නර්මදාව
කවුරුත් දන්නේ කටකාර දඟකාර නිවේදිකාවක් විදිහට. ඇය ගොඩක් දෙනාගේ ආදරය දිනා
ගත්තෙත් ඒ කටකාර දඟකාර ගතිය නිසා. මේ දවස්වල නම් නර්මදාව අපි දකින්නේ
නැහැ. ඒ ඇයට අලුත් තනතුරක් ලැබිලා නිසා. මේ අලුත් තනතුර ගැන අහන්න අපි
නර්මදාට කතා කළා. නර්මදා වගේම සැමියා ජනකත් සතුටින් ගවෛන පවුල් ජීවිතේ ගැන
විස්තර අපිට කිව්වා.කොහොමද මේ දවස්වල ජීවිතේ?
පුතා ලැබිලා දැන් මාස හතරයි. පුතා වෙනුවෙන්ම තමයි දවස ගත වෙන්නේ.
අම්මා කෙනෙක් වීමේ අත්දැකීම මොන වගේද?
බබා ලැබිලා පහුවෙච්චි මුල් මාස තුනේ නම් මම මොකුත්ම කරගන්න දැනගෙන හිටියේ නැහැ. දැන් නම් හුරුයි. මේක නම් අලුත්ම අලුත් වෙනස්ම අත්දැකීමක්.
කවුද මුල්ම දවස්වල උදව් කළේ?
මගේ අම්මා, අක්කා, ජනකගේ අම්මා උදව් කළා. දැනටත් ජනකගේ අම්මා තමයි මට උදව් වෙන්නේ.
පුතාගේ නම?
ආදිත්‍ය ජේක් තිලකරත්න. ආදි තියලා තමයි අපි කතා කරන්නේ.
කවුද නම දැම්මේ?
ආදිත්‍ය කියන නම දැම්මෙ මම. ආදිත්‍ය කියන්නේ ඉරට. ඒක මම ආස නමක්. පුතාට නම් හොයද්දී මම ගොඩක්ම ආසා වුණේ ඒ නමට. ජේක් කියන නම දැම්මේ මහත්තයා ජනක. එයාගේ නමේ තියෙන හැම අකුරම ජේක් කියන නමේ තියෙනවානේ.
නර්මදා කැමැත්තෙන් හිටියේ පුතෙකුටද?
මම කොහොමත් පුතාලට කැමතියි. ඒ නිසා පුතෙක් හම්බ වෙනවාට තමයි මම කැමැත්තෙන් හිටියේ. මම කැමති විදියටම පුතෙක් හම්බ වුණා. ඒකට ගොඩක්ම සතුටුයි.
පුතාව මුලින්ම දැකපු වෙලාවෙ මොකද හිතුණේ?
මුලින් නම් බයේ හිටියේ. මොකද මම සර්ජරි එකකටවත් හොස්පිට්ල් එකේ නතර වෙලා ඉඳලා නැහැ. ඒත් පුතා ලැබෙද්දී ජනකට මගේ ළඟ ඉන්න පුළුවන් වුණා. ඒ නිසා බය ටිකක් නැති වුණා. පුතා ඉපදිලා මුලින්ම අඬනවා ඇහුණම මට දැනිච්ච දේ කියා ගන්න බැහැ. පුතාව දැක්කම ජනකට ඇඬුණා. ජනක අඬනවා දැක්කම මටත් ඇඬුණා.
පුතාගේ වැඩවලට ජනක උදව් වෙනවා ඇති?
ඇත්තටම ජනක හොඳම හොඳ තාත්තා කෙනෙක්. පුතාගේ වැඩවලට ගොඩක් උදව් කරනවා. පුතාව බලා ගන්නවා. මම හිතන්නේ ඒ වගේ තාත්තලා හරි අඩුයි.
නර්මදාගෙයි ජනකගෙයි ජීවිත වෙනස් කරන්න පුතාට පුළුවන් වෙලාද?
මම නම් තාම වැඩකරන්න පටන් ගත්තේ නැහැනේ. ඒ නිසා මම ඉතිං ගෙදරමයි. පුතාගේ වැඩවලට තමයි මගේ නම් දවසම ගත වෙන්නේ. ජනකත් දැන් වෙනදාට වඩා ඉක්මනට ගෙදර එනවා. දවල්ට කෑමට ආවාමත් වෙනදාට වඩා වෙලා ඉන්නවා. එහෙම බැලුවොත් අපේ ජීවිත දැන් වෙනස් වෙලා තමයි.
