Friday, August 29, 2014

මම කරපු ලොකුම මෝඩකම තමයි මිනිස්සුන්ව ඕනෑවටත් වඩා විශ්වාස කරපු එක....

"හිම කඳු" ටෙලි සිතුවම හැඩ කරවමින් 'සංජු'ගේ චරිතයට පණ පෙවූ ඇය රංගනයට පිවිසි නවක නිළියක වූ ඇය නමින් "සුලේඛා ජයවර්ධන" ය. සුලේඛා මේ වනවිටත් බොහෝ පිරිසකගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වූ චරිතයක් බවට පත්වී හමාරය.

"හිම කඳු" ටෙලියේ සංජුගේ චරිතය හරහා තමන්ගේ ටාගට්වලට යන්න නොයෙකුත් කැපකිරීම් කරන තරුණියකි. එහෙත් 'රෑනේ' ටෙලියේ දී 'දුන්‍යා' නමින් රංගනයේ යෙදෙන ඇය ටිකක් දඟකාරයි. එමණක් නොව ඇය ළග තිබෙන සහ ඇය කරන යටි කූට්ටු වැඩ අපමණයි. මේ චරිත දෙක සහ සුලේඛාගේ සැබෑ ජීවිතය ගැන ද තොරතුරු රැසක් පැවසුවා.

"සංජු සහ දුන්‍යා කියන දෙන්නම මගේ සැබෑ ජිවිතයට සමීප නැහැ කිව්වොත් මම නිවැරැදියි. හැබැයි සංජු සහ දුන්‍යාගේ ගතිගුණ එහෙන් මෙහෙන් මට තියෙනවා. මං දඟකාරියක් නෙවෙයි. ඒ වගේම කපටිත් නැහැ. මම මගේ ටාගට්වලට මොන බාධක තිබුණත් කවුරු මොනවා කිව්වත් කොහොම හරි යන කෙනෙක්. ඒ චරිතවලත් ඒ ගති ගුණය තියෙනවා. අන්න එතෙන් දි මමත් හරියට සංජු සහ දුන්‍යා වගේ. මගේ ටාගට් තියෙන්නේ මගේ ජීවිතය තවත් යහපත් කරගන්න විතරයි.

එකක් මගේ අධ්‍යාපනය. මං පුළුවන් තරම් ඉගෙන ගන්නවා. එහිදී මට බාධක ආවත් ඒවා මැඬගෙන ඉදිරියටම යනවා. මං එවැනි දේවල් සඳහා පමණයි හිතුවක්කාර වන්නේ.

මට රඟපාන්න වගේම සිංදු කියන්නත් පුවවන්. ඒ හින්දා ගායනය හදරන්න නන්දා මාලනී මිස් ගාවට ගියා. එහිදී ප්‍රියා රණසිංහ මහත්මිය මාව දැකලා කතාබහ කරලා එයාගේ සමනල වසන්තයක් නාට්‍යයට ආරාධනා කළා. එහි 'කලාරි' වුණේ මම. කලාරි කියන්නේ ආබාධිත දරුවෙක්. රෝද පුටුවක ඉඳගෙන තමයි මට රඟපාන්න තිබුණේ.

ඒ වන කොට මම පාසල් යනවා. මට මතක හැටියට අටේ පංතියේ ඉන්න කොටයි සමනල වසන්තයක් රඟපෑවේ. මට ඒ අතරතුර දී කිඳුරංගනා නාට්‍ය සඳහා කතා කළා. ඒත් යන්න බැරි වුණා. මගේ රංගන ජීවිතයේ දෙවැනි ගමන ඇරැඹෙන්නේ මේ නාට්‍යවලින්.

ආරාධනා කරන ඕනෑම චරිතයක් රඟපාන්න මම සුදානම් නැහැ. මගේ පෞද්ගලික ජීවිතයට හානි වන චරිත මං රඟපාන්න බාර ගන්නේ නැහැ..... මත්පැන්, සිගරට් බොන, වැරැදි වෘත්තීන්වල නියැලෙන චරිතයන් මං ප්‍රතික්ෂේප කරනවා. මේක ලංකාවනේ.

