Saturday, November 15, 2014

වාහනයක ඇමිණී කි.මී.15ක් ගිය මළ සිරුර කාගේද?

දිනය නොවැම්බර් 06 වෙනිදාය. වේලාව අලුයම 4.20ට පමණ ඇත.
ස්ථානය නාවලපිටිය - ගම්‍පොළ ප්‍රධාන මාර්ගයේ ගොන්දෙන්නාව ප්‍රදේශයයි.
ඝන මීදුම් පටලය කපාගෙන ඉදිරියට ඇදෙන්නට වූයේ පෞද්ගලික මගී බස් රථයකි. රථයේ සිටියේ රියැදුරා පමණි. ඔහු ඒ උදෑසන බස් රථය ධාවනය කරන්නට වූයේ නාවලපිටිය බස් නැවතුම්‍පොළ වෙතය. ඒ එදින උදෑසන පළමු ගමන්වාරය වැටී ඇත්තේ එම බස් රථයට බැවිනි.
පැයට කිලෝ මීටර් තිහ
හතළිහකට වඩා වැඩි වේගයකින් බස් රථය ඉදිරියට ධාවනය නොවීය. ඒ දැඩි මීදුම් පටලය හේතුවෙන් මාර්ගය අපැහැදිලි වූ බැවින් වංගු සහිත මාර්ගයේ ඊට වැඩි වේගයකින් ගමන් කිරීම අවදානම් වූ බැවිනි. ගොන්දෙන්නාවට කිට්ටුවන විට මීදුම මදක් පහව ගොසිනි. වංගු සහිත මාර්ගයේ තිරස් රේඛාවක් සේ කෙළින් අතට ඇත්තේ ගොන්දෙන්නාව ප්‍රදේශයයි. මෙම මාර්ගයේ ගමන් ගන්නා ඕනෑම වාහනයක වේගය දෙතුන් ගුණයකින් වැඩි වන්නේ මේ ප්‍රදේශයේදීය. ඒ රියැදුරාට මාර්ගය පැහැදිලිව දක්නට ඇති බැවිනි.
ඒ අනුව උදෑසන ගමන්වාරයට යමින් සිටි මෙම බස් රථයේ රියැදුරා වේගය මදක් වැඩි කළද ඒත් එක්කම වාගේ තම පයට තිරිංග පෑගෙන්නේ එසැනින්මය. ඒ වෙන කිසිවක් නිසා නොව. මහ පාර මැද පුද්ගලයෙක් වැටී සිටිනු අයුරු දැකීමෙනි. ඒ පුද්ගලයා වැටී සිටියේ හරියටම පාර මැදය. බස් රථය මාර්ගයේ පැත්තකින් ඉස්සරහට කර ගමන් ගත් රියැදුරා දකින්නේ ඔහු අනතුරකට ලක්ව එසේ වැටී සිටින බවය. ඔහු වැටී සිටි තැන ‍ලේ ගොඩකි. බස් රථය මදක් ඉදිරියට ධාවනයකර  රථයෙන් බිමට බැස ඒ පුද්ගලයා අසලට රියැදුරා යන්නේ ඔහුගේ ජීවිතය බේරාගැනීමට රෝහල් ගතකරන්නට රැගෙන යන්නට සිතාගෙනය. ඒත් ඔහු මහමගම අවසන් හුස්ම ‍පොද පිටකර ඇති බව රියැදුරා  දැනගන්නේ ඒ අසලට ගිය පසුවය.
බැලූ බැල්මටම පෙනී යන්නට වූයේ එම පුද්ගලයා  අනතුරකට ලක්ව ඇති බවය. ඒ මාර්ගයේ ගමන් කළ රථයකට විය යුතුය. ඔහු ගැටුණු රථය ඒ වන විටත් පලාගොසිනි. ඒ බව රියැදුරා නාවලපිටිය ‍පොලීසියට දුරකථන ඇමතුමක් ගෙන දැනුම් දෙමින් එම ස්ථානයෙන් ඉවත්ව යන්නේ නියමිත වේලාවට ගමන් ආරම්භ නොකළ විට ඊළඟ ගමන්වාරය බස් රථයට අහිමිවන බැවිනි.
