"එදා එයා කියපු දේ ඇහුවට පස්සේ මට ආපහු ගෙදර යන්න හිතුනෙ නෑ...."
නිසංසලා මේ ලෝකෙට බිහි වුණේ පියා අහිමි දරුවෙක් විදිහට. ඒකට හේතුව නිසංසලා ඇගේ මවට ලැබෙන්නට සිටියදී ඇගේ පියා මෙලොවින් වෙන්වී යාමයි. ඉන් මාස කිහිපයකට පසුව මෙලොව එළිය දුටු නිසංසලා අවුරුදු පහක් විතර වෙනකල් අම්මා ළඟ හැදී වැඩුණා. නමුත් අම්මා දෙවන විවාහයක් කර ගත්තට පස්සෙ නිසංසලාගේ භාරකාරත්වය පැවරුණේ ආච්චිට. ඊට පස්සේ ඉතින් නිසංසලා හැදුනෙ ආච්චි ළඟ.
අම්මා, නිසංසලා බලන්න සතියකට දෙකකට වතාවක් ඇවිත් ගියත් ඇය තමා ළඟ නතර නොවීම නිසා නිසංසලා හිටියේ තරහෙන්. ඒ අනුව ඇගේ සිතේ තමන්ගේ මව පිළිබඳ කිසිදු ආදරයක් ඇති නොවූ අතර ඇය තම මව වශයෙන් සැලකුවේ ආච්චිවයි. නිසංසලා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ඒ හැටි කලක් නෑ ආච්චි අසනීප වෙනකොට. ආච්චි රෝහලේ නතර කරලා ඉඳිද්දි දවල් රෑ තනියට හිටියේ නිසංසලා.
සති දෙකක් පමණ රෝහලේ නතර වී ප්‍රතිකාර ලැබුවත් අවසානයේ ආච්චි මියගියා. එයින් නිසංසලා පුදුමාකාර කම්පනයකට ලක් වුණා. ආච්චිගේ අවමංගල්‍යයට සහභාගි වුණු කාවින්ද ඇයට තමාගේ දුරකථන අංකය දී ඕනෑම අවස්ථාවක උදව්වක් අවශ්‍ය නම් කතා කරන්න කියලා නිසංසලාට කිව්වේ ලොකු අනුකම්පාවකින්.
අවමංගල්‍යය අවසාන වුණාට පස්සේ නිසංසලාගේ අම්මා නිසංසලාව එක්ක යන්න උත්සාහ කළත් අම්මා ළඟට යන්න නිසංසලා කැමති වුණේ නෑ.... දවසක් දෙකක් අසල්වැසි ගෙදරක නතර වී සිටි නිසංසලා කාවින්දට දුරකථන ඇමතුමක් දුන්නා. තමන්ට පිහිටක් ඉල්ලන්න සිටි විශ්වාසවන්තම පුද්ගලයා ලෙස ඔහු ගැන විශ්වාස කරගෙන සිටි නිසයි.
කාවින්දට නිසංසලාව තමන්ගේ ගෙදරට එක්කගෙන යන්න හැකියාවක් තිබුණේ නෑ.... ඒ නිසාම ඔහු ඇයට බෝඩිමක් සොයා දී එහි නතර කළා. ජීවත් වෙන්න ආදායමක් නොතිබුණු හින්දා අතට සල්ලිත් දුන්නා. මෙහෙම මාස දෙක තුනක් ගත වුණා. ඒත් ඒ විදිහට පිනට ජීවත් වෙන්න නිසංසලා කැමති වුණේ නෑ.... අන්තිමේ කාවින්දගේ ගෙදර මෙහෙකාරියක් විදිහට හරි එක්ක යන්න කියලා නිසංසලා කාවින්දට බල කළේ තමාට ජීවත් වෙන්න කිසිදු ආදායම් මාර්ගයක් නොතිබුණ හින්දයි.
ඒ අනුව කාවින්දගේ අම්මාත් නිසංසලාව තමන්ගේ ගෙදර තියා ගන්න කැමති වුණේ රෝහල් වාට්ටුවේ සිටිය දී ඇය හොඳින් හඳුනාගෙන සිටි නිසයි. ජීවිතේ කිසිම දවසක පිරිමියකුට ආදරය කර නොතිබුණු නිසංසලා කාවින්දට තම සිතින් ගොඩක් ආදරය කළා.
