යුරේනි
නැත්නම් හරි කෙනා තෝරගන්න බැරි වෙනවා...
මහේෂි

ක්‍ෂේත්‍රයේ කට්‌ටියට නම් මේ දෙන්නා පෙනෙන්නේ ඒ තරම් යාළුවෝ නෙමෙයි කියලා. හැබැයි බලන් ගියහම හොඳ යාළුවෝ කියලයි අපිට ආරංචිය. මහේෂි යුරේනිව අඳුරගෙන තියෙන්නේ වෙළෙඳ දැන්වීමක් රූගත කරන්න ගිය අවස්‌ථාවකදී. හැබැයි තවම දෙන්න හඳුනගෙන අවුරුද්දක්‌වත් නැතිලු. ඒ වුණාට බලන්න එපායෑ දෙන්නගෙ තියෙන මිතුදම. මහේෂිගේ ජීවිතය ගැන යුරේනි නොදන්න දෙයක් නැති පාටයි. ඒ කතාවට හොඳම සාක්‍ෂිය තමයි මේ පාර හිතමිතුරු සුළඟට යුරේනි මහේෂිගෙන් අපහු ප්‍රශ්නාවලිය.
*ඔයා දන්නවානේ ඔයා හරි ලස්‌සනයි කියලා. ඒක හින්දා හරි ආඩම්බරයි නේද?
මගේ යාළුවා වෙලා අහලා තියෙන ප්‍රශ්නය බලන්නකෝ අයියේ. එයත් දන්නවානේ මම ආඩම්බර නැහැ කියලා. අනික මාව ආශ්‍රය කරන අය දන්නවා මම ඔයා හිතන තරම් ආඩම්බර නැහැ කියලා.
*මහේෂි ඔයා රඟපාන්න දක්‍ෂයි කියලද හිතාගෙන ඉන්නේ ?
මේ අක්‌කා මගේ යාළුවෙක් නම් නෙමෙයි. හතුරෙක් අහන ප්‍රශ්න තමයි, අහලා තියෙන්නේ. අනේ අක්‌කේ මම රඟපානවා දක්‍ෂයි කියලා හිතන්නේ නැහැ. හැබැයි වෙලාවකට හිතෙනවා මම යම්තාක් දුරට දක්‍ෂයි කියලා. අපේ භාෂාවෙන් කියනවා නම් අක්‌කේ මම ඇඳගෙන නැහැ. මම තවම මෙතැනට අලුත්නේ.
*ඇයි පාරේ යනකොට මිනිස්‌සු එක්‌ක හිනාවෙන්නේ නැත්තේ ?
මම වැඩිපුර කරන්නේ හිනාවෙන එක තමයි. ඇයි ඔයා දන්නේ නැතිද?. මට වයස් භෙAදයක් නැතිව මිනිස්‌සු ආදරය කරනවා. අනේ මම සාමාන්‍ය විදිහට ජීවත්වෙන කෙනෙක්. ඔයා හිතන තරම් මම ආඩම්බර නැහැ.
*සෙට්‌වලට ගියහම පින්තූර දාහක් විතර ගන්නවා. ඒවා අරගෙන මොකද කරන්නේ මහේෂි ?
ඔයා වගේම මමත් වෙබ් පිටුවට දානවා. එහෙමත් නැතිනම් මුහුණුපොතට දානවා.
*මේ දවස්‌වල පිරිමි ළමයි කීදෙනෙක් පස්‌සෙන් එනවාද?
අයියෝ අක්‌කේ ඒ තරම් නම් මගේ පස්‌සෙන් එන්නේ නැහැ. ඕක ඉතිං සාමාන්‍ය දෙයක්‌නේ. පිරිමි ළමයෙක් කොහොමත් ගැහැනු ළමයෙක් එක්‌ක තමයි යාළුවෙන්න අහන්නේ. හැබැයි මම තවම කාත් එක්‌කවත් ආදර සම්බන්ධතා පවත්වලා නැහැ. අනික මම කැමැති නැහැ බොරු ආදර කතාන්දරවල පැටලෙන්න.
මම කොහොමටත් උපරිමයෙන් ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක්.
*දේශපාලන සම්බන්ධතා තියෙන කෙනෙක් පස්‌සෙන් එනවා නේද?
අයියෝ නැහැ අක්‌කේ. ඔයාට වැරදිලා. ඔය ප්‍රශ්නය සම්පූර්ණ වැරදියි. මම කිසිම දේශපාලන සම්බන්ධතා තියෙන කෙනෙක් ඇසුරු කරලා නැහැ.
*ඇයි නංගි කොල්ලන්ට සෑහෙන ගණන් උස්‌සන්නේ?
