ළහිරු පෙරේරා සංගීත ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙලා එතරම් කාලයක් නැති වුණත් ළහිරුගේ හඬට රසිකයන් ආදරෙයි. ළහිරු මේ දිනවල බාහිර ස්වරූපය වගේම නමත් වෙනස් කරගෙන. ඒ ලාසිඤ්ඤෝ නමින්.
ළහිරුට ආදරය කරන පිරිස වෙනුවෙන් ඔහුගේ සංගීත ජීවිතයත් ගෘහ ජීවිතයත් විමසන්න අපි හිතුවා. විවාහ වුණාට පසුව ප්‍රථම වරට පවුලේ ඡායාරූප සමගින් කතාබහකට සම්බන්ධ වුණේ ‘රිවිසරසි’ සමගිනුයි. මේ ළහිරු හා ඔහුගේ ආදරණීය බිරිඳ සමග අපි කළ කතාබහයි.
ළහිරු කොහොමද මේ දවස්වල?
හොඳින් සතුටින් ජීවත් වෙනවා.
සංගීත ජීවිතයේ අලුත් තොරතුරු මොනවාද?
මගේ සංගීතයෙන් මනුරංග විජේසේකරගේ පදරචනයෙන් නිර්මාණය වුණු ‘කැස්සට කොස්ඇට’ ගීතයේ වීඩියෝ එක නිර්මාණය කළා. මගේ ජීවිතේ මහන්සි වෙලා කළ වීඩියෝවක් කියලා කිව්වොත් මම හරි. ඒ මහන්සියේ ප්‍රතිඵල ලැබෙයි කියලා හිතනවා. ඒක ප්‍රේක්ෂකයින්ටත් දැකගන්න ලැබෙයි.
මොට්ටු ගීතයෙන් ඔබේ බාහිර ස්වරූපය වෙනස් කරගත්තා. ඒ නිසා රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවල වෙනසක් වෙලාද?
ලාසිඤ්ඤෝ විදියට තමයි මම දැන් පෙනී ඉන්නේ. ඒ නිසා ළහිරු පෙරේරාට ආදරය කරන රසිකයන් බහුතරයක් මට බණිනවා.
නමුත් ඒ රටාවට අලුත් පිරිසක් ගොඩනැගුණා. ප්‍රතිචාරවල අඩුවක් නම් නැහැ. වැඩියි. ඒ වගේම ලාසිඤ්ඤෝ නිසා දැන් මම වැඩිපුර සල්ලි හම්බ කරනවා. ඒ වගේම මම සින්දු 10ක් විතර කරලා තියෙන්නේ.
ඒ කියන්නේ ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය වැඩිවෙලා කියන එකද?
කවදත් මට ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය නම් වැඩිපුර ලැබුණේ නැහැ. මට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ පිරිමි ළමයින්ගෙන්.
අවුරුදු නවයක ප්‍රේම සම්බන්ධතාවකින්නේ ළහිරු විවාහ වුණේ. ලැබෙන ප්‍රතිචාරවලට බිරිඳ සැකයක් එහෙම ඇති කරගන්නේ නැද්ද?
බිරිඳ මීපමා සල්මලි පෙරේරා. රජයේ මූල්‍ය ආයතනයක සේවය කරන්නේ. අවුරුදු නවයක් ආදරය කරලා විවාහ වුණ නිසා ද දන්නේ නැහැ එයා මම ගැන දශමයක්වත් සැක කරන්නේ නැහැ. මගේ වැඩකටයුතු නිදහසේ කරගන්න ඕන වටපිටාව එයා හදලා දෙනවා. මට එයාව මුණගැසුණේ උසස් පෙළ අමතර පන්තියක දී. එදා ඉඳලා අපි ආදරය කළා. ඒ මගේ පළමු ආදරය. ඒ ආදරය අදටත් එහෙමමයි. පළමු ආදරය විවාහයකින් කෙළවර වෙන්නත් ඇයවම විවාහ කරගන්නත් මම වාසනාවන්ත වුණා.
ප්‍රසංග වේදිකාවෙන් ළහිරුට ලොකු වටිනාකමක් ලැබෙනවා. හුඟක් වෙලාවට කාර්ය බහුල වෙනකොට මීපමා කියන්නේ නැද්ද සංගීතයෙන් හම්බකළා ඇති කියලා?
