Wednesday, January 21, 2015

විශ්ව එක පාරටම මගේ ළඟට දුවල ඇවිත් මට තුරුල් වුණා - පියුමි


ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘රිතූ’ නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් සමඟ රංගනයට පැමිණි ඇය පියුමි හංසමාලි. එහි ශ‍්‍රියන්ත මෙන්ඩිස් සහ නිරෝෂා  හේරත්ගෙ දියණිය ලෙස රඟපාන මේ පියුමි කවුද?

‘පියුමි’ ඔබට පියෝ කියලත් කියනවා නේද?
යාළුවෝ පියෝ, පියෝ කියලා තමයි කතා කළේ. ඒත් දැන් කියන්නේ ‘රිතී’ කියලයි.

‘රිතී’ කියන්නේ?
ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙච්ච ‘රිතූ’ නාට්‍ය නිසයි.

ඔබ ගැන සඳහනක් කළොත්?
මගේ සම්පූර්ණ නම පියුමි හංසමාලි ගෝමස්. ගම රාජගිරිය.

ඉගෙන ගත්තෙ ශ්‍රී සෝභිත විද්‍යාලයෙන්. ලග්නය කුම්භ. වයස අවුරුදු 22යි. අම්මායි-මමයි සතුටින් ජීවිතය ගත කරනවා. රඟපෑම තෝරා ගන්නට පෙර, මම නිරූපිකාවක ලෙස කටයුතු කළා. දැනටත් ඒ අංශයේ නියැලෙනවා. මොඩල් ඔෆ් දි ඉයර් නිව් ජෙනරේෂන් කියන ඉසව්ව හරහා තමයි ඒ ක්ෂේත‍්‍රයට ආවේ. රඟපෑම අහම්බයක්.

රඟපෑමට ආධුනික ඔබට රඟපාන්න ලැබුණාම කොහොමද ඒ ගැන හිතුණෙ?
ඇත්තටම බයක් ඇති වුණා. හැබැයි දැන් නම් හරි

රඟපෑම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?
රඟපෑම ගැන සිහිනයක් තිබුණේ නැහැ. නමුත් ආරාධනාව ලැබුණා. ඉතින් බාර ගත්තා.
 

හැදෑරීමකින් තොරව රඟපෑම කියන දේ කරන්න පුළුවනිද?
මම රඟපෑම හදාරලා නැහැ. ඒක ඇත්ත. නමුත් තමන්ගෙ දැක්ම සහ අධ්‍යක්ෂවරයාගෙ මග පෙන්වීම මත රංගනයට ප‍්‍රවේශ වෙන්න පුළුවනි. දක්ෂ අධ්‍යක්ෂවරයකුට ඇත්තටම කළ හැකි දේ බොහෝයි. ලෝකයේ බොහෝ නිර්මාණවලට ඒ විදියට නළු-නිළියන් බිහි කරලා තියෙනවා.

රඟපාන කෙනාට කරන්න තියෙන්නේ මොකක්ද?
හැකියාව කියන දේ අනිවාර්යයෙන් තිබිය යුතු දෙයක්. නමුත් ඒ හැකියාව නිවැරදිව හඳුනාගෙන නිවැරදි මෙහෙයවීම කරන්නේ අධ්‍යක්ෂවරයායි.

මේ නාට්‍යයේ රඟපෑමට ගිය අවස්ථාවේ මුල්ම දර්ශනයට පෙනී සිටි විදිය මතකද?
මෙහි මගේ පෙම්වතා ලෙස රඟපාන්නෙ විශ්ව කොඩිකාරයි. මම බස් නැවතුම්පොළක සිටියදී තරුණයකු මා සිටින තැනට දිව එනවා. ඔහු පිටුපස පොලිස් නිලධාරීන් ලූහු බඳිනවා. ඔහු එක පාරටම මගේ ළඟට ඇවිත් කුඩය ඔසවාගෙන සිටි මට තුරුල් වී ඔයාගේ සහෝදරයාට උදව් කරන්න කියනවා. එතකොට මම, “අනේ ඇයි මේ? මොකක්ද මේ කරන්නෙ” කියලා කියන්නයි තිබුණේ. අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම අනුව මට එය හොඳට කරන්න පුළුවන් වුණා.

කොහොම වුණත්, එක්තරා අවස්ථාවක ඔබ රඟපෑමට ගොස් ආපසු හැරිලා ආවා කියන කතාව මොකක්ද?
රිතූ නාට්‍යයේ නෙවෙයි. ඊට පෙර නාට්‍යයක රඟපෑම සඳහා ස්ක‍්‍රීන් ටෙස්ට් එකට ගියා. එහි අධ්‍යක්ෂවරයා හරිම සැරෙන් මට කතා කළේ. සැරෙන් බැන්නාම මට එපා වුණා. ඊට පෙර මම රඟපාලා තිබුණෙ නැහැ. ඉතින් එයාට ඒ ගැන කිව්වත් සැරෙන් කතා කළේ. 
ඔබ රංගනයේදී පෙම්වතිය නම් පෙම්වතාගේ චරිතයට ඔබට වඩාත් සුදුසු කවුරු කියල ද හිතන්නේ?
මම ආසම විජය කුමාරණතුංගයන්ට

දැන් ඔහු නැහැනේ? ඔව්, දැන් ඔහු නැහැ. ඒත් විජයකුමාරණතුංගයන් සහ මාලිනි ෆොන්සේකා යුවළ රඟපෑ චිත‍්‍රපට අදටත් මම නරඹන්නෙ හරිම ආසාවෙන්. මගේ ප‍්‍රියතම සහ වැඩියෙන්ම කැමති තරු යුවළ ඒ දෙන්නයි.

ටෙලි තිරයේ පෙම්වතා හැටියට ඔබට වඩාත් ගැලපෙන්නෙ? තවම චරිත ගොඩාක් රඟපාලා නැහැනේ. විශ්ව එක්ක තමයි ඉස්සලේලාම රඟපාන්න ලැබුණෙ. විශ්වගෙන් ලැබුණු සහයෝගය හරිම ඉහළයි. මම හිතන්නේ ඒ කතාවෙ හැටියට අපි දෙන්නා හොඳට ගැලපුණා.

‘රිතූ’ රඟපාද්දි වෙච්ච දේවල් ගැන කිව්වොත්? පොඩි දේටත් මට නිතරම හිනා යනවා. ඒ නිසා කැමරා අධ්‍යක්ෂ රොෂාන්ගෙන් නම් බැනුම් අහන වාර එමටයි. දැන් ඒ බැණුම් අහන එකත් හරි ජොලි.

‘පියුමි’ ඔබ ගැන ඔබට හිතෙන්නෙ මොන විදියටද? ලැබෙන දේ උපරිම ගෞරවයෙන් කරන, කාටවත් කරදරයක් නැති මම හරි හොඳයි කියලා හිතෙනවා.