Monday, December 1, 2014

මෛත්‍රීපාල ආසනයෙනුත් පරාද වෙනවා - රාජකීය දෛවඥයාගෙන් අනාවැකි

ජ්‍යොතිෂයට අනුව ජනාධිපතිතුමා මේ ගත කරන්නේ එදා එතුමා පළමුවෙන් ම මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අවස්ථාවේ එතුමාට පැවැති ග්‍රහචාර තත්ත්වයට සමාන ග්‍රහචාර තත්ත්වයක් පවතින මොහොතක. ඒ වගේම ජ්‍යොතිෂය අනුව එතුමා මේ ගත කරන්නේ ප්‍රථම වතාවට 2005 නොවැම්බර් 17 වැනිදා ඉතාම තීරණාත්මක මැතිවරණයකින් ජනාධිපති ලෙස පත්වූ එතුමාගේ පළමු ජනාධිපතිත්වය හිමිකරගත් අවස්ථාවේ පැවැති ග්‍රහ තත්වයට වඩා බලගතු ග්‍රහ තත්ත්වයක් තවත් ආකාරයකින් පැවසුවහොත් එතුමා වගේ ම කන්‍යා ලග්නයෙන් උපත ලබාපු දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1977 වර්ෂයේ ගත කරපු ග්‍රහ තත්ත්වයටත් වඩා බලගතු ග්‍රහ තත්ත්වයක් අපේ ජනාධිපතිතුමාට බලපවත්වන අවස්ථාවක් මේ.
 
දැනට පවතින ග්‍රහ තත්ත්වය ගැන මේ රටේ ජ්‍යොතිෂය ගැන හදාරන ජ්‍යොතිෂය ගැන ලොකු දැනුමක් තියෙන අයටත් අවබෝධයක් ලබා ගත හැකියි. කන්‍යා ලග්නයෙන්ම උපත ලබපු ජේ.ආර්. ජයවර්ධන මහතාට මේ යුද‍්ධෙ එදා ආරම්භක අවස්ථාවේ ම අවසන් කරන්න බැරි වුණා.
 
කන්‍යා ලග්නයෙන් උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහත්තය මේ රටේ ආණ්ඩු බාර ගන්න වෙලාව වනවිට එල්ටීටීඊ යේ බොහෝම ජයග්‍රාහී අවස්ථාවකට ඒ අය ඇවිත් හිටියේ. තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා නම් එහෙම ඒගොල්ලෝ අපේ මවු බිමෙන් තුනෙන් එකක භූමි ප්‍රමාණයක් අත්පත් කරගන්න සූදානම්ව සිටියේ.
 
ග්‍රහබලය
ශ්‍රී ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම හිසරදයක්ව ලෝකයාටම ලොකු තර්ජනයක් වූ ලොව පස්වැනි බලගතු රටේ රාජ්‍ය නායකයා වූ රජිව් ගාන්ධිත් ඝාතනය කළ මේ එල්ටීටීඊ ය සම්පූර්ණයෙන් අතුගා දාල උතුරු නැ‍ඟෙනහිර මේ අර්බුදය නිට්ටාවටම අවසන් කරන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකියාව ලැබුණේ රටේ භාග්‍යයකට. මෙතුමාට තිබෙන අනුහස් වාසනාවන්ත බලය නිසා උතුරේ ජනයාට ඡන්දය දමන්න නොදී 2005 එතුමාගේ පත්වීමට එල්ටීටීඊයත් දායක වුණා.
 
අපේ ‍රටේ රාජ්‍ය නායකයන් කන්‍යා ලග්නයෙන් පස්දෙනෙක් හිටියා. ඒ පස්දෙනාටම වඩා වැඩි ග්‍රහ බලයකින් මහින්ද රාජපක්ෂ මහත්මා උපත ලබා ඇතිවා වගේම එතුමාගේ උපතත් සමඟ උත්පත්ති ග්‍රහ තත්වයත් සමඟ මහා විශාල අනුහස් බලයක් එතුමාට ලැබි ති‍ෙයනවා. ඒ ජ්‍යොතිෂයේ සඳහන් ආකාරයට ඉතාම බලගතුම ඉතාම නිවැරැදි ආකාරයෙන් චන්ද්‍රඅධි නම් ඒ මහා බලගතු රාජයෝගය හේතුකොට ගෙන යුද්ධයක් අවසන් කරන්න ඒ රාජයෝගය යෙදී තිබීමයි.
 