ඒක අපි දෙන්නම තේරුම් අරගෙන ජීවත් වෙන්නේ. මම තමයි වැඩිපුර මුදල් හම්බ කරන්නේ. සල්ලි ඕන නම් සින්දු කියන්න ඕන. ඒ නිසා සංගීත ප්‍රසංගවලට සහභාගි වෙලා පරක්කු වෙලා ගෙදර ආවට කිසිම ප්‍රශ්නයක් නැහැ.
ගෘහමූලිකයා විදියටත් දරුවෙක් ඉන්න පියෙක් හැටියටත් ගෘහයේ වගකීම දැනෙනවද ළහිරු?
අපේ පුතා ඉතිර ජෙරන් පෙරේරා. වයස අවුරුද්දයි මාස හතරයි. පුතා ඉපදෙන්න ඉන්නවා කිව්වම මම හුඟාක් දුක් වුණා. මොන කරදරයක්ද කියලා හිතුණා. එහෙම හිතුණේ තවත් වගකීමක් වැඩිවුණ නිසයි. මගෙයි මීපමාගෙයි දෙමාපියන් ලොකු බලාපොරොත්තුවකින් හිටියා දරුවෙක් ඉපදෙනකල්. ඉතින් දරුවෙක් හැදුවා. මුලින්ම මෝඩ වැඩක් කියලා හිතුණා. පළමු අත්දැකීම වෙනස්. මීට කලින් ඉපදුණ ගමන් දරුවෙක්ව බලලා නැහැ. ඒක හරි අමුතු අත්දැකීමක්. දරුවව දැක්ක ගමන් බෝනස් පිය පදවිය ලැබුණා කියලා හිතුණා. බිරිඳ දරුවා ලැබෙන්න දුක් වින්දා. ඒත් දරුවා ලොකු වෙනකොට මගේ මුහුණ දිහා බලලා හිනාවෙනකොට තාත්තා කියලා කතා කරනකොට වගකීම පොලියත් එක්ක දැනුණා. අනේ මුලින්ම අර වගේ හැඟීමක් ඇතිවුණේ ඇයි කියලා දුක් වුණා. දැන් මගේ ජීවිතයේ සියයට පනහක්ම ඉන්නේ මගේ පුතා. වගකීම වැඩි වුණත් දරුවා එක්ක ගතවෙන කාලය හරිම සුන්දරයි.
ජනප්‍රිය සංස්කෘතිය තුළ ජීවත් වෙන පිරිසගේ ජීවිත දෙකඩවීම් හැලහැප්පීම් එක්ක ගවෛන්නේ. ඒ දිහා බලද්දී ළහිරුගේ පවුල් ජීවිතය හා සංගීත ජීවිතය ගැන ඔබ තෘප්තිමත් ද?
අනිවාර්යයෙන්ම ඔව්. සියයට සියයක්ම මම තෘප්තිමත්. මේ ලෝකේ ඉන්න හොඳම වාසනාවන්ත පුද්ගලයා මම කියලා මට හිතෙනවා. පවුල් ජීවිතේ ගැන තෘප්තිමත් වගේම සංගීත ලෝකයේත් කාලයෙන් කාලයට මම බලාපොරොත්තු වුණ දේවල් සියයට දෙසීයක් මම ඉටු කරගෙන තියෙනවා.
අවුරුදු නවයක් පුරාවට ආදරය කරලා ළහිරු විවාහ කරගත් මීපමා එක්ක කතා කරන්නත් අපි හිතුවා. රූපවාහිනී තිරය මත දකින දඟකාර විසේකාර ළහිරු ගැන මීපමා අදහස් දැක්වූයේ මේ විදියටයි.ළහිරු කියන්නේ හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන ඕනෑම දෙයක් ලොකුවට හිතන්නේ නැති කෙනෙක්. හෙට මැරුණත් කමක් නැහැ අද සතුටින් ජීවත් වෙන්න ඕන කියලා එයා හිතනවා. නමුත් එයා එයාගේ අරමුණුවලට කොහොම හරි යනවා. ඒත් හැමදේම බදාගෙන වැඩ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් රූපවාහිනී තිරයේ දී දකින ළහිරුමයි ගෙදරදිත් මම නම් දකින්නේ. කිසිම වෙනසක් නැහැ. හරිම විනෝදයි. විහිළු කරනවා. බැන්දට පස්සේ වෙනසක් වුණා. ඒ එයා කොණ්ඩේ වැව්ව එක විතරයි.
ළහිරුගේ කොණ්ඩා විලාසිතාවට මීපමා කැමැති ද?
