Friday, November 28, 2014

ජනපති, සජිත්, පාඨලී, ගම්මන්පිල සහ ගෝඨාභය පිළිසඳරක

දැන් උදා වී ඇත්තේ තමාට පෙර රට ගැන සිතන පුද්ගලයින් වැඩි වැඩියෙන් අවශ්‍ය යුගයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
 
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලයේ අද පැවති උත්සවයකදීයි. එහි නිර්මාතෘ අභාවප‍්‍රාප්ත ආර්.අයි.ටී. අලස් මහතාගේ පිළිරුවක් විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා. එමගින් ඞී.එස්. සේනානායක විද්‍යාලය රටට මෙන්ම ලෝකයට ද වැදගත් ආදර්ශයක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
 
‘බැහැ’ යන වචනය ජීවිත ශබ්දකෝෂයෙන් බැහැර කරන ලෙස ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිසු දරුවන්ගෙන් ඉල්ලා සිටියා.
 
නොයෙක් බාධා අපේ ජිවිතයට එනවා. ක්‍රීඩාවකට ගියාම පැරදෙනවා , දිනනවා නමුත් අපි දිනුම පැරදුම පසුබෑම ජයග්‍රහණයකට හරව ගන්න ඕන. ජිවිතයේ හැම දෙයක්ම ධනාත්මකව හිතන්න,ඔබට කළ නොහැකි දෙයක් නැහැ පුත... ඔබට බැරිය නොහැකි දෙයක් නැහැ. ඒ බැරිය කියන වචනය ඔබේ ශබ්ධකෝෂයෙන් ඉවත් කරන්න.
 
සජිත් පේ‍්‍රමදාස, පාඨලී චම්පික රණවක සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා. ප‍්‍රධාන උත්සවයෙන් පසු ජනාධිපතිවරයා ඔවුන් සමග සුහ කතාබහක යෙදුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.