ලංකාවේ විවාහ වන තරුණ තරුණියන්ගෙන් සියයට 15ක් අවුරුදු 2ක් ඇතුළත දික්කසාද වන බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මේ සියයට ගණන නීත්‍යනුකූලව වෙන් වුවත් උසාවි නොගොස් දෙපැත්තට වන පිරිස ඊට වැඩි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. අද වනවිට තරුණ තරුණියන් විවාහ වන්නේ හිතුමතේට ය. ඔවුන්ගේ රුචි අරුචිකම් අහසට පොළොව වගේ ය. අප මේ කියන්නට සැරසෙන්නේ ද එවන් සිදුවීම් පෙළක් ගැනය.
කොළඹට ආසන්න නගරයක හතළිස් හැවිරිදි විය ඉක්මවූ යුවළකට දරුවන් තිදෙනෙක් ද සිටි අතර, හිටි හැටියේ සැමියාගේ වෙනසක් බිරියට දැනිණි. "මොකද කවදාවත් නැතුව ඔයා වෙනස් වෙලා.." බිරිය ප්‍රශ්න කළා ය. "නැහැ එහෙම එකක් නෑ...." "නැත්තෙ මොකද? ඔයා මගේ නංගිලගේ ගේ පැත්තේ යනවා කියල මට ආරංචියි..." බිරියගේ නැඟණිය ඒ වනවිට නිවසේ සිටියේ ද විවාහය දික්කසාදයකින් කෙළවර කරගෙන ය.
දිනක් බිරිය හදිසියේම නැඟෙණියගේ නිවෙසට ගියා ය. ඒ වනවිට සිය සැමියාගේ මෝටර් බයිසිකලය නැඟෙණියගේ නිවෙසේ මිදුලේ නවතා තිබෙනු ඇය දුටුවා ය. ඇය කිසිවෙක්ට නොදැනෙන ලෙස හිමින් සීරුවේ නැඟණියගේ නිවෙසට ගිය ඇය වට පිට බැලුවා ය. කිසිවකු පෙනෙන්නට නැත. ඇය කාමරයකට එබී බැලුවා ය. ඒ වනවිටත් තම සැමියා සිටියේ කාමරයේ තිබු ඇඳකට වී තමන්ගේම නැඟණිය තුරුලු කරගෙන සිටියා ය.
"මේකයි ඔහේගෙ වෙනස...." ඔවුන් දෙදෙනාගේ එකට සිටින අයුරු ඉවසුම් නොගිය තැන ඇය මහ හයියෙන් කෑගැසුවා ය. නැඟණියයි සැමියායි දෙදෙනාම කලබල වී නැඟී සිටියහ.
"අනේ අක්කේ මට සමාවෙන්න මේ අයියගේ වදේටයි මම මේ තීරණය ගත්තේ....."
"ඔව් ඉතින් මගේ ළමයි අනාථ වුණාට කමක් නෑනේ...."
දැන් අර සැමියා බිරියගේ නැඟණිය සමඟ දීග කයි. බිරිය අමාරුවෙන් දරු දෙදෙනා නඩත්තු කරයි.
මේ එවැනිම වූ තවත් දිදුවීමකි. රත්නපුර පැත්තෙ අලුත විවාහ වූ යුවළක් සිටී. බිරිය ඉතා රූමත් තැනැත්තියක වන අතර, ඇය සංගීත සංදර්ශනවලට සහභාගි වීමට ද ඉමහත් රුචියක් දක්වන තරුණියකි.
"දැන් අපි විවාහකයි. ඔයා දැන් ඔය සංගීතෙ අඩුකළොත් හොඳයි...." සැමියා ඇයට කීවේය.
"සංගීතෙට මං පුංචි කාලෙ ඉඳලම ආසයි... මගේ ආශාවලට ඔයා ඉඩ දෙන්න ඕනෑ....."
ඊටත් පසු බිරිය සංගීතකාරයකු සමඟ සම්බන්ධ බව විවාහයෙන් ටික කලක් ගතවන්නටත් මත්තෙන් සැමියාට දැන ගන්නට ලැබිණි.
"ඔයා අර සංගීතකාරයත් එක්ක යන්න... මදෑ සංගීතෙ කළා...." සැමියා කීවේ ය.
"ඔව් ඔයා වගේ මනුස්සයකුට වැඩිය සංගීත කාරයෝ සංවේදී මිනිස්සු..." වැඩි දිනක් ගියේ නැත. අර බිරිය සංගීතකාරයො සමඟ පැන ගියා ය. එහෙත් පුදුමයට කරුණ නම් නැගෙණියට වූ බිරිඳට යන්නට හැර ඇගේම අක්කා සමඟින් පවුල් කන්නට පටන් ගැනීමයි.
