අර්ජුන් ඔබ ජීවිතය සම්බන්ධ අකැමැතිම කාරණය මොකක්ද?
නිකං බලාගෙන ඉඳීම. ජොබ්ලස් මිනිහෙක් වෙලා දවස ගෙවනවාට තමයි මං වැඩිපුරම අකැමැති.
දවසේ ඔබ වැඩිපුරම කැමැති කටයුත්ත මොකක්ද?
ජිම් යන එක. ෂූටින් ඉවර වෙන්නේ කීයටද, නොවැරදීම ඊළඟට මං ජිම් එකේ.
ඊට අමතරව ඔබේ විනෝදාංශ මොනවාද?
නිදාගැනීම. මගේ කාමරේ ඇඳ තමයි මං මේ ලෝකයේ වැඩිපුරම කැමැති තැන. රූපවාහිනිය බලන්න, කෑම කන්න, ඩී.වී.ඩී. පටි බලන්න, යාළුවන්ට කෝල් ගන්න හැමදේම සිද්ධ වෙන්නේ මගේ ඇඳ උඩ තමයි.
‘තනිකම’ කියන එකට ඔබේ නිර්වචනය මොකක්ද?
ඒක හරියට හදවත සිදුරු වෙනවා වගේ හැඟීමක්. ඒ සිදුර නිසා මුකුත් හිතන්න පතන්න බැරිවෙනවා.
එහෙම තනිකමක් ජීවිතේ කවදාහරි දැනිලා තියෙනවාද?
ඔව්. මගේ අම්මා මෝනා කපූර් මියගිය වෙලාවේ මට මහා තනිකමක් දැනුණා.
ජීවිතේ නරකම දවස්වලදී ඔබට සතුට ගේන්නේ මොනවාද?
කෑම සහ යාළුවෝ.
ආදරේ තේරුම මොකක්ද?
සතුට, මිතුරු බව, ගැළපීම, සතුටින් ඉන්න හැමෝම හිත පුරා ආදරය ලබන අය කියලා මං බය නැතුව කියනවා.
පෙම්වතියකගෙන් බලාපොරොත්තු වන වටිනාම දේ මොකක්ද?
මගේ රැකියාව එක්ක මගේ හිත ඇතුළේ තියෙන පීඩනය හොඳට තේරුම් ගනීවි කියන කාරණාවයි.
නළුවෙකුට ඔය තරම් තියෙන පීඩනය මොකක්ද?
ගෑනු ළමයා ගැන හොයන්න ඕන නිසා මම ලොකේෂන් එකට මිනිත්තු 10ක් පරක්කු වෙනවයි කියලා නිෂ්පාදකට කෝල් එකක් දීලා කියන්න මට පුළුවන්කමක් නැහැ. නළුවෙක් විදිහට මගේ කාර්යබහුලත්වය තේරුම් ගන්න එයාට පුළුවන් වෙන්න ඕන.
දීපිකා පදුකෝන්, ප්රියංකා චොප්රා, අනුෂ්කා ශර්මා මේ තුන්දෙනාගෙන් වැඩිපුර කැමැති කාටද?
දීපිකාට. අවුරුදු හත අටකට කලින් දීපිකා රන්බිර්ට වහ වැටිලා හිටපු මුල්ම දවස්වලයි අපි යාළුවෝ වුණේ. මේ තුන්දෙනාගෙන් එයා තමයි මගේ පරණම යාළුවා.
පිරිමින්ගේ අකැමැතිම ගතිගුණය මොකක්ද?
පිරිමින්ට ආදරයට වඩා ලිංගික ජීවිතය වැදගත්. ඒකට මං කැමැති නැහැ.
හිතට අවංකව කිව්වොත් තමන්ගේ දුසිරිත් මොනවාද කියලා?
මම සිගරැට් බොනවා. මට ඒක නවත්තගන්න ඕන. ඒක මහ හානියක්. ඒත් මං මත්පැන් නම් බොන්නේ නැහැ.
යාළුවෝ අර්ජුන්ව හඳුන්වන්නේ කොහොමද?
බිසී කොල්ලා කියලා කියනවා. කුකුල් කේන්තිකාරයා කියලත් විහිළු කරනවා.
රොෂාන් අහංගම