ගෙදර අනිත් වැඩකටයුතු කරන්නේ?
මමත් කරනවා. ජනකගේ අම්මත් කරනවා.
නර්මදාට රසට කෑම හදන්නත් පුළුවන්ද?
මම බැඳලා ආපුම කාලේ ඒ කියන්නේ දැනට අවුරුදු තුනකට විතර කලින් නම් තේ එකක් වත් හදාගන්න බැහැ. දැන් නම් කෑම හදන්න පුළුවන්. ජනක කිසිම කම්ප්‍ලේන් එකක් නැතුව ඒ කෑම කනවා.
පුතා ලැබෙන්න එද්දී පෙනුම වෙනස් වේවි කියලා බය හිතුණේ නැද්ද?
මට නම් හිතෙන්නේ ජීවිතේ හැම දේම විඳින්න ඕන කියලා. විවාහ වෙන්න ඕන. හොඳ බිරිඳක් වෙන්න ඕන. අම්මා කෙනෙක් වෙන්න ඕන. හරි කාලෙට ඒ දේවල් ලැබුණේ නැති වුණොත් වැඩක් නැහැ. මහත් වේවි කියලා ළමයි හදන්නේ නැති එක නම් බොරු වැඩක්. අපි වැඩිපුර කෑවත් මහත් වෙනවනේ.
ආයෙත් නිවේදන කටයුතු පටන් ගන්නේ කොයි කාලෙද?
පුතාට මාස හයක්වත් වුණාට පස්සේ තමයි මම වැඩ පටන් ගන්නේ. මම ආයේ කලින් හිටපු ගානටම කෙට්ටු වෙන්නත් ඕනනේ. නැත්නම් මාව දකින අයට වෙනසක් දැනේවි.
ඒ කියන්නේ ආයෙත් දඟකාර කටකාර නර්මදා දකින්න පුළුවන්?
මම අම්මා කෙනෙක් වුණා කියලා. මගේ විදිය වෙනස් කර ගන්නේ නැහැ. මම එදා හිටපු නර්මදාම තමයි.
ඒ කියන්නේ පවුල ලොකු වගකීමක් විදිහට දැනෙන්නේ නැහැ?
පවුල කියන්නේ වගකීමක් තමයි. ඒ වුණාට ඒ ගැන ලොකුවට හිතන්න ඕන නැහැ. වෙනදා වගේම ඉන්නයි තියෙන්නේ. මමයි ජනකයි නම් වෙලාවකට යාළුවෝ වගේ. අපි අතර රහස් නැහැ. හැමදේම කතා කරලා තමයි කරන්නේ.
නර්මදා නිවේදිකාවක් විදිහට වැඩ කරනවාට ජනක කැමතිද?
මම නිවේදන කටයුතු කරනවාට ජනක මටත් වඩා කැමතියි. මගේ අඩුපාඩු පෙන්නන්නෙත් එයා. ඇඳුම් පවා තෝරලා දෙන්නේ ජනක තමයි. මම එක පාරක් ඇඳපු ඇඳුමක් ආයේ පෝග්‍රෑම් එකකට අඳින්න දෙන්නේ නැහැ. දැන් වුණත් එයා කියනවා ඉක්මනට වැඩට යන්න කියලා. මම තමයි පරක්කු කරන්නේ.
නර්මදා අම්මා කෙනෙක් වුණු ආරංචියට නර්මදාට ආදරය කරන අය සුබ පතන්න ඇති?
ගොඩක් අය කතා කළා. ෆේස් බුක් එකෙන් සුබ පැතුවා. දැන් නම් ගොඩක් අය කතා කරලා අහන්නේ ආපහු වැඩ කරන්නේ නැද්ද කියලා. සමහර අය හිතන්නේ මට බබා ලැබිලා ගොඩක් කාලයක් ගත වෙලා කියලා.
ඇත්තටම අන්තිමට නිවේදන කටයුතු කළේ මාස කීයකට විතර කලින්ද?
පුතා හම්බ වෙන්න ඇවිත් මාස 8ක් යනකල්ම මම වැඩ කළා. මාව මහත් වෙලා වෙනස් වුණ නිසා තමයි වැඩ කරන එක නතර කළේ.
අඩු වයසෙන්ම වගකීම් ගොඩක් ලැබිලා කියලා හිතෙන්නේ නැද්ද?
