ඝණ පිහිටීම් අනුව අලුත උපන් බිලිඳියට “ඉලේපෙරුම ආරච්චිලාගේ ගයනා සුදර්ශනී ඉලේපෙරුම” කියන නම යෙදුණා. ඒ පුංචි දෝණි තමයි අද ගයනා සුදර්ශනී නමින් රටම හඳුනන නිළියක වී සිටින්නේ.
ගයනා චූටි කාලේ ටිකක් දඟකාර ළමයෙක්ලු. ගයනයි එයාගේ අයියයි දෙන්නා අතර තියෙන්නේ අවුරුදු දෙකක පරතරයක්. ඒ නිසා දෙන්නත් එක්ක එකතුවෙලා නිතර නිතර දඟවැඩ කරනවාලු. ඒ කාලේ පන්නිපිටිය ප්‍රදේශය එතරම් ජනාකීර්ණ නැහැ. ගයනාගේ නිවස වටාපිටාවේ තිබිල තියෙන්නේ නිවාස කීපයක් විතරයි. ලොකු රබර් යායක් පහළින් ගලන දොළක් සහිත ප්‍රදේශය ගැමි පරිසරයකට නෑකම් කියන පළාතක්. වටාපිටාවේ ගයනාගෙ වයසේ ළමයි කීප දෙනෙක් ඉඳල තියෙනවා. ඒ ළමයි එක්ක එකතු වෙලා ගයනායි ඇගේ අයියයි බොහොම සැහැල්ලුවෙන් තමයි ඒ අයගෙ ළමා කාලය ගෙවලා තියෙන්නේ.
කොහොම හරි ඉතින් ඔන්න මේ චූටි දැරියට ඉඳුල්කට ගාන දවස උදාවෙලා. ඉඳුල්කට ගාලා තියෙන්නේ මේ අයගේ නෑදෑ කෙනෙක්. ඔහු හඳුන්වන්නේ “බාස් මාමා” කියලා. ඔන්න ඉතින් කැවුම් කිරිබත් පිරුන මේසේ ගාව කට්ටියම වටවෙලා නැකත උදාවෙන තුරු බලාගෙන ඉන්නවා. බාස් මාමාත් ගයනා දුවව වඩාගෙන ඉන්නවා. නැකත උදාවුණා. බාස් මාමා චූටි සිඟිත්තියට කිරිබත් කටක් කැවුවා. නැකතට ඉඳුල් කටගාපු දැරියගේ දෑසින් කඳුළු ගලන්න පටන් ගත්තාලු.
මොකද දන්නවද වෙලා තියෙන්නේ. එතැන හිටි කෙනෙක් සම්බෝලයි බතුයි කාලා. එයා බාගෙට කමින් හිටපු බත් පිඟාන ඒ මේසේ උඩින් තියලා. නැකත් වේලාවේ කිරිබත් කටක් කියල හිතාගෙන බාස් මාමා චූටි දුවට කවල තියෙන්නේ එතැන තිබුණු සම්බෝලයි බතුයි අනපු බත් පිඟානෙන් බත් කටක්. හැබැයි ඉතින් නැකතට සම්බෝලයි බතුයි කාලා ඇස් දෙකෙන් කඳුළු ගැලුවත් ගයනා ඒ වෙලාවේ අඬල නම් නැහැ. ගයනාගේ අම්මා පාසල් ගුරුවරියක්. ගයනාට අවුරුදු දෙක තුන වෙද්දී අම්මා පාසල් යද්දී තමන්ගෙ දුවවත් එකතු කරගෙනලු යන්නේ. ගයනා ඒ දවස්වල හරි හුරතල් ළමයෙක්ලු. හැමෝටම කතාබහ කරන සුහදශීලී සිඟිති දැරියක්ලු. ඉතින් පංතියේ ළමයි මේ හුරුබුහුටි දැරියට හරිම ආදරෙයිලු. ඒ දවස්වල පාසලේ විවේකයට බිස්කට් දෙනවා. සෑම ළමයෙකුටම බිස්කට් 6 බැගින් ලැබෙනවා. ගයනා උදේ යද්දී කෑම අරගෙන යනවානේ. ඉතින් බිස්කට් බෙදන වෙලාවට ගයනා තමාගේ කෑම පෙට්ටිය අරගෙන පන්තිය පුරාම යනවාලු. ළමයි හැමෝම ගයනාගේ කෑම පෙට්ටියට බිස්කට් එකක් දානවාලු. අන්තිමට පන්තියේ ළමයි 40 ට බිස්කට් 5 බැගින් තමයි කන්න ලැබෙන්නේ. ඒත් ගයනාට බිස්කට් 40 ක්ම ලැබෙනවා. පුංචි සිඟිත්තියකට බිස්කට් 40 ක් කන්න බැහැනේ. ඉතින් ගයනා ඒ බිස්කට් ගෙදර අරගෙන එන්නේ අයියත් එක්ක බෙදාගෙන කන්න. මේ වැඩේ කරන්න එපා කියලා අම්මා අවවාද දෙනවලු. ඒත් විවේකයට සීනුව නාදවෙද්දීම ගයනා දැරිය බිස්කට් ගන්න යන්න සූදානම් වෙනවාලු.
හැබැයි ඉතින් මේ විදියේ දඟවැඩ හින්දා ගයනාට අම්මාගෙන් හොඳ හැටි ගුටි පූජාවක් ලැබුණු අවස්ථාවන් නම් තියෙනවා. ඒ සිද්ධිය වෙලා තියෙන්නේ අවුරුදු කාලෙක. දැන් ඔන්න ළමයි කට්ටිය එකතු වෙලා රතිඤ්ඤා පත්තු කරනවාලු. ගයනා චූටි හින්දා රතිඤ්ඤා පත්තු කරන්න අවසර ලැබිල තියෙන්නේ අයියට. ගයනාට තියෙන්නේ අයියත් එක්ක එකතු වෙලා ඒ කටයුත්තට සහය දෙන්න. ඒත් මේ දැරිවි එයින් සෑහීමට පත්වෙන්නේ නැහැ. සමහර පුංචි දරුවෝ ඉන්නවා තමන්ට වඩා වැඩිමල් ළමයි කරන හැමදේම අත්හදා බලන්න උත්සාහ කරනවා. ගයනා දැරියත් ඒ වගේ. ඇයටත් තමන්ගෙ අයියා වගේ රතිඤ්ඤා පත්තු කරන්න ආශාව ඇතිවෙලා. ගයනා රතිඤ්ඤා කරලක් අරගෙන පත්තු කරලා. රතිඤ්ඤා කරල ගිනි පුපුරු විහිදුවාගෙන දැල්වෙන කොට මේ පුංචි දැරිවිට බය හිතිලා. ඇය රතිඤ්ඤා කරල ඈතට විසි කරලා. ගයනාගෙ නිවසට පහළින් තිබිල තියෙන්නේ පොල් අතු ගෙයක්. අර රතිඤ්ඤා කරල වැටිලා තියෙන්නේ ඒ ගෙදර වහලෙ උඩට. වහලේ ගිනි අරගෙන . එදා තමයි ගයනාට අම්මගෙන් ගුටි පූජාවක් ලැබිල තියෙන්නේ. පස්සේ ගයනාගෙ තාත්තා ඒ මිනිස්සුන්ගෙ වහලෙ හදල දුන්නලු.
ආරියවංශ කුලතිලක