Wednesday, November 19, 2014

අමරදේවයන් සමග යුග ගීයක් ගයන්න තියනවා නම් කොච්චර වාසනාවක්ද කියා මා එතුමන්ගේ පුත් රංගනට කිව්වා



ජනප්‍රිය යොවුන් ගායිකා උමාරියා සිංහවංශ
Umara-Sinhawansaඋමාරියා සිංහවංශ වර්තමාන පරපුරේ ගායිකාවන් අතර කැපීපෙනෙන ගායිකාවකි. විවිධ සංගීත ෙශෙලීන් ඔස්සේ ගී ගැයීමේ මනා හැකියාව ඇති ඈ සිය සංගීත දිවියේ සුවිශේෂ කඩ ඉමක් පසුකරමින් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමග යුග ගීතයක් ගායනා කළාය. ඇය පිළිබඳව තොරතුරු බිඳක්  තුළින් ගෙන එන්නට සිතා අපි උමාරියා හමුවීමු.
ඔබ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමග ගායනා කරන ‘හන්තාන සිහිනේ’ ගීතය ගැන මුලින්ම කතා කරමු ?
මෙය රචනා කළේ ජානක සිරිවර්ධන, සංගීතවත් කළේ අරුණ ගුණවර්ධන, මෙය පටිගත කරලා වැඩි දවසක් නැහැ. මෙය මගේ සංගීත දිවියේ අමතක නොවන අත්දැකීමක් වගේම මා ලැබූ සුවිශේෂ භාග්‍යයක්. මම තවමත් ඉන්නේ ඒ අත්දැකීම තුළින් ලැබූ තෘප්තියත් එක්ක.
හන්තාන සිහිනේ කලක පටන් ඔබ තුළ තිබූ සිහිනයක්ද ?
ඇත්තම කියනවා නම් මේක මගේ ‍නෙවෙයි මගේ අම්මාගේ සිතේ ගොනු වී තිබුණු හීනයක්. මම හෝ මගේ අක්කා (උමාරා) කවදා හෝ අමරදේව මාස්ටර් සමග යුග ගීතයක් ගායනා කරනවා දකින හීනය කාලෙක පටන් මගේ අම්මා තුළ තිබුණා. මේ ඉටුවුණේ ඒ හීනය.

