කේ සෙරා සමග සිනමාවට පෑයූ අලුත්ම නිළි තරුව යොෂිනි
පරාක්‍රම ජයසිංහගේ කේ සේරා සමඟින් ඇය අප රිදී තිරයට අවතීර්ණ වූවාය. ඇය එහි සැමැන්තා නම් ප්‍රධාන චරිතයට පණ පොවන්නීය. මෙතැන් පටන් ලියවෙන්නේ ඇය පිළිබඳ සටහනකි.
* පළමුව ඔබේ නම පවසමු?
මම යොෂිනි උමංගා අබේසේකර.
* කේ සේරා ඔබේ පළමු චිත්‍රපටයද?
ඔව්.
* ඒ කියන්නේ මිට කලින් රඟපාලා නැහැ?
තියෙනවා. හැබැයි වෙළෙඳ දැන්වීම්වල විතරයි.
* කොහොමද කේ සේරා සඳහා යොෂිනිට ආරාධනා ලැබෙන්නේ?
එහි අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහ කියන්නේ මගේ මාමා. ඔහු තමයි චිත්‍රපටයට කතා කළේ.
* ඔබට මේ චරිතය ලැබෙන්නේ ඒ නෑදෑකම නිසාමද?
මාමා මේකෙ පිටපත ලියන්නේ සෑහෙන්න කල් ඉඳලා. එතකොට මං කමර්ෂල් එකක්වත් කරලා තිබුණේ නැහැ. මගෙන් ඇහැව්වා මෙහෙම චරිතයක් තියෙනවා රඟපාමුද කියලා. ඔහු හිතලා තිබුණලු මාවම මේ චරිතයට ගන්න. මටත් ඉතින් බැහැ කියන්න තරම් හේතුවක් තිබුණේ නැහැ.
* ඔබ එතකොටත් රඟපාන්න ආසාවෙන් ද හිටියේ?
ඔව්. හැබැයි අවස්ථාවන් ලැබුණා අඩුයි.
* බැරි වෙලාවත් පරාක්‍රම ජයසිංහ ඔබේ මාමා නොවුණා නම් මේ අවස්ථාවක් ගිලිහෙන්න තිබුණා?
මොකක්ද ඔබ ඒ පැනයෙන් අදහස් කළේ?
* ඔබව ක්ෂේත්‍රයේ කවුරුවත්ම දන්නේ නැහැනේ. ඒ නොදන්නාකම නිසානේ මෙතුවක් කල් චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යකට ආරාධනා නොකළේ?
මෙහෙමයි. මාව ක්ෂේත්‍රයේ අය දන්නේ නම් නැහැ තමයි. නමුත් මාමා මට සැමැන්තාගේ චරිතය දෙන්නේ මට ගැළපෙන නිසානේ. හැබැයි දැන් ටික ටික මාව හඳුනනවා ක්ෂේත්‍රයේ අය. මං විශ්වාස කරන දෙයක් තියෙනවා. මං මේ ක්ෂේත්‍රයට කැමැත්තෙන්නේ හිටියේ. ඒ හින්දා මාමා කතා නොකළත් වෙන කොහෙන් හෝ මට රංගනයට අවස්ථාව ලැබේවි. ඒක මගේ වාසනාව අනුව සිදුවන්නක්. ඒත් මාමා විසින් මට ලැබෙන්න තියෙන වාසනාව ඉක්මනින් රැගෙන ආවා. ඒ ගැන මට සතුටුයි.
* සැමැන්තා කියන්නේ මියගිය ආත්මයක්?
එවන් වූ චරිතයක් නිරූපණය කරන්නට ලැබීමත් වාසනාවක්. බොලඳ චරිතයක් හරහා සිනමාවට පිවිසුනා නම් මං ගැන වැරැදි චිත්‍රයක් සිනමාලෝලීන් තුළ මැවෙනවා. මගේ රංගන හැකියාව මෙමඟින් හැකිතාක් මං පෙන්නුවා. ඊළඟට මොන වගේ චරිතයක් ලැබුණත් මට කමක් නැහැ.
* ඔබේ පිළිතුර තවදුරටත් පැහැදිලි කළොත්?
මෙන්න මේකයි. මට එක්තරා රාමුවක සිර වී ඇති චරිතයක් ලැබුණොත් මට රඟපාන්න වෙන්නේ ඒ සීමිත පරාසය තුළ පමණයි. පළමු රංගනයම එවැනි චරිතයක් වීම තුළින් ප්‍රේක්ෂකයෝ හිතනවා මට එතැනින් එහාට රඟපාන්න බැහැ කියලා. නමුත් සැමැන්තා සීමාරහිත චරිතයක්. එය පුළුල් පරාසයක් ඔස්සේ විහිදෙනවා. මට නිදහසේ රඟපාන්න පුළුවන් වුණා අතපය දිග හැරලා. දැන් ප්‍රේක්ෂකයෝ දන්නවා ඇති මට රඟපාන්න පුළුවන්ද බැරි ද කියලා.
* ඔබ සැමැන්තා වුණයින් පසුව කිහිප දෙනෙකු බය කළා කියන්නේ ඇත්තද?
