හපන් පැදුර හරහා ඔබ හඳුනාගත් ඇය අද බොහෝම රූමත්, උගත් තරුණියක්. තරමක නිහැ¾ඩියාවකින් පසුව ඇය නැවතත් පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් ඔබට සමීප වෙන්න සූදානම් වෙනවා. ඇය මාධවී වත්සලා ඇන්තනී.
මාධවීගේ ජීවිතේ පුංචි වෙනසක් වෙලා නේද?
ඔව්. ටිකක් කාලෙකට පස්සේ මං රංගනයට සම්බන්ධ වුණා. ඒ 'ඇඩ්රස් නෑ' චිත්‍රපටයට. ඒ වගේම 'දස්කොන්' කියන ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා. මං පුංචි කාලේ ආනන්ද අබේනායක මහතාගේ නාට්‍යයකට සම්බන්ධ වුණාට පස්සේ රඟපාලම නැහැ. ඉතින් මේක මට වෙනස්ම අත්දැකීමක්.
ඒත් මේ ක්ෂේත්‍රය මාධවීට අලුත් දෙයක් නෙවෙයි?
පාසලේදී නාට්‍යවල රඟපාලා තියෙනවා. නමුත් වේදිකාවට වඩා කැමරාවක් ඉදිරියේ රඟපාන එක හරිම වෙනස්. කණ්ඩායමක් එක්ක රඟපාන්න ඕන. ඒක හොඳ අත්දැකීමක්. මට මගේ හැකියාවේ තවත් එක් පැත්තක් හඳුනාගන්න ලැබුණා.
කොහොමද එතකොට අධ්‍යාපන වැඩකටයුතු?
මම උපාධිය හැදෑරුවේ කැලණිය විශ්ව විද්‍යාලයෙන්. පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය පළමු පෙළ සාමාර්ථයක් සමග සමත් වුණා. දැන් පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් හදාරනවා.
රංගනය ගැන ගෙදරින් නීති තහංචි නැද්ද?
අම්මවත්, අප්පච්චිවත් අපිට කවදාවත් බලපෑම් කරන්නේ නැහැ. අප්පච්චි ඇහුවා 'ඇඩ්රස් නෑ' චිත්‍රපටයට රඟපාන්න කැමැතිද කියලා. මේක ටිකක් දඩබ්බර චරිතයක්. අප්පච්චිට ඕන වුණේ තරමක් කාර්යක්ෂ්ම චරිතයක්. ඉතින් මම කැමැති වුණා. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ ශේෂාද්‍රි ප්‍රියසාද්. එයාගේ යෙහෙළියගේ චරිතය තමයි මට කරන්න තිබෙන්නේ.
එතකොට ගායන ක්ෂේත්‍රය මග ඇරෙයිද?
නෑ. ගීත දෙකක් කරලා තියෙනවා. ඉදිරියේදී ඒවා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම රඟපෑමෙන් දායක වුණු 'දස්කොන්' ටෙලි නාට්‍යයේ මට ලැබුණු චරිතය මොනරවිල පුංචි කුමාරිහාමිගේ යෙහෙළියක්. ඒ චරිතය නිතරම කවි කියනවා. ඒ තුළිනුත් මට මගේ ගායන හැකියාව පෙන්වන්න ලැබුණා.
රංගනයෙන්, ගායනයෙන් මිදුණු මාධවීගේ ජීවිතේ ගවෛන්නේ කොහොමද?
රාජකාරි කටයුතු එක්ක තමයි කාලය ගවෛන්නේ. වෙලාවකට පැය 24ත් මදි. ජීවිතේ ගලාගෙන යනවා. ජීවිතවලට හැලහැප්පීම් එනවා. අප්පච්චි නම් කියන්නේ ගඟක් වුණත් ගල්වල හැපිලා බාධා මැදින් යනකොටයි ලස්සන කියලා. ඉතින් ජීවිතේ ගලාගෙන යනවා. කණස්සල්ල, කනගාටුව, හිත් රිදීම් වැඩකටයුතුත් එක්ක දැනෙන්නේ නැහැ. අනික වැඩ කරනකොට ජීවිතේ වටිනාකම දැනෙනවා.
ආදරය, විවාහය ගැන මාධවීට දැන් මොකද හිතෙන්නේ?