වෙනත් රටක ඉපදුනා නම් මං එවන් වූ චරිත දෙපාරක් හිතන්නේ නැතුව රඟපානවා. අපේ ප්‍රේක්ෂකයෝ බහුතරයක් අපිව මනින්නේ රඟපාන චරිතවලින්නේ. මම ඒවාගේ චරිතයක් රඟපෑවොත් මාවත් වපර ඇසින් බලාවි."

රෑන ටෙලිය රඟපාන්න ගිහින් නිල්මිණි තෙන්නකෝන්ගෙන් බොහොම රසට සහ සැරට කෑව කම්මුල් පාර ගැන නම් සුලේඛාට කවාදාවත්ම අමතක වෙන්නේ නම් නැහැලු...

"මගේ අම්මෝ. ඒ කම්මුල් පාර කාල දැනුණු රිදිල්ල ආයෙත් ආයෙත් දැනෙනවා ඒක ගැන කතා කරද්දිත්. නිල්මිණි මහත්මිය මට ඇත්තටම කම්මුලට ගැහැව්වා. ඇය හිතුවේ නැහැ එච්චරට සැරට වදීවි කියලා. ඇගේ ඇඟිලි පහම මගේ මුහුණේ සලකුණු වුණා. කඳුළු පැනලා මං එදා හොඳටම ඇඬුවා. ෂූට් එකේ ඒ තිබුණේ මගේ ඇත්තම ඇඬිල්ල...."

රගපෑම්වල නිරතවන අතරතුරේ සුලේඛා ඇගේ අධ්‍යාපන වැඩ කටයුතු පිළිබදව සහ අනාගත බලාපොරොත්තු ගැනත් පැවසුවා.

"මම දැන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරනවා. අපේ රටේ මතයක් තියෙනවා කරන්නම දෙයක් නැති තැන තමයි තරුණියෝ රඟපාන්න එන්නේ කියලා. ඒත් ඒ තත්ත්වයට වැටෙන්න ඕන නැහැනේ. මට කවදා හරි කියන්න පුළුවන් මං නිළියක් වුණාට නිකම්ම නිකම් නිළියක් නෙවෙයි. මං යමක් ඉනෙ ගත්ත නිළියක් කියලා. එතකොට කවුරුවත් අනම් මනම් කියන එකකුත් නැහැනේ.

මගේ අරමුණ කවදා හරි මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම නෙවෙයි. මට ඕනෑ බැංකුවක වැඩ කරන්න. නමුත් රංගනයෙන් ඉවත් වෙන්නේ නැහැ. රැකියාවක් කරන ගමන් රඟපානවා.

මෙතෙක් කල් මම කරපු ලොකුම මෝඩකම තමයි මිනිස්සු ඕනෑවට වඩා විශ්වාස කිරිම. කවුරු හරි බොරුවට දුකක් කියාගෙන ආවොත් මං ඒක ඇත්ත කියලා පිළිගන්නවා. මං ගොඩක් සංවේදියි. ඒකයි එහෙම වෙන්නේ.

පේ‍්‍රමවන්තයෙක් ජීවිතයට ළංකර ගන්න නම් තව ටිකක් කල් යාවි. මට ආදරය කරන කෙනෙකුට වඩා නීති නොදා ඉන්න කෙනෙකු හමුවෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ. එවැනි අයකු හමු වුණොත් එතැන් පටන් විවාහය ගැන තීරණය කරනවා.

මගේ අම්මා සුනේත්‍රා. ඇය බැංකු නිළධාරිනියක්. තාත්තා විදෙස් ගතවෙලා ඉන්නේ. අක්කයි ආච්චියි තමයි පවුලේ සෙසු සාමාජිකයෝ. මම කොට්ටාවේ. මං ඉස්කෝලේ දෙකකට ගියා. නුගේගොඩ අනුලා සහ කොළඹ රෝයල් ඉන්ටටියුට් ජාත්‍යන්තර පාසලට. මං ගැන කෙටියෙන්ම හඳුන්වා දෙනවනම් ඇත්තටම මං මගේ පාඩුවේ ඉන්න  ඉන්න කෙනෙක්