ඈත අතීතයේ ලොව ඉසිවරයන් විසින් පෙන්වා දුන් පරිදි චන්ද්‍රඅධි යෝගය නියමාකාරයෙන් යෙදෙන්නට නම් උත්පත්තියේ සඳු හිටි රාශියෙන් 6, 7, 8 සුබ ග්‍රහයන් සිටිය යුතුයි. මේ අනුව ග්‍රහලොව ප්‍රධානම සුබ ග්‍රහයා ලෙස හඳුන්වන බ්‍රහස්පති හෙවත් ගුරු එතුමාගේ ලග්නයේම දිග් බලයෙන් ද ‍ෙක්න්ද්‍රස්ථාන බලයෙන් ද ලක්ෂයක් දෝෂ භංග කරන ග්‍රහ යෙදුමක් ගෙන දෙමින් ද සිටියි. (ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ සුබ ග්‍රහයන් නිකම් හිටියත් ප්‍රමාණවත් කියලයි.)
 
ගුරු බුධ සිකුරු පුරසඳු යන ග්‍රහයන් අමුතු විශේෂ ස්ථාන බලවල නොසිටියත් චන්ද්‍රයාගෙන් 6, 7, 8 හිටියත් සුබයි කියලා. මෙතන බ්‍රහස්පති ග්‍රහයා ඉහත සඳහන් පරිදි චන්ද්‍රයාගෙන් 6 වැන්නේ ලක්ෂයක් දෝෂ භංග කරන ග්‍රහ යෙදුමක් සහ දිග්බලයෙන් සිටින අතර කේන්ද්‍රස්ථානයක් ද වී සිටින අතර චන්ද්‍රයාගෙන් හත්වැන්නේ සිකුරු ග්‍රහයා තුලා රාශිය වී මුල ත්‍රිකෝණ බලයෙන් ද ස්වක්ෂේත්‍ර බලයෙන් ද ඉතාමත් ම බලගතුව සිටිනවා. ඒ වගේ ම චන්ද්‍රයාගෙන් අටවැන්නේ කන්‍යාලග්නයේ ලග්නාධිපති වන බුද ඉතාම සුබ ස්ථාන බලයෙන් ඉන්නවා. බුද ඉතාම සුබස්ථාන බලයෙන් ඉන්නේ ග්‍රහලොව ප්‍රධානියා වන සූර්ය හෙවත් රවිත් සමග යෝගව. ඒ වගේ ම මා මීට පෙරාතුව ඉහත සඳහන් කළා එතුමාගේ පළමු මැතිවරණයටත් වඩා දෙවන මැතිවරණයටත් වඩා මේ වෙලාවේ එතුමාට සුබයි කියලා. මං එහෙම කියන්නේ එතුමා අගමැති හා විරුද්ධ පක්ෂ නායකත්වය ලබාගන්න වෙලාවේ ප්‍රථම වතාවට අපේ මවු බිමේ රාජ්‍ය නායකත්වය ලබා ගන්න වෙලාවෙත් සරත් ෆොන්සේකා මහතා සමඟ 2010 ජනවාරි 26 මැතිවරණයට යන වෙලාවේත් මඳක් අසුබදායක රාහුගේ මහ දශාව එතුමාට තිබුණේ. 2001 දෙසැම්බර් 5 වැනිදා මැතිවරණයෙන් එතුමා විරුද්ධ පක්ෂ නායකයා වුණා.
 
එතුමාට බ්‍රහස්පති ලැබුවේ 2010 පෙබරවාරි 2 වැනිදා. පෙබරවාරි 2 වැනිදාට කලින් එතුමාට තිබුණේ මඳක් අසුබදායක රාහුගේ මහදශාවක්.
මේ මහා අනුහස් බලයක් ගෙන දෙන නායකයා චන්ද්‍රඅධි යෝ‍ගයේ පළවැනි බලය ගෙන දෙන ගුරුගේ මහ දශාවේ බුදගේඅන්තර් දශාවයි දැන් ගත කරන්නේ.
 