නාවලපිටිය ‍පොලීසියට මෙම අනතුර ගැන දුරකථන ඇමතුම ලැබෙන විට වේලාව 4.30ට පමණ ඇත. ‍පොලීසියේ සිට ගොන්දෙන්නාවට ඇත්තේ කිලෝ මීටර එකහමාරක පමණ දුරකි. එහෙත් නාවලපිටිය ‍පොලීසියේ නිලධාරීන් සූදානම්ව ඒ තැනට යන විට වේලාව අලුයම 5.00ට පමණ ඇත. ඒ ගිය අය අතර ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක විජිත කුමාරද සිටියේය. ඒ ගිය ‍පොලිස් නිලධාරීන්ට දුරකථන ඇමතුමෙන් කියැවුණු පරිදි ඒ තැන මළ සිරුරක් දක්නට නොවීය. ඒ වෙනුවට මාර්ගය මැද තිබුණේ විහිදුණූ ‍ලේ පැල්ලමකි. මස්වැදලි සමග සතෙකුගේ අස්ථි කැබලි මෙන් කොටස් කිහිපයක්ද මාර්ගයේ තැනින් තැන දක්නට විය. මනුෂ්‍යයකුගේ මළ සිරුරක් එහි තිබිය යුතු වූ බැවින්  ‍පොලිස් නිලධාරීන් සැකකරන්නට වූයේ වාහනයක සතෙක්  ගැටී ඇති බවය. මළ මිනියක් පාර මැද ඇති බවට ඇමතුමක් දෙන්නට ඇත්තේ ගැටුණු සතා මනුෂ්‍යයෙක් ලෙස වරදවා වටහාගෙන වන්නට ඇති බවට සැකයක්ද මෙහිදී ‍පොලිස් නිලධාරීන් තුළ ඇතිවන්නට විය.
එහෙත් ඒ සියලු සැකයන් දුරුවන්නේ ප්‍රදේශය පුරා පැවැති ඝන මීදුම් පටලය ඈත්ව අඳුර පහව යමින් ‍පොළොවට හිරු එළිය වැටෙන්නට ගැනීමත් සමගිනි. එවිට වේලාව උදෑසන 6.00ට පමණ ඇත.
‍ලේ පැල්ලම සහ අස්ථි කැබලි ඇති තැන සිට මාර්ගයේ ගම්‍පොළ දෙසට ඇදී ගිය ‍ලේ පැල්ලමක්  ‍පොලිස් නිලධාරීන්ට දිස්වන්නේ එවිටය. ‍පොලිස් ස්ථානාධිපති විජිත කුමාර තීරණය කරනුයේ එම ‍ලේ පැල්ලම ඔස්සේ යමින් මේ අබිරහස විසඳන්නටය.
මාර්ගයේ තැන තැන සටහන්ව ඇති ඒ ‍ලේ පැල්ලම් දිගේ කිලෝ මීටර්යක් පමණ ඉදිරියට ගිය තැන හමුවන්නේ වරකාවේ දෙවැනි රේල් ගේට්ටුවය. එතැන දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය පීල්ලත් මාර්ගයේ කාපට් අතරත් ඇති හිඩැසේ ද මස් කැබලි සිරවී ඇති බවක් නිලධාරීන්ට නිරීක්ෂණය විය. ඒ අනුව විජිත කුමාර මහතා ඇතුළු නිලධාරීන් අනුමාන කරන්නට වූයේ රිය අනතුරකින් පසු මාර්ගයේ තිබුණු ඒ මළ සිරුර තවත් වාහනයක ඇමිණී මාර්ගයේ ඇදී යන්නට ඇති බවය. ඒ බව වඩාත් පැහැදිලි වන්නට වූයේ මාර්ගයේ වංගු සහිත තැන්වල ‍ලේ පැල්ලම් මස් කැබලි සමග බිම දිගේ ඇලී තිබිමෙනි.