ඇත්තටම මම කැමැති නැහැ. මම නිතරම කියනවා කොයි වෙලාවක හරි මම ඔය කොණ්ඩේ අල්ලලා කපනවා කියලා. ළහිරු හිනාවෙනවා. මම අකැමැති වුණත් සංගීත ක්‍ෂේත්‍රයේ එයාගේ ස්වරූපයට ඒ විලාසිතාව ඕන නිසා මම රණ්ඩු කරන්නේ නම් නැහැ.
දරුවා ඉපදෙන්න ඉන්නකොට ළහිරු අකැමැති වුණා කියන්නේ ඇත්තද?
ඒ දවස්වල මම කන්න කැමැති කෑම ගෙනත් දුන්නා. එයා මට හරි ආදරෙයි දරුවා ලැබෙන්න ඉන්නකොට දුක්වින්ද විදිහ දැක්ක නිසයි එයා එහෙම හිතුවේ. එයා හිතුවා ඒක මට වදයක් කියලා. විවාහ වුණ දවසේ ඉඳලා අපි ජීවත් වෙන්නේ ළහිරුගේ දෙමාපියන් ළඟ. ඒ නිසා කවදාවත් ගෙදර වැඩ කළේ නැහැ. හරිම සැහැල්ලුවෙන් ජීවත් වුණා. පුතා අපේ ජීවිතේට එකතු වුණේ 2013 වර්ෂයේ අප්‍රේල් 04 වැනි දා. ඊට පස්සේ මට වැඩ වැඩිවුණා කියලා එයා හිතුවා. ඒත් මට දරුවාවත් විවාහ ජීවිතයවත් බරක් වෙලා නැහැ.
ළහිරු බලාපොරොත්තු වුණේ දුවක්ලු නේද?
ඔව්. එයා දුවක් නම් කිව්වා. මම ආසාවෙන් හිටියේ පුතෙකුට. නමුත් අපි දරුවා ඉපදෙනකල් දන්නේ නැහැ දුවක්ද පුතෙක්ද කියලා. මගේ බලාපොරොත්තුව තමයි ඉටු වුණේ. ඒත් ළහිරු දුක් වුණේ නැහැ.
ළහිරුට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට මීපමා ඊර්ෂ්‍යා කරන්නේ නැද්ද?
ඇත්තටම නැහැ. ගැහැනු ළමයි වුණත් ළහිරුට සලකන්නේ අයියා කෙනෙක් මල්ලි කෙනෙක් කියන හැඟීමෙන්. ඒකට හේතුවක් වෙන්න ඇති එදා ඉඳලා ළහිරුගේ පුද්ගලික තොරතුරු හැංගුවේ නැති එක. නිතරම එයා මාධ්‍යයට පෙම්වතෙක්, සැමියෙක්, පියෙක් කියන එක ඇඟෙව්වා. ඒ නිසා ප්‍රේක්ෂකයින් එයාව දකින්නේ සහෝදරයෙක් විදියට.
මීපමාට ඉන්නේ පුතණුවක්නේ. ළහිරු වගේ කවදා හරි එයාවත් ගායකයෙක් කරන්නද කල්පනාව?
පුතා සංගීතයට හුඟක් ආදරෙයි. ඇලුම් කරනවා. රූපවාහිනියේ ළහිරුව දකිද්දී තාත්තා කියලා කෑගහනවා. එයාගේ සින්දු ඇහෙද්දි පුතා අඳුරගන්නවා. හොඳට ඇහුම්කන් දෙනවා. එයාව නිදි කරවන්න ඕනත් ළහිරුගේ සින්දුවක් දාලයි. එයා මොට්ටු සින්දුවට හරි ආසයි. ළහිරු ළඟ ඉද්දි එයා ලස්සනට සින්දු කියලා පුතාව නළවනවා. මම සින්දු කියනවට පුතා කැමැති නැහැ. ඒ නිසා සින්දුවක් දාලා පුතාගේ අතට ෆෝන් එක දුන්නම එයා කනේ තියාගෙන සින්දුව අහන ගමන් නිදාගන්නවා. සංගීතයට ආදරය කළාට සංගීතඥයෙක් වේවිද කියලා දැන්ම කියන්න බැහැ. මම වගේම ළහිරුගෙත් එහෙම බලාපොරොත්තුවක් නැහැ.
හර්ෂණී වීරරත්න
ඡායා-වෙනුර චන්ද්‍රමාලිත
courtesy to www.rivira.lk'



















