මට දැන් වයස 24යි. මම හිතන්නේ පවුලක් හදාගන්න මේ වයස හොඳටම හොඳයි. මමයි ජනකයි ආදරය කරන්න පටන් අරන් ටික කාලෙකින්ම අපි විවාහ වුණා. මට නම් දැනෙන්නේ මම මගේ පවුල හදා ගත්තේ මගේ ජීවිතේ හොඳම කාලේ. අනික මම ගත්තු තීරණේ හරියටම හරි. අද කාලේ ජනප්‍රිය අයගේ පවුල්වල තියෙන අවුල් දිහා බැලුවාම අපි හරි වාසනාවන්තයි කියලා හිතෙනවා.
ජනකත් එක්කත් අපි කතා කළා. පුංචි පවුල ගැන. ආදරණීය බිරිඳ ගැන ජනක අපිට මෙහෙම කිව්වා.
තාත්තා කෙනෙක් වීමේ අත්දැකීම කොහොමද?
හරි වෙනස්ම ඇත්දැකීමක්. ඒ වගේම ලොකු සතුටක්. පවුලක් විදිහට ගතවෙන කාලය හරිම ලස්සනයි.
නර්මදාගේ වැඩවලට උදව් කරන්න ජනකට වෙලාව තියෙනවද?
මම වෘත්තීය විදිහට බිස්නස් කරන්නේ. කොච්චර වැඩ වැඩි වුණත් මම ගෙදර ඉන්න වෙනදාට වඩා වෙලාව හදා ගන්නවා. මට පුළුවන් විදියට ගෙදර වැඩවලටයි පුතාගේ වැඩවලටයි උදව් කරනවා.
නිවේදිකාවක් විදිහට නර්මදාව දකින්න ජනක කැමතිද?
මම ගොඩක් කැමතියි. ඒක එයා කැමති දේ. මම දැන් වුණත් කියන්නේ ඉක්මනට වැඩට යන්න කියලා.
නර්මදාගේ කටකාරකමටද ජනක කැමති වුණේ?
නර්මදා හරි සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න කෙනෙක්. එයාගේ ඒ ගතිගුණවලට මම කැමතියි. හැමෝම දකින කටකාර දඟකාර නර්මදා ඒ විදියටම ඉන්නවටයි මම කැමති.
කොටට ඇඳලා කෑ ගහලා ඉන්න බිරිඳ ගැන අනිත් අය කියන දේවල් ගැන ජනක හිතනවද?
වෙනස් විදියට ඇඳලා වෙනස්ම විදියට හිටියොත් ඒ නර්මදා නමෛයිනේ. නර්මදා ඔය අඳින පලඳින විදිය වෙනස් කරන්න හැදුවොත් මමම කියනවා එහෙම කරන්න එපා කියලා. අනික් අය නර්මදාව කොහොම දැක්කත් නර්මදාගේ විදියට මම කැමතියි.
ජනප්‍රිය බිරිඳගේ සැමියෙක් වීම කොහොමද දැනෙන්නේ?
නර්මදා ජනප්‍රියයි කියලා මට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. එයාට හම්බ වෙන ප්‍රතිචාර ගැන සතුටුයි.
නර්මදා හොඳ බිරිඳක්ද?
ඇත්තටම හොඳ බිරිඳක්. මගේ වැඩ ගෙදර වැඩ බබාගේ වැඩ හැමදේම හොඳට කරනවා. අපි හැමෝම ගැන බලනවා.
ආයේ වැඩ කරන්න පටන් ගත්තාම නර්මදා කාර්ය බහුල වුණොත්?
මම හිතනවා කොච්චර වැඩ වැඩි වුණත් නර්මදා ගෙදර වැඩවලට මුල් තැන දෙනවා. කොහොමත් පුතාව කාගෙවත් අතට දීලා වැඩ කරන්න නර්මදා කැමති නැහැ. නර්මදා වැඩ කරන්න පටන් ගත්තා කියලා අපේ දවස ගත කරන විදියේ වැඩි වෙනසක් වෙන එකක් නැහැ.
නෙලූෂා සිල්වා
ඡායාරූප - මධුසංඛ සිරිවර්ධන
පසුතලය- සුරිය රිසෝට් - වයික්කාල
courtesy to www.rivira.lk'

















