දුම්රිය හරස් මාර්ගය පසුකරමින් තවදුරටත් ‍පොලිස් නිලධාරීන් ගම්‍පොළ දෙසට ගමන් කරන්නට වූයේ ‍ලේ පැල්ලම් ඔස්සේය. ඒ මළ සිරුර සොයා ගන්නටය. ගම්‍පොළ නගරයේ රිය අනතුරකට ලක්ව ඇති පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබි ගම්‍පොළ ‍පොලීසියට හමුවී ඇති බවට මෙම නිලධාරීන්ට තොරතුරක් ලැබෙන්නේ ඔය අතර තුරදීය. ‍ලේ පැල්ලම දිගේ කිලෝ මීටර්  හය හතක පමණ දුරක් ඒ වන විට ගම්‍පොළ දෙසට ‍පොලිස් නිලධාරීන් ගමන්කර තිබිණි. එවිට වේලාව උදෑසන 6.30 ට පමණ ඇත. එම සිරුර තමන් සොයන මළ සිරුරවත්දැයි සිතමින් ‍ලේ පැල්ලම් දිගේ ගම්‍පොළ නගරයටම ‍පොලිස් නිලධාරීහු ආවෝය. සිතූ ලෙසම සොයාගෙන විත් තිබුණූ මළ සිරුර එයයි. කිලෝ මීටර් 15 ක් ඒ වන විට ‍ලේ පැල්ලම් දිගේ ‍පොලිස් නිලධාරීන් අවුත් තිබුණි.
එම මළ සිරුර තිබෙන්නේ ගම්‍පොළ නගරයේ කඩුගන්නාව මාර්ගයේය. ඒ පෞද්ගලික බැංකුවක් ආසන්නයේය. නාවලපිටියේ ‍පොලිස් කණ්ඩායම ඒ තැනට යන විටත් අපරාධ ස්ථාන    පරීක්ෂණාගාරයේ ‍පොලිස් කණ්ඩායම් එහි පැමිණ තමන්ගේ විමර්ශන කටයුතු ආරම්භකර අවසන්ය. එම මළ සිරුරේ මුහුණ හඳුනා ගන්නට බැරිය. මුහුණක් නැති තරමට එය චප්ප වී තිබුණි. මුහුණ තාර පාරේ ඇතිල්ලීමෙන් එසේ හඳුනාගන්නට බැරි තරමට විනාශ වී ඇති බව නාවලපිටියේ ‍පොලිස් නිලධාරීන්ට පෙනී ගියේය. ඊට අමතරව සිරුරේ ලිංගේන්ද්‍රය ඇතුළු අවයවද තාර පාරට ඇතිල්ලී විනාශවී තිබුණේය. ඒ අනුව එතෙක් දුරක්  සොයා ආ මළ සිරුර එය බව පැහැදිලිකරගත් නාවලපිටිය ‍පොලිස් කණ්ඩායම ඒ සම්බන්ධයෙන් වූ ඉදිරි පරීක්ෂණ කෙරෙන ආකාරය ගැන උපදෙස් පතන්නට වූයේ ගම්‍පොළ කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා සහ සහකාර ‍පොලිස් අධිකාරී චූලනී වීරරත්න යන මහත්වරුන්ගෙනි.
 ඒ අයගේ උපදෙස වූයේ නාවලපිටියේ අනතුර ගැන
පරීක්ෂණය නාවලපිටිය ‍පොලීසියෙන්ද මළ සිරුර ගම්‍පොළට ආවේ කෙසේදැයි ගම්‍පොළ ‍පොලීසියෙන්ද පරීක්ෂණ පැවැත්විය යුතු බවටය. ඒ සම්බන්ධයෙන් උපදෙස්ද එම නිලධාරීන්ගෙන් නාවලපිටිය සහ ගම්‍පොළ ‍පොලීසිවලට ලැබෙන්නට විය.