ඒ හීනය ඉටු කරන්න හිතාගෙන ඔබ විසින්ම මෙම ගීතය නිෂ්පාදනය කළාද ?
නෑ මේක මට ලැබුණු ආරාධනාවක්. මේ ගීතය සඳහා මට ආරාධනා කළේ අමරදේව මාස්ටර්ගේ පුතා රංගන අමරදේවමයි. ඒ ආරාධනාව අම්මාගේ හීනය ඉටු කළා.
ඒ ආරාධනාව ලැබුණම ඔබට මොනවද හිතුණේ?
රංගන අයියා මට කතා කරලා මේ ගීතය ගැන කියලා ඒ සඳහා දායක වෙන්න කැමති ද කියලා මගෙන් ඇහුවා. මම කිව්වා ඕකත් අහන්න දෙයක්ද අමරදේව මාස්ටර් එක්ක ගීතයක් ගායනා කරන්න තියනවා නම් ඒක කොච්චර වාසනාවක්ද කියලා. ඒ ආරාධනාව මට ලොකු සතුටක් වගේම පුදුමයක් ඇති කළා. ඒ වගේම මේ අලුත්ම කටයුත්ත විශාල වගකීමක් නේද කියලා හිතුණා. මට හුරුපුරුදු ෙශෙලියට වඩා මේක වෙනස්. ගීතය ගයන්න තියෙන්නෙත් මේ රටේ ඉන්න අසම සම සංගීතවේදියාත් එක්ක. ඒත් ඉතින් මම ඒ අත්දැකීමට සාර්ථකව මුහුණ දුන්නා.
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමග ගායනා කිරීම කෙබඳු අත්දැකීමක්ද?
හරිම සුන්දර අත්දැකීමක්. අමරදේව මාස්ටර් කියන්නේ හරිම සරල නිහතමානී පුද්ගලයෙක්. ඒ වගේම ගීතයක් ගායනා කරද්දී අමරදේව මාස්ටර් එයට උපරිමයෙන් කැප වෙනවා. ගීත ගයද්දී ඒවායේ ඇති සියුම් තැන් තාක්ෂණයේ උපකාරයෙන් සකස් කිරීම ඇතැමුන් කරනවා. ඒත් අමරදේව මාස්ටර් Umaria Sinhawansa1ගීතයේ සියුම් තැන් පවා තම හඩින්ම ගන්න උත්සාහ කරන ගායකයෙක්. එතුමා ඉතාම සුහදශීලී ආකාරයට මටත් බොහෝ දේවල් කියා දුන්නා.
අද ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ නවකයන් අතර ගැටුමක් ඇති බව ඇතැමුන් කියනවා. නවකයන් ප්‍රවීණයින්ට ගරු නොකරන බවට ප්‍රවීණයින් චෝදනා කරනවා. ප්‍රවීණයින් තමන්ට කෙනෙහිලිකම් කරන බව නවකයන් පවසනවා. මේ ගැන උමාරියාගේ අදහස මොකක්ද  ?
ප්‍රවීණ කියන වචනය තුළම ඒ අයගේ විශේෂත්වයක් තියෙනවානේ. මම නම් කිසිම පසුබෑමකින් තොරව ප්‍රවීණයන්ට ගරු කරනවා. ඒ වගේමයි ප්‍රවීණයන්ගෙන් මට නම් කිසිම දවසක කිසිම සිත් රිදීමක් වෙලා නැහැ. ඒ නිසා ඔය ප්‍රශ්නය මට අදාළ ප්‍රශ්නයක් ‍නෙවෙයි.
ඔබේ ගීත හැරුණම ඔබ ප්‍රියකරන වෙනත් ගායක ගායිකාවන්ගේ ගීත සහ ඔබ ප්‍රියකරන වෙනත් ගායක ගායිකාවන් ගැනත් දැන ගන්න කැමැතියි ?
ප්‍රියකරන ගීත නම් ගොඩක් තියෙනවා. ගායක ගායිකාවන් ගැන කතා කරනවා නම් නිරෝෂා විරාජිනී, සමිතා, කසුන් කල්හාර, ලහිරු පෙරේරා, අමරදේව මාස්ටර්, සනත් නන්දසිරි වැනි අයට කැමතියි.
උමාරියා දැන් විවාහකයි ?
ඔව්. මම විවාහ වුණා.
එය නිහඬ විවාහයක් වුණේ ඇයි ?
විවාහය කියන්නේ ජීවිතයක පරම උත්කෘෂ්ඨ අවස්ථාව වුණත් ඒක පෞද්ගලික කාරණයක්නේ. ඒ හින්දා විවාහය වෙනුවෙන් ලොකු උත්සවයක් ගන්න මට අවශ්‍ය වුණේ නැහැ. මට ඕනේ වුණේ අනවශ්‍ය සැණකෙළි ස්වරූපයක් නැති සරල චාම් මංගල්‍යයක් ගන්නයි. මම හැමදාම කැමතියි මගේ පෞද්ගලිකත්වය පෞද්ගලිකත්වය විදිහට තියාගන්න. ඒ හින්දයි ලොකු විවාහ උත්සවයක් ගත්තේ නැත්තේ. ඒත් ඉතින් මගේ විවාහයට උත්සවයක් ගත්තේ නැත්තේ ඇයි කියලා කලා ලොවේ අය වගේම මගෙ හිතවතුනුත් දිගට හරහට අහනවා. ඒ නිසා ඉදිරියේදී ඒ හැමෝටම වෙනම උත්සවයක් තියන්න හිතාගෙන ඉන්නවා.
ඔබේ සැමියා ගැනත් තොරතුරු ටිකක් කියන්න ?
එයාගෙ නම දෙව්ෂාන් පෙරේරා. ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක් වගේම තොරතුරු තාක්ෂණයත් හදාරනවා. දෙව්ෂාන් සංගීත ක්‍ෂේත්‍රයටත් සම්බන්ධ කෙනෙක්.
මොනවද උමාරියාගේ කලා ජීවිතේ සහ පෞද්ගලික ජීවිතයේ ඉදිරි සැලසුම්?
කලා ජීවිතේ නම් සැලසුම් රැසක්ම තියෙනවා. ඒවා දැන්මම හෙළිකරන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වෙද්දී හැමෝටම දැනගන්න ලැබේවි. පුද්ගලික ජීවිතේ ගැන කියනවා නම් මම කළමනාකරණය ගැන වැඩිදුර හදාරනවා. මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සහ සතුටින් ජීවත් වීම තමයි ලොකුම අරමුණ.
ආරියවංශ කුලතිලක