ඒත් ඒක ඔහු හිමි කර ගැනීමේ චේතනාවකින් කළ ආදරයක් නොවේ... ඔහුගේ නිවසේ වැඩ ඔහුගේ මවගේ වැඩ, කාවින්දගේ වැඩ මේ හැම දෙයක්ම ලොකු ගෞරවයකින් භක්තියකින් ඇය කළේ ඒ ආදරය නිසයි. කාවින්දගේ තාත්තා හිටියේ පිටරටක. ඒ නිසා ඒ නිවසේ හිටියේ කාවින්දත් ඔහුගේ මවත් පමණයි. ඔහුට සිටි එකම සොහොයුරාත් පියා සමග ඒ රටේම රැකියාවක් කළා.
කාවින්ද කවදාවත් නිසංසලා දිහා වැරදි ඇසකින් බැලුවෙවත් නෑ.... ඔහු නිසංසලාට උපකාර කළේ අවංකවමයි. ඔහු වැනි තරුණයෙකුට හිමි වන බිරිඳ මොන තරම් වාසනාවන්ත විය හැකි දැයි නිසංසලා හැම විටම කල්පනා කළා.
“මහත්තයා බැඳපු දවසකදිවත් මාව මේ ගෙදරින් යවන්න එපා.... මැරෙන කල් මහත්තයලා ගාව වැටිලා බැලමෙහෙවරකම් කරන්නයි මට ඕනෙ.....” කියලා නිසංසලා කාවින්දට කිව්වේ වරක් දෙවරක් නොවේ. ඒ හැම විටම කාවින්ද හිනාවෙලා නිහඬ වුණා මිසක් කිසිම පිළිතුරක් දුන්නේ නෑ....
“අනේ කාවින්ද මහත්තයා දැන්වත් මට කියන්න මොකක්ද මේ අසනීපේ....?” යනුවෙන් විමසමින් නිසංසලා හඬා වැටුණා.
එදා තමයි ඇය දැන ගත්තෙ කාවින්ද සෑහෙන කලක ඉඳලා පිළිකා රෝගයකින් පෙළෙන බව. කලින් ඔහු රෝගී වෙලා හිඳ පසුව සුවය ලබා තිබුණත්, යළිත් එම රෝගය ඉස්මතු වෙලා.
“කාවින්ද මහත්තයා, අනේ මට මගෙ පණ හරි මහත්තයට දෙන්න පුළුවන් මහත්තයාගේ ජීවිතේ රැකෙනව නම්....” නිසංසලා කාවින්ද ඉදිරියේ හඬා වැටුණා.
“මං දන්නවා නිසංසලා. මම රෝගියෙක් නොවුණ නම් මං ඔයාව කසාද බැඳලා මගේ පණ වගේ ඔයාව රැක ගන්නවා.... ඒත් ඉතින් මේ ආත්මේදී මට ඒක කරන්න බැරි වෙයි....”
එදා අන්තිමට කාවින්ද හමුවුණු වෙලාවේ ඔහු එලෙස පැවසුවා. මේ වචන ටික ඔහු කිව්වෙ එදින දවල් ඇය ඔහු බලන්න ගියාම. එදා නිසංසලාට ආපහු ගෙදර යන්න හිතුනෙ නෑ.... ඇය රෝහලේ ඉදිරිපස බංකුවක වාඩි වෙලා හවස පහ වෙනකල් බලා හිටියේ ආයෙමත් වතාවක් ඔහු දකින්න යන්න. ඒත් නිසංසලා කාවින්දව දකින්න යන විටත් ඔහු මෙලොව හැරගොස් තිබුණා.
හරිම අවාසනාවන්ත විදියට මහරගම පිළිකා රෝහලේ දී තවත් ආදර කාතාවක් අවසන් වුණා. කාවින්ද ජීවිතය දාලා ගියත් ඔහුගේ අඩුව යම් තාක් දුරට හරි පුරවමින් නිසංසලා කාවින්ද මව බලාකියාගන්නදිගටම කාවින්ගේගෙදරනතරවුණා.
-Indu Perera-