ඒ අනුව නාවලපිටිය ‍පොලීසියේ ස්ථානාධිපති විජිත කුමාර ඇතුළු නිලධාරීන් සොයා බලන්නට වූයේ ගොන්දෙන්නාවේදී අනතුරට ලක්වූ පුද්ගලයා කවුරුන්දැයි කියාය. නාවලපිටිය නගරයේ දින කිහිපයක් තිස්සේ සැරිසැරූ මානසික ආබාධ සහිත පුද්ගලයෙක් මෙම අනතුරත් සමග අතුරුදන්ව ඇති බව අනාවරණය වන්නේ එවිටය. නගරයට අමුත්තෙක් වූ එම ආබාධිත යාචකයා කොහේ සිට නගරයට පැමිණි අයෙක්දැයි කිසිවෙකුත් දැන සිටියේ නැත. අඩුම තරමින් ඔහුගේ නමක් ගමක් වත් දන්නා අයෙක් නොවීය. අනතුරට ලක්වූ පුද්ගලයා යාචකයාමදැයි කියන්නට දන්නා අයෙක්ද නොවීය. ඒ මළසිරුරේ මුහුණ හඳුනාගන්නට නොහැකිවන ලෙස විනාශවී ඇති බැවිනි. නාවලපිටිය නගරයේ සැරිසරමින් සිටි ඔහුව දැක පුරුදු අයටවත් ඒ ඔහුමදැයි කියන්නට ඒ නිසාම විදිහක් නොවීය.
මේ අතර  එදා අලුයම මෙම මළ සිරුර දැක ඒ ගැන ‍පොලීසියට දුරකථන ඇමතුම දුන් රියැදුරාවද සොයාගත් නාවලපිටිය ‍පොලීසියේ නිලධාරීන් ඔහුගෙන්ද ප්‍රකාශයක් ගත්තේ ඒ තුළින් සිදුවී ඇත්තේ කුමක්දැයි මතයක් ගොඩනගා ගන්නටය. ඊට අනුව එම රියැදුරා මළ සිරුර දකින්නේ අලුයම 4.20ට පමණය. ඒ වන විට ඒ පුද්ගලයා මිය ගොස් සිටි බව එම කටඋත්තරයෙන් තහවුරුකරගත් ‍පොලීසිය එම රියැදුරාට පෙර එම සිරුර දුටු අයෙක් සිටීදැයි සොයා බලන්නට විය. කොත්ම‍ලේ සිට නාවලපිටිය ගම්‍පොළ හරහා කොළඹ බලා ෙදෙනිකව අලුයම ධාවනයවන බස් රථයක රියැදුරෙක්ගෙන් ‍පොලිසිය ප්‍රශ්න කරන්නේ ඒ අනුවය. එම බස් රථය එදා ඒ තැනින් ගමන් කරන්නේ අලුයම 3.00 ට පමණය. ඒ යන විට පාර හරහා යම් පුද්ගලයෙක් නිදාසිටිනු දුටු බව එම බස් රථයේ රියැදුරා පවසන්නට විය. බස් රථය නතරකර එම පුද්ගලයාව මාර්ගයෙන් ඉවත්කරන්නට හෝ ඒ ගැන ‍පොලීසියට කියන්නටවත් කිසිදු අදහසක් එම රියැදුරාට පහල වී නැත. ඔහුකර ඇත්තේ බස් රථය ඔහුව මගහැර මාර්ගයේ අයිනෙන්ම ධාවනය කරවීමය.
