Tuesday, September 2, 2014

ජනප්‍රිය වුණාම විවාහය ගැන සැහැල්ලුවට හිතනවා - හිමාලි සිරිවර්ධන


http://www.rivira.lk/online/images/2014/08/31/p.jpgරංගනයෙන් වගේම නර්තනයෙන්ද දක්ෂතා පළ කරමින් රසික ආදරය දිනාගත් හිමාලි සිරිවර්ධන රිවිසරසි කතාබහට එකතු වුණේ මෙහෙමයි.
මේ දවස්වල හිමාලි වැඩියෙන්ම ජනප්‍රිය ස්වර්ණපාලි ටෙලි නාට්‍යය නිසාද? රන්ජා චිත්‍රපටය නිසාද?
ටෙලිනාට්‍ය කාලයක් විකාශය වුණ නිසා මිනිසුන්ට මාව මතකයි. ඒ ටෙලි නාට්‍යයට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම රන්ජා චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ ප්‍රධාන චරිතයක් සඳහා චිත්‍රපටවලින් මාව දකින්න කැමැති පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අයගෙනුත් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා.

ඓතිහාසික තේමාවක් යටතේ නිර්මාණය වුණු ස්වර්ණපාලි කුමරියගේ චරිතය අභියෝගයක් වුණාද?
1840 ජීවත් වුණ ජීවමාන චරිතයකට පණ ‍පොවන්න ලැබිම ඇත්තටම මට අභියෝගයක්. මම හිතනවා මම ඒ අභියෝගය භාරගත්තා කියලා. මම කොහොමත් හැම නිර්මාණයකම චරිතයක් භාර ගන්නේ මට ලැබෙන අභියෝගයක් කියලා හිතලා.

එහි සටන් ජවනිකා නිරූපනයේ දී කොහොමද ඔබ ඒ සඳහා හැඩගැහුණේ?
මේ නාට්‍ය පුරාම තියෙන්නේ අංගම් සටන්. මට ඒ දේ එච්චර අපහසුවක් වුණේ නෑ. මම “ඉසිවර රණගිරි” නාට්‍යයේ රංගනයෙන් දායක වුණේ අංගම් සටන් නායිකාවකගේ චරිතයකට. මම මාස තුනක් අංගම් සටන් ඉගෙන ගත්තා. ඒ දේ ස්වර්ණපාලී නාට්‍යයට ගොඩක් ප්‍රයෝජනවත් වුණා.

ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නවද?
චිත්‍රපටවල රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණාම මම පිටපත ඉල්ලනවා. පිටපතින් චරිතය හඳුනාගන්න පුළුවන්. ඒ නිසා මම රංගනයෙන් දායක වෙන්න පුළුවන් නිර්මාණවලට සම්බන්ධ වෙනවා. මම මටම සීමාවක් තියාගෙන ඉන්නේ, සීමාව ඉක්මවා ගිය චිත්‍රපටවලට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිසා ගොඩක් චිත්‍රපට මම ප්‍රතික්‍ෂේප කළා.

 වෘත්තීයමය වශයෙන් ඔබ නර්තන ශිල්පිණියක්. කොහොමද ඒ වැඩකටයුතුවලට කාලය යොදවන්නේ?
මම හැමදාම නර්තනයට ආදරෙයි. නර්තනය වගේම රංගනයත් මගේ ජීවිතේ කොටසක්. මේ දවස්වල නම් නර්තන වැඩ එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඒත් කාලය කළමනාකරණය කරගෙන හැමදේම නිවැරදිව කරගෙන යනවා.

 අද කලා ක්‍ෂේත්‍රයේ විවිධ මත ගැටුම් ඇතිවෙලා තියෙනවා නේද?
ගොඩක් වෙලාවට රංගන ශිල්පීන්ට කටකතා හැදෙනවා. සමහර ඒවා ඇත්ත වගේ බොරු වෙන්නත් පුළුවනි. අපි කල්පනා කරන්න ඕන හැසිරෙන විදිය. කොහේ ගියත් අපි දිහා බලන පිරිස වැඩියි. නිවැරදිව හැසිරෙනවා නම් කිසිම මත ගැටුමක් ඇති වෙන්නේ නෑ.

 කලා ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක් දෙනාට අද විවාහය කියන දේ සෙල්ලමක් වෙලා කීවොත්?
අනියම් සම්බන්ධතා ඇතිවෙනවා. ඒක මේ ක්‍ෂේත්‍රයේ විතරක් නෙමේ, ඕනම ක්‍ෂේත්‍රයක ඇතිවෙන දෙයක්. මම හිතන්නේ අනියම් සම්බන්ධතා ඇතිවෙන්න ප්‍රධානම හේතුව දෙන්නෙක් අතර තියෙන නොගැළපීම. අද මේ ක්‍ෂේත්‍රයට ආවම ඉක්මනින් ජනප්‍රිය වුණාම විවාහය කියන දේ ගැන සැහැල්ලුවට හිතන්නේ. ඒ නිසා මුදල්, ජනප්‍රියත්වය මූලික කරගෙන විවාහ වෙනවා. ඒ ගත්ත තීරණේ වැරදි පේන්නේ, එකට ජීවත් වෙන්න ගියාම.

 හිමාලි විවාහක කාන්තාවක් විදියට කොහොමද මේ සියලු දේ කළමනාකරණය කරගන්නේ?
මම විවාහ වෙලා අවුරුදු හතක් වෙනවා. සැමියාගෙන් මට උපරිම සහයෝගය ලැබෙනවා. එයත් කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නිසා. මට කවදාවත් සීමාවල් දාන්නෑ. ඒත් මම හැමදාම මගේ සීමාවේ ඉඳන් වැඩකරපු කෙනෙක්. මගේ මේ සාර්ථකත්වයේ රහස මගේ සැමියා කීවොත් නිවැරදියි.

පුංචි කැදැල්ලට අලුත් අමුත්තෙක් එකතු කරගන්න අදහසක් නැද්ද?
ඒක මගෙයි මහත්තයගෙයි ලොකුම ලොකු හීනයක්. පසුගිය දවස්වල එක දිගට වැඩ තිබුණ නිසා ඒ ගැන හිතුවේ නෑ. ලබන අවුරුද්දේ අපේ කැදැල්ලට පුංචි අමුත්තෙක් එකතු කරගන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.
තිළිණි මධුවන්ති
ඡායාරූප-ලක්ෂිත ගුණවර්ධන

http://www.rivira.lk/online/images/2014/08/31/img_9348.jpg
http://www.rivira.lk/online/images/2014/08/31/img_9352.jpg
http://www.rivira.lk/online/images/2014/08/31/p_1.jpg