බලගතු මොහොත
බුද කියන්නේ එතුමාගේ ලග්නයට අධිපති තම ලග්නයට අධිපති ග්‍රහයා බලගතුව සිටින මොහොතක එම ග්‍රහයාගේ මහ දශාව හෝ අන්තර් දශාව පවතින මොහොතක ජ්‍යොතිෂයේ පැහැදිලිව සඳහන් වන්නේ එම මහ දශාව අන්තර්දශාව සිටින කේන්දරකරු ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නවා කියල
 
ඔහුගේ ජයග්‍රහණ ඉෂ්ට කර ගන්න අසීමිත සහායක් ලබාදෙන බවයි. කිසිසේත් ම එම ජන්මියා අපහසුතාවකට පත් කිරීමට කටයුතු නොයොදන බවත් කියවෙනවා.
 
අනුහස්
ඒ වගේ ම මේ අනුහස් ඇති මහා රාජ්‍ය නායකයාණන්ට දෛවයෙන් උරුම ඉතාම සුබදායක අංකයක් තියෙනවා. ඒ අංකය තමයි අංක 8.
 
2004 එතුමාට අගමැතිකම ලබාදෙන වෙලාවේ එතුමාගේ පක්ෂ නායිකාව එතුමාට අද වගේ ම විරුද්ධ වුණා. එතුමිය මහින්ද මහත්මයට අගමැතිකම නොදී අරින්නමයි හැදුවේ. ඒ වෙලාවේ රටේ ජනතාව අතර කතාවක් තිබුණේ අගමැති තම ලක්ෂ්මන් කදිර්ගාමර් මහත්තයට දෙන්න සූදානමක් තියෙනව කියලයි. ඒ වෙලාවේ ඒ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරු 40 කට ආසන්න පිරිසක් හිටියා. ඒ අය යෝජනා කළා අගමැතිකම කදිර්ගාමර් මහත්තයට දෙන්න කියලා. නමුත් ජනතා මතය බලගතුවීම නිසා අගමැතිකම මහින්ද මහත්තයට දෙන්න වුණා.
 
සුබ 8‍‍
නමුත් මේ අර්බුද අස්සේ චන්ද්‍රිකා මැතිනිය මහින්ද රාජපක්ෂ මහත්තයට අගමැතිකම බාරගන්න ආරාධනා කළේ අප්‍රේල් 8 වැනි බදාදා. ඒ වගේ ම මහා හාස්කමක් වැනි දෙයක් හේතු කොට ගෙන එතුමාගේ පළමු ජනාධිපතිවරණය එතුමාගේ උපන් දිනය වන නොවැම්බර් 17 වැනිදාට යෙදුණා. ජ්‍යොතිෂයේ දවසක් ගණන් ගන්නේ අද උදේ හිරු උදාවේ සිට හෙට උදේ ඉර උදාව දක්වායි. ඒ අනුව එතුමා 17 වැනි මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉපදුණාට ජ්‍යොතිෂය අනුව ගණන් ගැනෙන්නේ නොවැම්බර් 17 ලෙසයි.
 
මීට පෙර ලෝකයේ ජනාධිපති අපේක්ෂකයකුට ඔහුගේ ‍උපන් දිනයට ජනාධිපතිවරණ දිනය ලෙස ලැබුණ කියල වාර්තාවෙලා නැහැ.
 
ඒ වගේ ම 2010 ජනාධිපතිවරණයට එතුමා නාම යෝජනා බාර දුන්නෙත් 2009 දෙසැම්බර් 17 වැනිදා. 17 කියන්නේ අංක විද්‍යාව අනුව එකතුව 8 යි.
 
‍ඒ වගේ ම සරත් ‍ෆොන්සේකා ඉදිරිපත්වුණ එතුමාගේ දෙවැනි ජනාධිපතිවරණය තිබුණේ ජනවාරි 26 දායි. අංක විද්‍යාව අනුව එම දිනයේ එකතුවත් 8 යි.
 
