Thursday, December 4, 2014

රොසෙටා විද්‍යාඥයා සිය කමිසය ගැන සමාව අයදියි

ලොව පළමු වරට මිනිසා නිමවූ යානයක් වල්ගා තරුවක් මතට ගොඩබැස්වූ රොසෙටා මෙහෙයුමේ ප‍්‍රධාන විද්‍යාඥ මැට් ටේලර් හැඬූ කඳුලින් යුතුව තම කමිසය පිළිබඳ සමාව ඉල්ලා ඇතැයි වාර්තා වේ.
42 හැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු වන ඔහු ෆිලායි යානය 67P වල්ගා තරුව මතට ගොඩබසින අතරවාරයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡවක් සඳහා හැඳ සිටි කමිසය ස්ත‍්‍රීවාදීන්ගේ විවේචනයට පාත‍්‍රවීම එයට හේතුවයි.
බිකිනි ඇඳුමින් සැරසුණු කාන්තාවන් දැක්වෙන හවායි කමිසයක් හැඳ සිටි ටේලර්ගේ ඡයාරූපයන් දුටු තාරකා භෞතික විද්‍යාඥ කේටී මැක් සහ විද්‍යා ලේඛිකා රෝස් එවලත් විසින් මුලින්ම ඔහුගේ කමිසය විවේචනය කරන ලදැයි පැවසේ.
ඉන් පැය කිහිපයකට පසු ආන්දෝලනාත්මක කමිසයේ නිර්මාතෘ එලී ප‍්‍රයිස්මන් පවසා ඇත්තේ එය තමන් විසින් මැට් ටේලර්ට ලබාදුන් උපන්දින ත්‍යාගයක් බවයි.
ඇයගේ ත්‍යාගය නිසා ශ්‍රේෂ්ඨ විද්‍යාත්මක ජයග‍්‍රහණයක් අත්පත් කරදුන් මිනිසෙකු ගර්හාවට පාත‍්‍රවීම කනගාටුවට කරුණක් බව ඇයගේ අදහසයි.
ටේලර්ගේ කමිසය ලිංග භේදවාදී සහ සමාජ විරෝධී බව ස්ත‍්‍රීවාදිනියන්ගේ මතය වී ඇත.
මේ පිළිබඳව සමාව ගැනීමට තීරණය කළ ඔහු කඳුළු පිරි දෙනෙතින් යුතුව සමාව ගත් නමුදු අන්තර්ජාලයේ බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ මැට් සමාව ගැනීමට තරම් වරදක් සිදුකර නොමැති බවයි.
ඔහුට සහය පළකරමින් අත්සන් කළ පෙත්සමකට හා අරමුදල් රැස්කිරීමකට ජනතා ප‍්‍රතිචාර ලැබී ඇතැයිද වාර්තා වේ.