Saturday, July 19, 2014

නිරෝෂා පළමු වතාවට හෙළි කළ කතාවක්

මුලින්ම අපි ‘විටින් විට’ නමැති ඔබේම ගීතය ගැන කතා කරමු.....
ඇත්තෙන්ම එය මගේම ගීතයක්. ‘විටින් විට’ ගීත පදවැල, සංගීත අධ්‍යක්ෂණය හා ගායනය මගේමයි. ඒත් ගීත රචිකාවියක වීමේ හෝ සංගීත අධ්‍යක්ෂවරියක වීමේ හෝ අදහසින් නමෛයි මා ‘විටින් විට’ ලියන්න පටන් ගත්තේ. මගේ හිතට දැනුණු අදහස් පදවැල් විදියට ගලායන අතර තමයි ඔය ගීතය ලියැවුණේ. ඒක දැක්කම මට හිතුණා මෙම ගීතය කරන්න. එහි සංගීතයත් මමම නිර්මාණය කරන්න හිතුවා. ඒ විදියට තමයි එය නිර්මාණය වුණේ.
විටින් විට ප්‍රේම ගීතයක්ද?
“විටින් විට
මා නෙතට උනනා
කඳුළු කැටයක
අරුත සෙව්වෙමි...”
ඔය ගී පද වැල ප්‍රේම ගීතයක් තවත් අතීත ස්මරණයක් කිව්වත් වැරදි නැහැ. ඉදිරියේ දී ඒ ගීතය අහලාම
ප්‍රේක්ෂකයින්ට ඒ ගැන තීරණයක් ගන්න ඉඩ දෙමු.
 හුදකලා වුණු වෙලාවක ලියැවුණේ පෞද්ගලික අත්දැකීම් තුළින් හිතේ හිරවුණු දුක වේදනාවද?
(හිනැහී) ඕක ගොඩක් කලා නිර්මාණවල පසුබිම් වූ ‍පොදු සත්‍යයක්.
නිර්මාණකරුවන්ගේ පෞද්ගලික අත්දැකීම් , දුක් සුසුම් තමයි ඒ අයව නිර්මාණකරුවන් බවට පත් කළේ. මගේ ගීතයත් ඒ වගේ වෙන්න පුළුවන්.
නිරෝෂාගේ රසික පිරිසට ‘විටින් විට’ අසන්නට ලැබෙන්නේ කවදාද?
මැයි මාසයේ දී විතර තමයි එය එළිදක්වන්න හිතාගෙන ඉන්නේ...
විටින් විට තුළින් බිහි වූ නිරෝෂා විරාජිනී කියන සංගීත අධ්‍යක්ෂවරියගේ අනෙකුත් නිර්මාණ ගැනත් කතා කරමු...?
නිලාර් එන්. කාසිම් ලියපු ගීතයකුයි තවත් නවක ගීත රචකයෙක් ලියපු ගීතයකුයි සංගීතවත් කළා. ඒ ගීත දෙකම ගායනා කළෙත් මම.
ඔබ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ඔබට  විතරමද?
මගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ වෙනත් අය ගායනා කරන ගීතත් ඉදිරියේ දී අසන්නට ලැබේවි.
නිරෝෂා සංගීත චිත්‍රපට
අධ්‍යක්ෂවරියක වන්නට යන බවටත් ආරංචියක් තියෙනවා...
(හිනැහී) එහෙම ආරංචියක් තියෙනවා නම් ඒ ආරංචිය ඇත්තක් වෙන්න ඇති. හැබැයි ඒ ගැන මේ වෙලාවේ නම් මොකුත් කියන්න බැහැ.
ඇයි ඒ...?
ඒක විශේෂ හේතුවක්. ඉදිරියේ දී හෙළි කරන්නම්
කොහොමද සංගීත ඇකඩමියේ කටයුතු?
සාර්ථක ලෙස කෙරීගෙන යනවා. මගෙ සංගීත ඇකඩමියේ ළමයින්ගේ ප්‍රසංගයක් අප්‍රේල් මාසේ 25 වැනිදා හවස 6 ට සෝලීස් එකේ පැවැත්වෙනවා. ඒ කටයුතුත් එක්ක මගේ කාර්යබහුල බව වැඩි වෙලා.
ඒ කාර්යබහුලකමත් එක්ක පෞද්ගලික ජීවිතයත් යටපත් වෙලා යනවද?
ඇත්තෙන්ම ඔව්. පෞද්ගලික ජීවිතය ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම්.
ඒ වුණත්  ආදරයක අවශ්‍යතාවය අපි හැමෝටම තියෙනවා....?
මගෙ ජීවිතේ දිහා හැරිලා බැලුවම අද මට හිතෙනවා මාව මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ සංගීතය වෙනුවෙන් කියලා. ඉතින් මම සංගීතයත් එක්ක ජීවත් වෙනවා.
ආයෙ කවමදාකවත් නිරෝෂගෙ ජීවිතයට ආදරයක් ළංකරගන්නෙ නැද්ද?
ඒක නිශ්චිත උත්තරයක් දෙන්න අමාරු  ප්‍රශ්නයක්. අනාගතේ මොනවගේ වෙයිද දන්නෙ නැහැනේ.


courtesy to www.lakbima.lk.