ඊට පැය භාගයකට පසුව එම මාර්ගයේ ගමන්කර ඇත්තේ යාපනයේ සිට නාවලපිටිය හරහා හැටන් බලා ධාවනය වන මගී බස් රථයකි. එම රථය ඒ තැන පසුකරන විට මාර්ගය හරහා නිදා සිටි පුද්ගලයා සිට ඇත්තේ ඔහු ඇද සිටි සරමෙන් හිසේ සිට දෙපතුළ දක්වා වසාගෙන සීතලට ගුලිවී නින්දකය. එම බස් රථ රියැදුරාත් පෙර රථයේ රියැදුරා මෙන් මාර්ගයේ අයිනෙන් ඔහුව බේරා ගමන් කළා මිස ඔහුව මාර්ගය මැදින් ඉවත්කරන්නට තරම් සිතක් පහළ වී නැත. මාර්ගය මැද නිදා සිටි ඒ පුද්ගලයා අවසානයේදී මාර්ගයේ ගමන් කළ වාහනයකට යටවන්නේ ඊට පසුවය. එම වාහනය පැදවූ රියැදුරා ඒ ගැන ‍පොලීසියට කියන්නට ගියේ නැත. එම අනතුර අමතක කරමින් වාහනය ඉදිරියට ධාවනය කළේය.
විමර්ශනවලින් ලැබෙන්නට වූ මෙම තොරතුරු එකිනෙක
ගැළපීමෙන්  අනුමාන කරන්නට හැකි වන්නේ නගරයේ රැඳී සිටි මානසික ආබාධයෙන් පෙළුණූ පුද්ගලයා එදා රාත්‍රියේ මහා මාර්ගයේ නිදා සිටියදී වාහනයකට යටවී මියගොස් ඇති බවය. එදා තද මීදුම් පටලයකින් ප්‍රදේශය වැසී තිබුණූ බැවින් සහ එම මාර්ග කොටස වංගු රහිත කොටසක් වූ බැවින් මාර්ගය මැද නිදා සිටි එම පුද්ගලයාව වේගයෙන් පැමිණි වාහනයකට යටවන්නට ඇති බව මෙහිදී අනුමාන කරන්නට පුළුවන.
එසේ අනතුරට ලක්ව මිය ගිය පුද්ගලයාගේ  මළ සිරුර ගම්‍පොළට රැගෙන ගියේ කවුරුන්දැයි ඒත් සමග ඇති වන ගැටලුවකි. ‍පොලීසියේ අනුමානය වූයේ මාර්ගයේ ගමන් කළ යම් වාහනයක ඇමිණී මළ සිරුර එතරම් දුරක් මාර්ගයේ ඇදී යන්නට ඇති බවය. ඝන මීදුම හේතුවෙන් රියැදුරාට මාර්ගය මැද තිබුණූ මළ සිරුර නොදැකීමෙන් ඒ මතින් වාහනය ගමන් කිරීමේදී මළ සිරුර එහි ඇමිණෙන්නට ඇති බව ‍පොලීසියේ අනුමානය විය.
එසේ නම් එම වාහනය කුමක්ද?