ආදරය කියන්නේ කැඩපතක්. මට කෙනෙක් ගැන දැනෙනවා නම් ඒ කෙනාටත් මං ගැන එහෙමම දැනෙන්න ඕන. ඒක තමයි ආදරේ. ඒ දේවල් කියලා බලෙන් කරවලා වැඩක් නැහැ. එකිනෙකා ගැන හොයලා බලන්න ඕන. මම ආදරේ වර්ග දකින්නේ නැහැ. ආදරේ හැමදේම එකයි. මම නොවෙන තවත් කෙනෙක් ගැන හිතෙන හැඟීමක්. ඒක නැතිවුණාම තමයි වටිනාකම ගොඩක් දැනෙන්නේ. ජීවිතේ වටිනාකම් සුළුවෙන් තකන්න බැහැ. නමුත් මං කවදාවත් කාවවත් විවේචනය කරන්නේ නැහැ.
මාධවී ජීවිතේ කලකිරීමකින්ද කතා කරන්නේ?
පසුතැවීමක් නැහැ. මමත් ජීවිතේ වැරදි කරපු, වැරදි තීරණ ගත්ත අවස්ථා තිබුණා. නමුත් ජීවිතේ හිතන්නෙවත් නැති ඒවා වෙනකොට අපි ඒවාට මුහුණ දෙන්න ශක්තිමත් වෙන්න ඕන. නමුත් මං ජීවිතේ පසුතැවෙන තැනක් තමයි අපි මිනිසුන්ගේ අසරණකම්වලට හිනාවෙනවා. අපි හිතනවා ඒ අය වැරදි කරනවා කියලා. ඒත් ගොඩක් අය වැරදි කරන්නේ නැහැ. ඒක ඒ අයගේ අසරණකම. නමුත් නොබෝ දිනකින් ඒවා අපටත් පලදෙනවා. කෙනෙක් එක්ක ජීවත් වෙන්නේ නැතුව කවදාවත් අපට විනිශ්චයක් දෙන්න බැහැ. ළදබොලඳකම් නිසා වැරදි කරන්න ඇති. ඒත් ඉදිරියේදී සාර්ථකව සාධාරණව ජීවිතේට මුහුණ දෙනවා. බලාපොරොත්තු වුණු හැමදේම ජීවිතේ මට ලැබුණේ නැහැ.
මල්ලිලා දෙන්නත් එක්ක මාධවී ඉන්නෙ යාළුවෝ වගේ නේද?
ඔව්. අපි හැම වෙලේම එකට මුණ ගැහුණේ නැතත් අපි පුළුවන් හැම විදිහටම අපේ දේවල් බෙදාගන්නවා. අපි උපරිම කාර්යබහුලයි. ඒත් අක්කා විදිහට මට වගකීමක් තියෙනවා. පවුලේ ආදරේ මට උපරිමව ලැබෙනවා. ඒ ආදරේ උතුරන්නට ලැබෙනවා. දැන් අප්පච්චි ගෙදර නැති වෙලාවට ලොකු මල්ලී තමයි අප්පච්චි වගේ හැමදේම කරන්නේ.
ඉදිරියේදිත් ලැබෙන නිර්මාණවලට දිගටම දායක වෙනවාද?
ආරාධනා ලැබුණොත් ඒවා ගැළපෙනවා නම් දෙමව්පියන්ගේ අවසරය අරගෙන සහභාගි වෙනවා.
ජනප්‍රිය පුද්ගලයන් ගැන මිනිස්සු මෙතරම් උනන්දු ඇයි?
මම ඉපදුණේම කලාව එක්ක. කලාකරුවෙක්ට ජනප්‍රියකම කියන වාසිය ඇතුළේ ඕපාදූප කියන අවාසියත් තිබෙනවා. නමුත් ජනතාව අපිට ආදරෙයි. ඒක අපිට ලොකු දෙයක්. සමහරවිට ඒ ආදරේ නිසාම කට්ටිය අපි ගැන හොයනවා. මගේ අතේ වැරැද්දක් නැත්නම් මට ඕපාදූප ප්‍රශ්නයක් නැහැ. මගේ ජීවිතේ කඩා වැටුණා නම් ඒ මං පෙර කරපු වැරැද්දකට ලැබෙන පලදීමක් වෙන්න ඇති.
මාධවීගේ අනාගතේ සුන්දර බලාපොරොත්තු නැතිවෙන්න බැහැ නේද?
මටත් පුංචි බලාපොරොත්තු ටිකක් තියෙනවා. මම හරිම ආසයි අම්මා කෙනෙක් වෙන්න. ඒක ඕනෑම ගෑනු ළමයෙක්ගේ ආසාවක්. කාලයත් එක්ක ජීවිතේ වෙනස්වෙලා ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙයි කියලා මං හිතනවා. ඒ වගේම අම්මාගේ අප්පච්චිගේ හීන සැබෑ කරන්නත් බලාපොරොත්තු වෙනවා.
ශකිලා රාජපක්ෂ