සැබවින්ම විවාහ ජීවිතය හරිහැටි ගත නොකළහොත් සිදුවන්නේ මහත් විනාශයකි. කළුතර පැත්තේ විවාහක යුවළක් විවාහ වූ මුල් කාලයේ ඉඳන්ම සතුටින් පවුල් කෑවත් මේ බිරියට දරුවන් ලැබුණේ නැහැ... මේ ගැන සැමියා සිටියේ සිත් වේදනාවෙන්. ඒ නිසා ඔවුන් දෙන්නා අතරත් ගැටුම් ඇතිවෙන්න පටන් ගත්තා.
"දරුවෝ නැති එකට ඔයා මට විතරක් දොස් නඟන්න එපා... අපේ පවුලේ කවුරුවත් වඳ නෑ.... ඔයා ගැන ටිකක් සෝදිසි කර බැලුවොත් නේද..." හොඳ බිරිය කීවා ය.
"නෑ... නෑ... අපේ පවුලෙ වඳ පුරුෂයෝ නෑ.... කාටත් දරුවෝ හිටියා..."
"නැත්නම් ඉතින් ඒ දරුවෝ වෙනකාගෙ හරි වෙන්න ඇති...."
බිරියගේ ඒ කතාවට සැමියාට තරහ ගියේ ය. ඔහු ඇයට හොඳට පහර දුන්නේ ය. ඊට පසු දෙදෙනා අතර කිසිම සමගියක් නැත. දෙන්නා දෙපසකට වී සිටියහ. සැමියාට මෙය මහ වධයකි. ඔහු මිතුරන් කිහිප දෙනකුගෙන් මීට පිහිටක් පැතීය.
"මචං මං දන්න කෙනෙක් ඉන්නවා මිනිහ එන්.ජී.ඕ. කාරයෙක්. අඹුසැමි දබර නියමෙට විසඳල දෙනවා" මිතුරෙක් කීය.
"අනේ මචං මට එයා මීට් කරල දීපන්" ඒ අනුව දෙන්න අර එන්.ජී.ඕ.කාරයා සොයා ගියහ.
"ඔය වගේ ප්‍රශ්න විසඳන එක මට සිම්පල් හැබැයි වැඩේ හරි ගියාට පස්සෙ මට රුපියල් පනස්දාහක් ඕනෑ...."
"වැඩේ හරි ගියාම. ලක්ෂයක් වුණත් දෙන්න බැරියැ...." ඒ අනුව එන්.ජී.ඕ.කාරයා අර සැමියාගේ නිවෙසට ගියේය.
"මම සතියකට දින 2ක් එනවා මාසෙකින් ප්රශ්නය විසඳනවා...." ඔහු කීය. අර සැමියා ඔහුට රුපියල් 25,000ක් ඒ වෙලේම දුන්නේ ය.
සතියක් දෙකක් ගත විය. බිරිය දැන් තමන්ට ප්‍රිය මනාප ය.
"අනේ අර අයිය හරි හොඳයි.... මගේ අයිය කෙනෙක් වගේ විවාහ ජීවිතය ගැන කියල දෙනවා..." බිරියගේ වචනවලින් සැමියා තෘප්තිමත් විය.
"තව වැඩේට කොච්චර කලක් යයිද...?" සැමියා එන්.ජී.ඕ. කාරයාගෙන් විමසී ය.
"තව සතියකින් වැඩේ හරි.... වයිෆ් ඔයාට කලින්ටත් වඩා හොඳින් ආදරය කරනවා...." සැමියාට රාජකාරි වැඩකට පිට පළාතකට යෑමට සිදුවිය.
"මට සුමානෙකට පිට පළාතකට යන්න වෙනවා.... ඔයා අපේ ගෙදරට එන එක නවත්වන්න එපා...." ඔහු එන්.ජී.ඕ. කාරයාට කියා රාජකාරි සඳහා ගියේ ය.
සතියකින් ඔහු යළි පැමිණියේ ය. ගෙදර දොර ද වසා ඇත. බිරිය පේන තෙක් මානයක නැත. ඔහු තමා ළඟ තිබුණු යතුරෙන් දොර විවෘත කර ගෙදරට ගියේ ය. මේසය මත ලිපියක් තිබිණි.
"හිතවත් සේන,
ඔයා නම් දෙවි කෙනෙක්. මම සිටියේ ලොකු හිතේ අමාරුවකින්.... මට ගැළපෙන අයකු සොයා දීම ගැන ඔයාට පින්.... මම එයත් එක්ක යනවා. ඔයා සුදුසු කෙනෙක් සොයා ගන්න..." යනුවෙන් එහි ලියා තිබිණි.
සැමියාට කරන්නට කිසිදු දෙයක් ඉතිරි වී නොතිබුණි. බිරිඳට එන්.ජී.ඕ. කාරයාව මුණ ගැස්සවිමේ පටන් අවසානය තෙක් සියළුම දෙ සිදුකළේ තමන් නිසා. බිරිඳගේ වෙන් වීම නිහඬවම විඳදරා ගන්නට ඔහුට සිදුවුණි.