එය සෙවීමේ වගකීම පැවැරෙන්නේ ගම්‍පොළ ‍පොලීසියටය. අපරාධ අංශයේ ස්ථානාධිපති ටී.ආර්. තල්වත්ත සහ රථවාහන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක මංජුල අබේකෝන් යන මහත්වරු ඒ වගකීම හඳුනාගෙන ගම්‍පොළ නගරයේ ඇති ආරක්ෂක කැමරා පරීක්ෂා කරන්නට වුයේ එදා අලුයම් කාලයේ මළ සිරුරක් රැගෙන නගරයේ සැරිසැරූ වාහනය සොයාය. පළමුවරට පරීක්ෂාවට ලක්වන්නේ මළ සිරුර තිබුණූ තැනට මදක් ඔබ්බෙන් පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවේ ආරක්ෂක කැමරාවේ දර්ශනය. එය බැංකුවේ ආරක්ෂාව වෙනුවෙන් සවිකර තිබුණා මිස මාර්ගය ආවරණය වන පරිදි සවිකර තිබුණේ නැත. එබැවින් ඒ උත්සහය ව්‍යාර්ථ විය. අනතුරුව පරීක්ෂාවට ලක්කරනුයේ නගරයේ රන් භාණ්ඩ වෙළෙඳසල් ඇතුළු වෙළෙඳසල් සහ නිවෙස්වල සවිකර තිබුණු ආරක්ෂක කැමරාවල දර්ශනයන්ය. එහිදී සුදු පැහැති වෑන් රථයක් සැකයට ලක්වූ කාල පරාසය තුළ ගමන් කරනු සටහන්ව ඇතත් එම වාහනයේ අංකය පැහැදිලි නොවීය. වෑන් රථය එදා වීරප්පනේ දුම්රිය හරස් මාර්ගයෙන් අඹගමුව දෙසට ගමන්කර මලබාර් වීදිය ඔස්සේ කඩුගන්නාව මාර්ගයට පිවිස ගම්‍පොළ මැද පාරේ මදදුරක් ගමන්කර නැවත හරවා ගමන්කර ඇති බව එම කැමරා දර්ශනවලින් පෙනී යන්නට විය. එම කැමරාවල එම වෑන් රථය සටහන් වන්නේ අලුයම 4.47 සිට අලුයම 5.00 දක්වා කාලය තුළදීය.
මේ තොරතුරු සියල්ල සොයාගත්තත් වෑන් රථයේ අංකයක් සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. ඒ
ආරක්ෂක කැමරාවල වේගයෙන් ගමන් කරන වාහනවල අංක පැහැදිලිව සටහන් නොවන බැවිනි. එබැවින් රථවාහන අංශයේ නිලධාරීන්ට මංජුල අබේකෝන්ගෙන් උපදෙස් ලැබෙන්නේ ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති වාහනයේ වර්ගයට සමාන වර්ගයේ වාහනයක් දුටු විට එය පරීක්ෂාවට ලක්කරන ලෙසය.
එවන් වාහනයක් ගම්‍පොළ නගරයෙන් ‍පොලිස් නිලධාරීන්ට මුණ ගැසෙන්නේ දින තුනකට පසුවය. ඒ එම රථය ගම්‍පොළ බස්නැවතුම්‍පොළ මාර්ගයේ  ගමන් කරමින් සිටියදීය. එම රථය සිය භාරයට ගන්නා ‍පොලීසිය ගරාජයකට රැගෙන ගොස් පරීක්ෂාවක් කරන්නේ නාවලපිටියේ සිට ගම්‍පොළදක්වා කිලෝ මීටර් 15ක් මළ සිරුරක් ඇදගෙන ගියේ එම වාහනයමදැයි සැකහැර දැනගන්නටය.
සැකය නිවැරදිය. වාහනයේ යට කොටසේ ඒවන විටත් ‍ලේ පැල්ලම් කිහිපයක් දක්නට විය. වාහනය සෝදා පිරිසිදුකර තිබුණත් එම ‍ලේ පැල්ලම් මැකී තිබුණේ නැත.
කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් වන එහි හිමිකරු වූයේ ගම්‍පොළ මරියවත්ත ප්‍රදේශයේ අයෙකි. එහෙත් එය ඒ වන විට තිබුණේ හිමිකරු සතුව නොව. ජයමල්පුර ප්‍රදේශයේ ඇති වාහන කුලී ආයතනයකට කුලියට ධාවනය කරන්නට ලබාදීය. වාහනය ‍පොලීසියට කොටුවන්නේ ඒ තැනින් කුලියටගත් අයෙක් එය ධාවනය කරමින් සිටියදීය. එදා 06 වෙනිදා එම වෑන් රථය කුලියට අරගෙන තිබි ඇත්තේ මූල්‍ය ආයතනයක කළමනාකරුවෙක් විසින්ය. ඔහු එම වෑන් රථය කුලියට ගන්නේ කොළඹ යන්නටය. වෑන් රථය ඔහු කුලී ආයතනයෙන් ලබාගන්නේ 05 වෙනිදා සවස් කාලයේදීය. ඒ රුපියල් 1000ක මුදලක් ගෙවමිනි.
