිටියන් රූපවාහිනියෙන් බලා සිටියේ විස්මයෙනි.  පවුල් අතරෙහි ඇති බැඳීම් හා තමන්ගේ දරුවන්ගේ මානසික ස්වභාවය ගැන නැවත වරක් බොහෝ ගැඹුරෙන් සිතන්නට මව්පියන් ‍පොළඹවන්නට ඉලාරියා සම්බන්ධ සිදුවීම ඉවහල් වූ බවට සැකයක් නැත. අප රටේ පවා මේ ප්‍රමාණයෙන් නොමැති වුවත් තරුණ දරුවන් පිළිබඳව නැවත සිතන්නට දෙමාපියන්ට සිදුවන්නේ මෙවැනි සිදුවීමක් සිදු වූ පසුව බව සිහිකරන්නේ කනගාටුවෙනි.

ලක්මිණි වෙදමුල්ල
ඉතාලියේ මිලානෝ සිට