ජීවිතයේ එකට ජීවත්වෙන්න තෝරාගන්න කෙනා හරියට තෝරාගන්න ඕනෑ. අපි හැමෝටම දොර ඇරලා තිබ්බොත් අපිට හරි කෙනා තෝරාගන්න බැහැ. අනික මම බොරුකරන පුද්ගලයන්ට කැමැති නැහැ. මම හැමදාම බුදුන්ට වැඳලා ප්‍රාර්ථනා කරන්නේ මට හොඳ සැමියෙක් ලැබෙන්න කියලයි.
*වාහනයේ යනකොට අහිංසක මිනිස්‌සු යටකරගෙන යන්න හදන්නෙ හික්‌මීමක් නැති හින්දාද?
අනේ නැහැ. මම එහෙම නැහැ. යුරේනි කියන්නේ බොරු. අපේ අම්මත් මගේ එක්‌ක යනවා. අම්මා දන්නවා මම බොහොම හෙමින් යන්නේ කියලා. මම එහෙම වාහනයේ හයියෙන් යන කෙනෙක් නෙමෙයි.
*අම්මාව බය කරගෙන, සද්ද බද්ද දාගෙන නේද ඉන්නේ ?
අනේ අම්මෝ නැහැ. අපේ තාත්තාව බයකරගෙන හිටියත් අම්මාව නම් බයකරගෙන ඉන්න පුළුවන්කමක් නැහැ.. අම්මාගෙන් තමයි ගුටිකන්න වෙන්නේ. අම්මා මගේ පස්‌සෙන් ඉන්න හින්දා කවදාවත් මට නරක නාමයක් අහන්න සිද්ධවෙලා නැහැ.
*ආදරයේ විරහව කියන දේ දැනෙන්නේ මොන විදිහටද?
මට වඩා ඔයාටනේ අක්‌කේ ඒක දැනෙන්නේ. මම නම් කාවවත් ඒ තරම් ළඟින් ඇසුරු කරලා නැහැ. අනික බොරුව මට පෙන්වන්න බැහැ. බොරු කරනවාටත් කැමැති නැහැ. බොරුවක් කළොත් මට එපාවෙනවා.
*වැඩ සීයක් විතර එකපාර ආවත් භාරගන්නේ ඇයි ?
අයියෝ අක්‌කට පිස්‌සු හැදිලාද?. මම එහෙම වැඩභාරගන්න කෙනෙක් නෙමෙයි. මමත් කැමැතියි ඔයා වගේ ගෙදර ඉන්න. විවේකයක් නැතිවුණහම එපා වෙනවා. ඔයා දන්නවාද මේ අවුරුද්දට මම භාරගත්තේ නිර්මාණ දෙකයි. ඔය කතාව අදාළ වෙන්නේ මීට අවුරුදු දෙකකට කලින්.
*නිදහසට කැමැති නැතිද?. තමන්ට කියලා කාලයක් වෙන්කරගන්න ආසාවක් නැතිද?
මම දවස් තිහම වැඩකරන්න වුණත් කැමැතියි. අනික යුරේනි අක්‌කේ ඔයාට වගේ මගේ ජීවිතයට හොඳ යාළුවෝ නැහැනේ. ඔයාට නම් නිදහස තියෙනවා. මට එහෙම නිදහසක් නැහැ. අපේ අම්මා පිටිපස්‌සෙන්මයි. හැබැයි අපේ අම්මා පිටිපස්‌සෙන් ඉන්න හින්දා මට වචනයක් අහන්න සිද්ධවෙලා නැහැ.
*ජීවිතයේ හොඳම යාළුවා කවුද?
දැනට නම් මගේ අම්මා තමයි. ඊට වඩා හොඳ යාළුවෙක් තවම හමුවෙලා නැහැ.
*ගැමි චරිතවලින් මිදිලා බටහිර පන්නයට අඳින පළඳින චරිතයක් කරන්න ආසාවක් නැතිද? එකම චරිතයකට කොටුවෙන්නද හදන්නේ ?
වෙනස් වෙන්න කාලේ හරි කියලා හිතනවා, හැබැයි ගොඩක් ප්‍රේක්‍ෂකයෝ කැමැති මම මේ විදිහට ඉන්නවාට තමයි. අනික මම ගැමි චරිත විතරත් නෙමෙයි අක්‌කේ බටහිර පන්නයට අඳින පළඳින චරිත කළානේ. වෙස්‌ටන් කියන්නේ චූටි ගවුමක් ඇඳගෙන තරුණයන්ගේ අවධානය ගන්න හදන එක නෙමෙයි. වෙස්‌ටන් කියලා කොටට අඳින්නමයි කියලා නිමයක් නැහැනේ අක්‌කේ. අනික මම කැමැති නැහැ මාව අපහසුතාවයට පත්වෙන විදිහේ ඇඳුම් අඳින්න.
දිනේෂ් විතාන