Wednesday, December 3, 2014

වේදනාව නසන අළුත් ක‍්‍රමයක්

මිලියන ගණනක් රෝගීන්ගේ වේදනාවන් සුව කළ හැකි නව ක‍්‍රමවේදයක් සොයාගැනීමට ඇමරිකානු පර්යේෂකයින් පිරිසක් විසින් සමත්ව ඇතැයි වාර්තා වේ.
මිසූරිහි ශාන්ත ලූයිස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් සොයාගෙන ඇති මේ නව වේදනා නාශක ක‍්‍රමවේදය විසින් මීයන්ගේ මොළයේ සහ ඇති වේදනාව ජනනය කරන මාර්ගයක් අවුරා දමනු ලැබේ.
මේ සඳහා ඔවුන් මීයන්ගේ මොළයේ හා සුෂුම්නාවේ ඇති A3 නම් ප‍්‍රතිග‍්‍රාහකයක් භාවිතා කර ඇති අතර එමගින් අපහසුව දනවන සිතුවිලි පාලනය කරනු ලබයි.
ඇඩිනොසීන් නම් රසායනිකයක් ශරීරගත කිරීම මගින් A3 ප‍්‍රතිග‍්‍රාහකය සක‍්‍රිය කළ හැකි බව හෙලිවී ඇත.
ශාන්ත ලූයිස් විශ්වවිද්‍යාලයේ ඖෂධවේදී හා භෞතවේද විද්‍යා මහාචාර්ය ඩැනියෙලා සැල්වෙමිනි පවසා ඇත්තේ ඇඩිනෝසීන් වල වේදනා නාශක හැකියාව මගින් දීර්ඝ කාලීන වේදනාවන් සුව කළ හැකිවනු ඇති බවට පිළිගැනීමක් පැවති බවයි.
මෙම නව ක‍්‍රමවේදය මගින් මේ වන විට සුලභව භාවිතා කරන වේදනා නාශක ඔසු සමග එන ඇබ්බැහිවීම, කල්ගතවීමේදී කාර්යක්‍ෂමතාවය හීනවීම, මග හැරිය නොහැකි අතුරුඵල හා ජීවිතයේ ගුණාත්මක පිරිහීම් ආදිය මගහැරීමේ අවකාශ හිමිවනු ඇත.
මීයන් සඳහා සාර්ථක වී ඇති මෙම පර්යේෂණයේ ඉදිරි පියවරයන් සාර්ථක වුවහොත් මිලියන ගණනක් ජනතාවගේ වේදනාව සුව කරන දිව ඔසුවක් නිර්මාණය කළ හැකිවනු ඇති බව මහාචාර්ය සැල්වෙමිනිගේ අදහසයි.