අනේ මං බය කළේ නැහැ. හැබැයි මාව දැකලා බය වුණාලු. මං සිද්ධියක් දෙකක් කියන්නම්. බොරැල්ල කනත්තෙදී අපි රූගත කිරීමත් කළා. එහි හිටියේ මම විතරයි. මගේ මූණට ස්පොලයිට් එකක් ගහලයි තිබුණේ. නිෂ්පාදන කණ්ඩායම ටිකක් ඈතින් හිටියේ. මාව දැකලා එලියේ ත්‍රීවිල් රියදුරන් වගයක් හොඳටම බය වෙලා. සුදු සාරියක් ඇඳගෙන තනියම කනත්තේ ඉන්න කෙනෙකු දැක්කම ඔවුනට මොනවා හිතුණද මන්දා. ඒ වගේම පාරක ෂූට් කරද්දිත් ඔහොම්මම සිදුවිමත් වුණා. රූගත කිරිම් නිමා වෙලා මං පොඩ්ඩක් ඇවිදින්න ගියා. ඒ ගමේ කිහිප දෙනෙක්ම මාව දැකලා මෝහිනී කියලා බය වෙලා තිබුණලු. ඊට පස්සේ නම් මාව තනියම කොහෙවත් යැව්වේ නැහැ රූගත කිරීම් නිමා වෙනකම්.
* මං ඔබව ටෙලි නාට්‍යවලින් දැකලා නැහැ?
දකින්න විදිහක් නැහැනෙ. මට ටෙලි නාට්‍ය එපා.
* ඒ මොකෝ?
හැම තිස්සෙම ටී. වී එකේ පේන්න ඉන්න කොට මිනිස්සුන්ට කාව වුණත් එපා වෙනවා.
* ඔබ ආස සිනමාවටද?
ඔව්.
* හේතුව?
චිත්‍රපටවල රඟපෑවම මිනිස්සුන්ට මතකයේ තියෙනවා වැඩියි.
* ඒත් ටෙලි නාට්‍ය චරිතත් එහෙමනෙ. ඇතැම් ටෙලි නාට්‍ය චරිත කොච්චර කාලයක් ගියත් අමතක වෙන්නේ නැහැනේ. දූ දරුවෝ, ඩයස් මහත්තයා, පළිගු මැණිකෙ, සූරසේන වර්තමානයට ආවොත් පූජා, පබා, බෙනා මාමා වගේ චරිත අපට හොඳට මතකයිනෙ?
අම්මෝ ඔච්චර උදාහරණ ගන්න එපා මං ඒ කියූ දෙයට. මට ඕනෑ චිත්‍රපට හරහා නමක් හදාගන්න. අද චිත්‍රපට නළු නිළියන් ඕනෑ තරම් ඉන්නේ චිත්‍රපට චරිතවලින් විතරක් නම හදා ගත්තු. අන්න ඒ ගොඩට වැටෙන්නයි මටත් අවශ්‍ය.
* රංගනය ඔබේ වෘත්තියද?
නැහැ. මං ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්. ද ඔබේ වෘත්තීය නිසා ලැබෙන සෑම චරිතයක්ම බාරගන්න අපහසු ඇති?
මං වෘත්තියයි රංගනයයි පටලවගන්නේ නැහැ. ගුරු වෘත්තියේ නෙවෙයි, මොන වෘත්තියක නියැලුණත් ලැබෙන හැම චරිතයක්ම කරන්න අමාරුයිනේ කාට වුණත්. මේ වෙන කොට නම් ප්‍රතික්ෂේප කරන්න තරම් චරිතයක් ලැබිලත් නැහැ.
* මා දන්නා විදිහට ඔබ මේ වන විට සැබෑ ජීවිතයේ ප්‍රේමවන්තියක්?
හරියටම හරි.
* කවුද ඔබේ අතපතා සිටින්නේ?
එයා ප්‍රවීණ් ගුණසේකර. පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවකු විදිහට සේවය කරනවා.
* කවදා විතරද ඔබ දෙපළගේ විවාහය සිද්ධ වන්නේ?
ලබන අවුරුද්දේ විතර.
* ප්‍රවීණ් කැමැති ද ඔබ රඟපානවාට?
දැනට නම් ප්‍රශ්නයක් නැහැ.
* ඔහුගෙන් අහලද ඔබ චරිත බාර ගන්නේ?
රඟපාන්නේ මම නිසා චරිත බාරගන්නේ මම. හැබැයි ඔහුගෙන් අහනවා රඟපාන්න යන්න කලින්.
* තිරයේ පෙම් ජවනිකා සඳහා ප්‍රවීණ්ගේ තහංචි නැතිද?
තවම මට ප්‍රේමවන්තියකගේ චරිතයකට කතා කළේ නැහැ. කතා කරපු දවසට ඒ ගැන හිතලා බලනවා.
* යොෂිනිගේ පවුලේ විස්තරත් කියමු?
තාත්තා නම් ජීවතුන් අතර නැහැ. අම්මයි මල්ලියි, මමයි ඉන්නේ.
* එතකොට ගෙවල්?
මං කොළඹ කෙනෙක්.
* පාසල් ගියේ?
කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයට.
* උපන් දිනයත් කියමු?
ජනවාරි 27.
* මොනවද අනාගත බලාපොරොත්තු?
අංක එක හොඳ රංගන ශිල්පිණියක් වීම. දෙක කවදා හරි මොන්ටිසෝරියක් ආරම්භ කිරීම.
සටහන – ප්‍රසාද් සමරතුංග