ඒ වගේ ම තෙවැනි වතාවට එතුමාට ඉදිරිපත් විය හැකි ලෙස 18 ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළෙත් 2010 සැප්තැම්බර් 8 වැනිදා. ඒවා එතුමාගේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කරපු දේවල්.
 
ඒවගේම මීට පෙරාතුව පාර්ලිමේන්තු මැතිවරණය 2010 ජනාධිපතිවරණයට පසු පැවැත්වුණොත් අප්‍රේල් 8 වැනිදා (එතුමා යුද්ධය අවසන් කරල මාස දෙකකුත් දවස් 20 කට පස්සේ ඌව පළාත් සභා මැතිවරණය 2009 අගෝස්තු 8 වැනිදා පවත්වලා සියයට 82 ක ජනවරමක් ගත්තා. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ ඉතිහාසයේ පොදුජන එක්සත් පෙරමුණු මැතිවරණ ඉතිහාසයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ඉතිහාසයේ ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ කවදාවත් ගන්න බැරි වුණ ඡන්ද ප්‍රතිශතයක්.
 
නාම යෝජනා
මේ මැතිවරණයටත් නාම යෝජනා බාරදෙන්න තියෙන්නේ දෙසැම්බර් 8 වැනිදා. ජනාධිපතිවරණය පැවැත්වෙන්නෙත් ජනවාරි 8 වැනිදා. මේ සුබ දිනයත් එතුමාට ඉතා‍ම බලගතුයි. සුබයි.
 
එතුමාගේ අනුහස් බලය ගැන මං පුන පුනා කියන්නේ එතුමාගේ මහා වාසනා බලයට එතුමාට මේ සුබ දිනයන් ලැබෙන්නේ කිසිවකු කිසිම බලපෑමක් කරල නොවෙයි. මේ සුබවාදී වාසනාවන්ත අනුහස් බලය නිසා තමයි එතුමාට මේ සුබ දිනයන් අහම්බෙන් වගේ ලැබෙන්නේ.
 
මේ දිනවල කටකතා තියෙනවා මැතිවරණ කොමසාරිස්ට කියල මේ දින ලබාගන්නවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. 2010 ජනවාරි 26 ජනාධිපතිවරණය පැවැත්වුණේ දයානන්ද දිශානායක මහත්තයා මැතිවරණ කොමසාරිස් වරයා ලෙස කටයුතු කළ කාලයේදීයි.
 
ආසනයත් පරාදයි
විපක්ෂයෙන් පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වනවා කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මගේ මිත්‍රයෙක් වගේ ම ඒ පවුලේ අයත් හරි සමීපයි. මං බොහොම ගරු කරපු ආදරය කරපු කෙනෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන කියන්නේ. එතුමාගේ බොහෝ ම වටිනා අදහස් තියෙනවා. ඉතින් මං එතුමාගේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න එතුමාට ගරු කරන එතුමාගේ ගජ මිතුරන් වන සිරිපාල ගම්ලත් නියෝජ්‍ය ඇමැතිතුමත් මා මිත්‍ර සූරියාරච්චි වෙද මහතාගේ පුත්‍ර චන්ද්‍රසිරි සූරියාරච්චි මහතාත් ඒ වගේ ම අපේ තරුණ නායක රොෂාන් රණසිංහ තරුණ මන්ත්‍රීවරයාත් එතුමා පරාද වන බව පිළිගෙන තිබෙනවා. ඒක තමයි නිවැරැදි මතය. මගේ මතයත් ඒකයි.
 
2010 ජනවාරි 26 දා ඡන්දෙට ඉල්ලපු සරත් ෆොන්සේකා මහත්තයා උපන් ගම වන අම්බලන්ගොඩ ආසනයත් ගාල්ල දිස්ත්‍රික්කයත් පරාද වුණා. එදා ජනාධිපතිතුමාට වැඩි ම ජය ලැබුණේ තම ප්‍රතිවාදියා උපන් ගාලු පළාතෙන්.
 
අපේ පොදු අපේක්ෂකතුමාත් තම ආසනයෙන් වගේ ම උතුරු මැද පළාතෙනුත් පරාද වෙනවා. මෙතනදී මං අනාවැකියක් කියනවා. උතුරු මැද පළාතේ එක ආසනයක්වත් මේ පොදු අපේක්ෂකයාට දිනා ගන්න බැහැ කියලා.
 
