Sunday, August 3, 2014

මම පේමන්ට් කඩවලිනුත් බඩු ගන්නවා - රොසෑන් ඩයස්

http://www.rivira.lk/online/images/2014/08/03/rozanne%20diasz%201.jpg“රොසෑන් ඩයස්” නිරූපණ ක්ෂේත්‍රයේ නම දිනූ සුරූපිණියක්. විලාසිතා ලෝකයේ ඉසිඹු ලද මොහොතක ඇය ‘රිවිසරසි’ය සමග කතාබහකට එකතු වුණා.
රොසෑන් ඩයස් සාමාන්‍ය ජීවිතයේ නිරූපිකාවක්ද?
අ‍පෝ නැහැ මම හරිම සරල කෙනෙක්.

මේ දවස්වල තරමක් කාර්ය බහුලයිලු නේද?
ඔව් ‘රන්වේ ශ්‍රී ලංකා’ කියලා විලාසිතා දැක්මකට ලෑස්ති වෙනවා. බිරළු, හෑන්ඩ්ලූම්, බතික්වලින් කරන විලාසිතා දැක්මක්.

නිරූපිකාවකගේ ජීවිතය ටිකක් වෙනස් රිද්මයක්. ඔබ ශරීරය නිරෝගීව තියාගන්න මොනවද කරන්නේ?
දවසකට වතුර වීදුරු 6ක් බොනවා. මම ටිකක් මහත්වෙලා කියලා හැමෝම කියන නිසා ඒ ගැන උනන්දු වෙනවා. කෘත්‍රිම කෑම කන්නේ ඉතාම අඩුවෙන්.

සාමාන්‍යයෙන් බස්වල ගමන් බිමන් යනවද?
නැහැ. වසර ගණනකින් බස්වල ගිහින් නැහැ.

මෙකක්ද පාවිච්චි කරන වාහනේ?
KIA Sportage

සාමාන්‍ය ගමනේදී අව් කණ්ණාඩි පාවිච්චි කරනවද?
මම සාමාන්‍යයෙන් අව් කණ්ණාඩි පාවිච්චි කරන්න කැමති නැහැ. මොකද අව් කණ්ණාඩිවලින් ගොඩක් දේවල් වහගන්න පුළුවන් කියලා මම හිතන නිසා. නමුත් අත්‍යවශම වුණොත් මම අව් කණ්ණාඩි පාවිච්චි කරනවා.

මුහුණේ පැහැපත් බව රැකගන්නේ කොහොමද?
මම ෆේෂල් ගොඩක් කරන්නේ නෑ. සාමාන්‍යයෙන් රාත්‍රී ක්‍රීම්, දවල්ට ක්‍රීම් පාවිච්චි කරනවා. මට ගෙදරදී කරගන්න පුළුවන් සත්කාර ගෙදරදී කරගන්නවා. මං ලස්සනට ඉන්න එපැයි.

උස කීයද?
අඩි පහයි අඟල් හතහමාරක්.

රොසෑන් කැමතිම ඇඳුම මොකක්ද?
ඩෙනිම් කලිසමයි. බ්ලවුස් එකයි.

දුව ලැබුනට පස්සේ ටෙලි නාට්‍යවලින් ඉවත් වුණා නේද?
ඔව්. ඊට පස්සෙ දායක වුණේම නැහැ. වෙලාව පිළිබඳ ගැටලුවක් නිසා. මේ ළඟදිත් ආරාධනා ලැබුණා. ඒත් සම්බන්ධ වෙනවද කියලා හිතල නැහැ.

සුපිරි ජීවිතයක් ගෙවන්න ඔය තරම් ආදායම් ලබන්නේ කොහොමද?
මගේ සඟරාව වගේම මගේ මෝස්තර නිරූපණ පාසලෙන් මට ආදායම් ලැබෙනවා.

සාප්පු සවාරිවලට කොච්චර වියදම් කරනවද?
මම එහෙම ලොකුවට සාප්පු සවාරි යන කෙනෙක් ‍නෙවෙයි. අවශ්‍ය දෙයක් තිබුණොත් විතරයි යන්නේ. විශේෂ බ්‍රෑන්ඩඩ් ඇඳුම්, සාප්පු කියලා තේරීමක් නැහැ. මම පේමන්ට් කඩවලින් පවා බඩු ගන්න වෙලාවල් තියෙනවා. නාස්ති කරන්න මුදල් මගෙ ළඟ නැහැ.

විනෝදය ගතකරන්න යන්නෙ කොහෙටද?
මම දැන් යන්නේ දරුවො කැමති තැන්වලට, මුහුදු වෙරළට, නාන තටාකයකට හෝ දරුවන්ට සෙල්ලම් කරන්න පුළුවන් තැන්වලට යනවා.

සංචාරයට හෝ පදිංචියට යාමට කැමතිම රට මොකක්ද?
මම ජපානයට කැමතියි. තාක්ෂණය අතින් හරිම දියුණු රටක්. හරි නිදහස් රටක්. ඒ වගේම විලාසිතාවන්ට හරි ඉහළ වටිනාකමක් දෙන රටක් ජපානය.  පැරීසියටත් වඩා විලාසිතාවලට මුල් තැන දෙන රටක්. නිදහසේ ඕනෑම විදිහකට ඇඳුම් අඳින්න පුළුවන් රටක්.

ඕනැම විදිහකට අඳින්න පුළුවන් නිසාද ජපානයට විශේෂත්වයක්?
නැහැ. මම කියන්නේ ශරීරය පෙනෙන්නට අඳිනවා කියන එක නොවෙයි. විලාසිතාවලට ඒ රටේ ඉහළ තැනක් ලැබෙනවා කියන එකයි.

ජපානයට පදිංචියටම යන්න යාවිද?
බැරිවෙයි. ආස වුණත් එය අමාරුයි. මොකද එහේ භාෂාව ඉගෙන ගන්න අමාරුයි. එහෙ හැම දේම කෙරෙන්නේ ජපන් භාෂාවෙන්. ඉංග්‍රීසි භාවිතය ඉතාම අවමයි. ඒ නිසා ජපානයේ පදිංචියට යන එක විශ්වාස නැහැ.

රොසෑන් තීරණ ගන්නෙ මහත්තයාගෙන්වත් අහන්නෙ නැතුවලු කියන කථාව ඇත්තක්ද?
අපි දෙන්න ක්ෂේත්‍ර 2ක. මගේ ක්ෂේත්‍රය ගැන එයාට අවබෝධයක් නැහැ. එයාගේ ව්‍යාපාර ක්ෂේත්‍රය ගැන මටත් එහෙමයි. ඒ නිසා වෘත්තීය මට්ටමේදී මට ඕන තීරණය මම තනිවම ගන්නවා.

තනි තීරණ වැරදිලා නැද්ද?
නැහැ. තනි තීරණ යම් තැනකදී වැරදුණා වුණත්, සිතුවිලි යහපත් නම් ප්‍රතිඵලය යහපත් කියලා. මං විශ්වාස කරනවා.
සේනානි හීන්පැල්ල

http://www.rivira.lk/online/images/2014/08/03/rozanne%20diasz%204.jpg
http://www.rivira.lk/online/images/2014/08/03/rozanne%20diasz%202.jpg
http://www.rivira.lk/online/images/2014/08/03/rozanne%20diasz%203.jpg