නාවලපිටියේ නිවසින් 06 වෙනිදා අලුයම කොළඹ යන්නට ඔහු පිටත්වන්නේ අලුයම 4.30 ට පමණය.
දරුවන් තිදෙනාත් බිරිඳත් ඒ ගමනට එක්ව සිටියහ. එය දරුවන් වෙනුවෙන් සංවිධානය කෙරුණු විනෝද චාරිකාවකි.  එදා ‍පොහොය දිනයක් වූ බැවින් චාරිකාව එදින යන්නට ඔහු සැලසුම්කරගත් බව සඳහන්ය. එම චාරිකාවට ඔහු තම පවු‍ලේ මිතුරු යුවළක්ද සම්බන්ධකර ගත්තේය. ඒ අය වාහනයට ගොඩවන්නට නියමිතව සිටියේ ගම්‍පොළ නගරයෙන්ය. නාවලපිටියේ සිට ගම්‍පොළට නියමිත වේලාවට ඔහු වාහනය පදවාගෙන ආවත් මිතුරු යුවළ ඒ වන විටත් නගරයේ කථිකාකර ගත් තැනට අවුත් සිටියේ නැත. ඔහුගේ ‍පොඩි දරුවා ඒ වන විට සිටින්නේ වමනය දමා ඇඳුම්ද වමනයෙන් තෙත්කරගෙනය. මිතුරු යුවළ ප්‍රමාද බැවින් නගරයේ ඔහුට අයත්ව ඇති කඩ කාමරයක් අසලට වෑන් රථය රැගෙන යන්නේ දරුවාව සෝදා පිරිසිදු කරගන්නටය. එම කඩකාමරය ඇත්තේ පෞද්ගලික බැංකුව අසලය.
අනතුරුව මිතුරු යුවළද වෑන් රථයේ නංවාගෙන කොළඹ යන ඔහු පළමුව යන්නේ දෙහිවල සත්තුවත්තටය.  අනතුරුව ගාලු මුවදොර පිටියට පැමිණ නැවත නාවලපිටියට එන අතර තුර ගැටඹේ විහාරස්ථානයටද ගොස් වැඳුම් පිදුම් පවා කර තිබුණේය. ඒ පැමිණ වෑන් රථය  නැවත භාරදෙන්නේ පහුවෙනිදාටය.
මේ මූල්‍ය ආයතන කළමනාකරු ‍පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසන්නට වූ තොරතුරු කැටිකරගත් විට කියැවෙන කතාවය. තමන් පදවාගෙන ගිය වාහනයේ නාවලපිටියේ සිට මළ මිනියක් ඇමිනී කිලෝ මීටර් 15ක් ගම්‍පොළට ආ බවක් හෝ එම මළ සිරුර තමන්ට අයත් කඩකාමරයක් අසල බිම වැටී තිබි ඇති බවක් ඔහු ඒ වන තුරුත් දැන සිටි බවක් එහිදී අනාවරණය නොවීය. ඒත් වාහනයේ තිබුණු රුධිරය සෝදා පිරිසිදු කළේ කවුරුන්දැයි අනාවරණය නොවූ පැනයකටනම් තවමත් පිළිතුරු ලැබි නැත. එසේම මිය ගිය පුද්ගලයා කවුරුන්ද? ඔහුව හප්පා මරා දමමින් පලාගිය වාහනය කුමක්ද? ආදියටද පිළිතුරු සොයන්නට ‍පොලීසිට සිදුව ඇත. මතෛක් ‍පොලීසියට සොයා ගන්නට හැකි වී ඇත්තේ කිලෝ මීටර් 15ක දුරක් මළ සිරුර මාර්ගයේ ඇදී ගියේ කෙසේදැයි කියා පමණි.
ගයාන් කුමාර වීරසිංහ