මං ඉතාම හොඳට මෛත්‍රීපාල මහත්තයා දන්නවා. මේ මැතිවරණ කාලේ මං එතුමාගේ උත්පත්ති ග්‍රහ තත්ත්වය ගැනවත් එතුමාගේ කේන්දරේ ගැනවත් වචනයක්වත් කතා කරන්නේ නැහැ. මොකද ජ්‍යොතිෂය කියන්නේ ගෞරවනීය වෘත්තියක්.
 
මට එතුමා ගැන විශාල දුකක් කනගාටුවක් තියෙනවා. එතුමා ගැන මම තව අනාවැකියක් කියනවා. මේ පොදු අපේක්ෂකතුමාට එක පැත්තකින් නායකත්වය ලබා දෙන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකාගේ නිජබිම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිතුමා 2010 ජනාධිපතිවරණයට වඩා ඡන්ද ලබාගන්නවා.
 
වැඩි ඡන්ද
ජනාධිපතිතුමා පළමු වතාවට දෙවැනි වතාවටත් වඩා ජයග්‍රහණය පහසු වෙනවා. එතුමා පළමු වතාවට වඩා දෙවැනි වතාවේ දස ගුණයක් ඡන්ද ගත්තා‍. මගේ අනාවැකිය එතුමා ඉදිරි ජනාධිපතිවරණයෙන් එතුමාගේ දෙවැනි ජනාධිපතිවරණයටත් වඩා ඡන්ද ලබාගෙන ජයග්‍රහණය කරනවා. එතුමාගේ ජන්ම පතට අනුව දෙස් විදෙස් ප්‍රබල ජ්‍යොතිෂවේදීන් හා අනාවැකි කරුවන් පවසන්නේ එතුමා සිවු වැනි වතාවටත් මෙරට පාලනය කරනවා කියලයි.‍ ඒ කතා මාත් අනුමත කරනවා. ඒ වගේ ම මං දකිනවා මේ මොහොතේ සිදුවන පාවාදීම් එක්ක එක්සත් ජනතා නිදහස් සන්ධානය කෙසේවත් දුර්වල වෙන්නේ නැහැ. තව තවත් ශක්තිමත් වෙනවා.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්ම පත අනුවත්, දිවංගත බණ්ඩාරනායක මැතිතුමා ගේ ජන්ම පත අනුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම පත අනුවත් පෙන්වන තවත් විශේෂ කරුණක් වන්නේ ඉදිරියට එන මහා මැතිවරණයෙන්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශක්තිමත් ආණ්ඩුවක් නැවත වරක් මේ රටේ පිහිටුවන බවයි.
 
මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ දකුණෙන් බිහිවෙනවා‍ කියපු දියසෙන් කුමාරයා. අපේ රට එංගලන්තයේ යටත් විජිතයක්ව අවුරුදු 133 ක් තිබුණා.‍
 
එතුමාට අද එංගලන්තයත් ඇතුළත් පොදු රාජ්‍ය මණ්ඩලයටම නායකත්වය දෙන්න පුළුවන් වෙලා තියෙනවා. මේවා එතුමාට තියෙන අනුහස් වාසනාවන්ත බලය නිසා ලැබෙන දේවල්. මේ රටේ කරන්න බැරිය කියල අනෙක් නායකයන් කියපු සියල්ල එතුමා කළා.
 
මං කියන්න ඕන ශ්‍රී ලංකාවට විරුද්ධව බලගතුම විදේශ කුමන්ත්‍රණය මේ වෙලාවේ සිදුවෙනවා. ශ්‍රී ලංකා කුම්භ ලග්න ජන්ම පත අනුවත් ශ්‍රී ලංකා ජනරජ සිංහ ලග්න ජන්ම පත අනුවත් මෙය පැහැදිලියි.
 
නමුත් ඒ හැම කුමන්ත්‍රණයක් ම ජයගන්න වාසනාව ඉතිහාසයේ සඳහන් දියසෙන් කුමාරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ති‍ෙයනවා.
 
සාකච්ඡා කෙළේ
සරත් පෙරේරා 
උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත